අංපිටියෙ සුමන එක්ක යමු..!

යමු එකෙන් කරපු අංපිටියෙ සුමන ගැන රියැක්ෂන් වීඩියෝ එක ෆේස්බුක් එකේ ලොකු ගින්නක් අවුළලා තියෙනවා. කොහොමටත් සිංහල බෞද්ද මහාඑක පැත්තෙන් එහෙම පත්තුවීමක් එන්න  ඕන සහ ඒක ආස්වාදනීය වෙන අතරෙ විකල්ප, බුද්දිමත්, මධ්‍යම පාංතික, සිංහල බෞද්ද මහා එකට එලියෙන් ඉන්න අයගෙන් මතුවෙන අදහස් ඊට වඩා තීරණාත්මකයි. ගොඩක් අය සුමනට එකඟ නැති වුනත් යමු එකේ මේ පෙනී ඉන්න පිරිසට ඊට වඩා විරුද්දයි.
මේක පොලොවෙ පය ගහපු නැති, කිසි දෙයක් නොතේරෙන, පොෂ් බබ්බු ටිකක් විසින් නොදන්නා දේශපාලන කලාපයකට අත දැමීමක් කියල චෝදනා එනවා. දැන් තියෙන තත්වෙ අනුව වඩා වැදගත් වෙන්නෙ සුමන හෝ එයා වෙනුවෙන් පෙනී ඉන්න සිංහල බෞද්දයා තේරුම් ගන්න එක නෙමෙයි, අපි විසින් විකල්ප හෝ ප‍්‍රගතිශීලී හෝ බුද්දිමත් හෝ කියා උපකල්පනයක සිටි මේ පිරිසකගේ මේ ස්කිසොෆ‍්‍රිනික් තත්වය ගැන ටිකක් මයින්ඞ්ෆුල් වෙන එකයි.
ගොඩක් අය නෝන්ඩියටත් කීපදෙනෙක් ඇත්තටමත් අහලා තිබුනා යමු කියන්නෙ මොකද්ද කියල. මේ ප‍්‍රශ්නෙ අහන ගොඩක් අය නොදැන ප‍්‍රදර්ශනය කරන ඇත්ත වෙන්නෙ තමන් ලංකාවෙ ගතකරමින් ඉන්නෙ නාගරික ජීවිතයක් නෙමෙයි කියන එකයි. ෆේස්බුක් පිටුවක් තියෙන කිසිම කෙනෙක් යමු ගැන නොදැන ඉන්න බෑ. ෆේස්බුක් පිටුවක් නැත්තං එයා මේ මොහොතෙ ජීවත් වෙන්න බෑ.
යමු, ලංකාවෙ අලූත් කෑම සංස්කෘතියක් ඇති කරපු වැඩක්. කෑම සංස්කෘතියක් නිර්මාණය කරනවා කියන එකම රටක සංස්කෘතික දේශපාලනය වෙනස් කිරීමක්. ලොකු පොඩි උස් පහත් භේදයක් නැතුව එක එක කෑම ජාති ගැන එක එක තැන් ගැන එක එක වැඩ ගැන ලියන්න යමුට පුළුවන් වුනා. මං හිතන්නෙ ලංකාවෙ මුල්ම සහ සාර්තක වුනු ස්ටාර්ට්-අප්ස් කීපය අතරට යමු වැටෙනවා. මුලින්ම ඉංග‍්‍රීසියෙන් විතරක් ගිය වැඬේ පස්සෙ සිංහලටත් පෙරළුනා. වෙබ් එකේ  ඕන වැඩක් සිංහලට පෙරලෙන තැනදියි ලංකාවෙ වැඩ කරන්න ගන්නෙ. එතනින් යමු පොඩි පොඩි එන්ටර්ටේන්මන්ට් වැඩත් කරන්න පටන් ගත්ත. ඉංග‍්‍රීසි සමාජෙට හුරුපුරුදු මේ වැඩ සහ අදහස් සිංහල සමාජයට එනකොට වෙනස් සංස්කෘතියක් නිර්මාණය කරන්න ගත්ත. වැදගත්ම දේ විදිහට මං දකින්නෙ ඉංග‍්‍රීසි මධ්‍යම පංතියෙ ජීවත් වුණු යමු බහුතරයක් දෙනා සිංහල සමාජය තේරුම් ගන්න, ඒ සමග දේවල් ෂෙයාර් කරන්න, ඒ සමාජ ජීවිතේට මැදිහත් වෙන්න දරන ඇත්ත උත්සාහයයි.
මේ උත්සාහය වඩා වැදගත් වෙන්නෙ ලංකාවෙ සිංහල සමාජය හුරුපුරුදු යටත්වැසි මානසිකත්වයෙන් එලියට හිතන්න ඉංග‍්‍රීසි සමාජය හුරුපුරුදු පුරවැසි මානසිකත්වයේ සිතීම අනිවාර්යෙන්ම  ඕන කරන හින්දයි. මතුපිටින් විතරක් ගත්තත් යමු පාවිච්චි කරන ඉතාම සරල වීඩියෝ ආකෘති ලංකාවට ගොඩක් අලූත්. වෙබ් මීඩියා කියන එක ගැන යම් අදහසක් රටට අරන් එන්න යමුට පුළුවන් වුනා.
ඒ විදිහෙ එක වැඩක් තමයි රියැක්ෂන් වීඩියෝ කියන එක. ඒක ලංකාවෙ කාටවත්ම පුරුදු වැඩක් නොවන වග සහතිකයි. රියැක්ෂන් වීඩියෝ එකක් කියන්නෙ යම් සිදුවීමක් හෝ අවස්ථාවක් ගැන යම් කෙනෙකුගෙන්, නැත්තං කීපදෙනෙකුගෙන් ඒ වෙලාවෙම ගන්න රියැක්ෂන් එක කැප්චර් කිරීමක්. ඒක ඒ පුද්ගලයා නොදැනුවත්ව වීඩියෝ කරන්න තරම් අව්‍යාජ වෙන්න  ඕන. මේක මුලින්ම පටන් ගත්තෙ ජනප‍්‍රිය ටෙලි සීරීස්වලට නරඹන්නො දක්වන ප‍්‍රතිචාර විදිහට. ඊට පස්සෙ තව ගොඩක් දේවල් වලට රියැක්ෂන් වීඩියෝ හැදෙන්න ගත්තා වගේම නැවත නරඹන්නො ඒවා අගය කිරීමට හේතුව වුනෙම ඒවයෙ අව්‍යාජකම. එකවරම හිතන දේ එඩිට් නොකර එලියට දැමීම.
ඒක හරියට අපි යාලූවො ටිකක් කතා කර කර ඉන්නවා වගේ. මාධ්‍යයකට හෝ තවත් කාටවත් කරන අදහස් දැක්වීමක් නොවෙන ජීවිතේ විවෘත මොහොතක්. ඒ වෙලාවෙ යම් කතාවකට හෝ චරිතයකට අපිට එන ඒ මොහොතෙ ප‍්‍රතිචාරය අපේ තාර්කික ප‍්‍රතිචාරයට වඩා ආස්වාදයක් වගේම කරුණු වලට වඩා මූඞ් එකක් මුදා හරිනවා. ස්පොන්ටේනියස් රියැක්ෂන් එකකදි ඒ කතා කරන කෙනාගේ දැනුවත්භාවයන් හෝ තානාන්තරයන් අදාල නෑ. ඒකෙ සම්පූර්ණ විනෝදයම තියෙන්නෙ ඒ සියල්ලක් නැති නිරුවත් මොහොතක් වෙන එක.
සුමන ගැන කරපු වීඩියෝ එකට අදාල අපේ ගොඩක් විද්වත්තු අදහස් පළකරමින් තිබුනෙම රියැක්ෂන් වීඩියෝ කියන මාධ්‍යය භාවිතය ගැන නොදැන. ‘ඇත්ත තත්වය ගැන මීට වඩා හොයලා බලන්න  ඕන’, ‘ප‍්‍රශ්නෙ මතුපිට නැතුව ගැඹුරට බහින්න  ඕන’ වගෙ කතන්දර වල තියෙන්නෙම පරණ සබුද්දික අදහස් දැක්වීමක ඉල්ලා සිටීමක්. ඉන්ටර්නෙට් මාධ්‍යයේ ඇති සුවිශේෂීතාවයම පදනම් කරගෙන බිහිවුණු නව සන්නිවේදන අවකාශයන් නොතකා හැරීමක්.
රියැක්ෂන් වීඩියෝ එකක් කවුරුවත් සීරියස් ගන්නෙ නෑ. ඒකෙ අරමුණම මොහොතක ආස්වාදයක් දැනවීම විතරයි. කිතිකැවීමක් හෝ කෙනිත්තීමක් විතරයි. ඊට වඩා සීරියස් වෙන්න කියල ඉල්ලන එකේ තේරුම වෙන්නෙම ‘අපේ ඉන්ටලෙක්චුවල් ආකෘති හොල්ලන්න එපා’ කියන එකයි.
අනිත් ආකර්ශනීයම වැඬේ අපේ බුද්දිමත් සමාජය මේ සීරියස් වෙන්න කියන ඉල්ලීම ඇතුලෙම මේ ඉංග‍්‍රීසි මධ්‍යම පාංතික තරුණ ජීවිත වලට ඇති විරෝදයත් ෂේප් එකේ තල්ලූ කරන හැටිය. තමන් විසින් ගොඩනගා ගත් දැනුමේ, විචාරයේ සහ දේශපාලනයේ ආධිපත්‍යයට අභියෝග කරන මේ ජනප‍්‍රිය ඉංග‍්‍රීසි කතාකරන සමාජ ක‍්‍රියාකාරී රැුල්ල පාගා දැමීමේ උවමනාවත් ගොඩක් කමෙන්ට් ඇුතුලෙ තියෙනවා. හරියටම කිව්වොත් මේ නව සමාජ සංස්කෘතියට විරුද්දව සිංහල බෞද්ද අශිෂ්ට බලවේගයන් එක්ක එකට හිට ගන්න වුනත් මේ ශිෂ්ට යැයි කියන බුද්දිමත්තු සෙට් එක මේ වගේ වෙලාවක ලෑස්තියි. එතනදි දැනෙන්න ඉස්සරහට එනවා පංති හීනමානය. තමන් ජීවිතේ ඇතුලෙ කාපු පරිප්පු ‘පොලොවෙ පය ගැහීම’ කියලා වටිනාකමකට ආදේශ කරගනිමින් ඒ පරිප්පුව නොකාපු කෙනෙක් වැඩි සංකේතීය ප‍්‍රතිලාබයක් විඳිනවා බලන් ඉන්න බැරි අතිසරල ගමේකමක් මේ විරෝදය පිටිපස්සෙ තල්ලූ වෙනවා.
සංස්කෘතික වෙනසකදි වඩාත්ම ප‍්‍රතිගාමී අන්තයන් නියෝජනය කරන්න නියමිත මේ සමාජ බුද්දිමතුන් කට්ටියයි. ආචාර්යවරුන්, වෙදුන්, සහ ස`ගුන්ගෙන් සැදුම් ලත් මේ සෙට් එක ශිෂ්ට සමාජයේ තමන් විසින් අත්පත් කරගත් බලය අභියෝග වෙන  ඕනම තැනකදි  ඕනම ප‍්‍රතිගාමී බලවේගයක් එක්ක එකට හිටගන්න ලෑස්තියි. මේ මොහොතේ වැඩිවිස්තර නොකළත්, එක්තරා පුද්ගලික විශ්ව විද්‍යාල ගැන සාකච්ඡුාවකදී මෙවන් ප‍්‍රගතිශීලී බුද්දිමත් ආචාර්යවරයෙක් ‘උපාදිය කියන්නෙ සමාජ සහතිකයක්’ යැයි විලිලැජ්ජා නැතුව පැවසීමත් (තවත් අව්‍යාජ රියැක්ෂන් එකක්), ඉතා මෑතක දොස්තර කෙනෙක් ‘වැඩි ගනං බෙහෙත් ලියන්නෙ ධනපතින්ට, අඩු ගනං බෙහෙත් ලියන්නෙ කම්කරුවන්ට’ යැයි කියා සිටීමත් මේකට අප්ඬේටඞ් උදාහරණ දෙකක්.
කොයි විදිහක පසුබිම් හේතු තිබුනා වුනත් රාජ්‍ය නිලධාරීන්ට ඒ විදිහට බාධා කිරීම සහ අපහාස කිරීම ද`ඩුවම් ලැබිය යුතු වරදක්. විශේෂයෙන් සිවුරක් හැඳගෙන පූජ්‍ය පක්ෂ ගෞරවය ලබමින් සුමන දිගටම නිලධාරීන්ට කරන මේ අතවරය සදාචාරාත්මකවත්, රටේ නීතිය අනුවත් වරදක්. අපේ බුද්දිමත් පාර්ශ්වයේ යෝජනාව මේ මතුපිට කාරණය නොතකා ප‍්‍රශ්නයේ ගැඹුරට සාකච්ඡුාව ගෙනයන එකයි. එතකොට කාටවත් ඒ මතුපිට හිංසනය පිළිබඳ කාරණාව ඉස්මතු කරන්න අයිතියක් නැද්ද? අපි ප‍්‍රශ්න විසඳාගැනීමේ ක‍්‍රමයක් විදිහට ප‍්‍රචණ්ඩත්වය සහ අශිෂ්ටත්වය අනුමත කරනවාද?
මෙතනදි යමු මේ වීඩියෝව හදපු එකේ කිසිම වැරැුද්දක් මට පෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ වගේ සමාජ කතිකාවලට තමන්ගේ සිග්නේචර් එක ඇතුව මැදිහත් වීම ගැන අගය කිරීමක් විතරයි මට තියෙන්නෙ. එකම අවුල මේ හරහා අංපිටියෙ සුමනෙ උවමනා නැති තරම් අවකාශයකට පිම්බී විශාල වෙන එකයි. සුමන ජනප‍්‍රිය වුනේම එයා ගැන ගිය නෙගටිව් වීඩියෝ හරහා. හරියට ඩොනල්ඞ් ට‍්‍රම්ප් වගේ තමන්ගේ සදාචාරයක් නැතිකම ගැන නැගෙන සියලූ ජෝක්, විහළු, අප‍්‍රසාදයන් තමන්ට ලැබෙන මනාප බවට පත් කරගන්න සුමන නොදැනුවත්ව දැනුවත්. ඒ නිසා යමු වීඩියෝව හරහා අනිවාර්යෙන්ම සුමනගෙ බැංකු ගිණුම් පිරෙන්න පටන් ගන්නවා. නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අභීත විරුවා බවට කුණුහබ්බ පලන අංපිටියෙ සුමන අභිෂේක ලබනවා.
සුමන විසින් පෙනී ඉන්නා ජනතාවගේ දුක පිළිබඳ කඳුළු සලන මහතුන් දැනගත යුතු දේ වන්නේ ලංකාවෙ ඉතිහාසෙ කිසිම අවස්තාවක හාමුදුරු කෙනෙක් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉඳලා නැති වගයි. හැමවෙලාවකම සිද්ද වෙන්නෙ හාමුදුරුවො වෙනුවෙන් ජනතාවක් පෙනී ඉන්න එකයි. ඉතිහාසෙ දුර වැඩි නම් ඉතා මෑතක රතු පස්වල හාමදුරුවන්ගෙ ජනතා සටන සිහිකැඳවන්න පුළුවන්.
– චින්තන ධර්මදාස
(http://c-u-l-t.blogspot.com/2016/12/blog-post.html)

https://youtu.be/UGff94QencQ

Comments

comments

LEAVE A REPLY