අනේ, ඩෙංගි මල්ලියේ පාරට කුණු දාන එකාට විදපන්..!

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමත් සමග ඇති වූ විනාශය පිළිබඳව වගකිව යුතු දේශපාලනඥයින් ඔවුනොවුන් අතර වරද පටවමින් ඇති කර ගත් වාග් සංග්‍රාමය දැන් අවසන් වී තිබේ. සිදුවූ ප්‍රතිඵලය නම් මෙතෙක් කුණු ඇද්ද කම්කරුවන්ගේ හා කම්කරු ස්ත්‍රීන්ගේ දෑත්වලට උසුලාගෙන යා නොහැකි බරක් පැටවීම පමණි. මැයි දිනයේ දවස පුරා මහා මාර්ග සටන් පාඨවලින් දෙවනත් කරන කම්කරු නායකයෝ කිසිදිනක කුණු අදින කම්කරුවන්ගේ වැටුප් ගැන කතා නොකළහ. අද වෘත්තීය අරගල පහළ කම්කරු ශ්‍රේණිවලින් ඉවත්ව දොස්තරවරු හා ඉංජිනේරු ශ්‍රේණි විසින් උරුම කර ගෙන තිබේ. හිඟන වැටුපක් ලබන කුණු අදින කම්කරුවා, සුපවයිසර්ගේ, උපකොන්ත්‍රාත්කරුගේ, කොන්ත්‍රාත්කාරයින්ගේ, මන්ත්‍රීවරයාගේ, නාගරික පරිසර නිලධාරියාගේ කුණු බැණුම් අසා සිටිය යුතුය. සියලු සේවා ශ්‍රේණිවල සේවකයෝ තම සේවා කාලය අනුව රත්රන් පගෝදියෙන් සේවයට සම්මාන ලැබුවද කුණු අදින ​සේවකයාට දෙන්නේ වටිනා කුණු හරුප බැණුම් සම්මානයකි.

‘‘කසළ අමදිනේ වුවත් ඇතිවන කුසලය නිකසළ හෙයින්’’ යනුවෙන් ධර්මසේන හිමියන් සද්ධර්ම රත්නාවලියේ ලියා ඇත්තේ සිංහල සාහිත්‍යයේ ඇති අනුප්‍රාස රසය ඉස්මතු කිරීමටය. එහෙත් කසළ ඉවත් කිරීමෙන් ඇතිවන මහා කුසලානිසංශය දැන පුණ්‍ය අනුමෝදනාව ඇති කර ගැනීම පහසු කාර්යයක් නොවේ. ඊට හේතු වන්නේ කුණු අදින, කුණු එකතු කරන කම්කරුවන්ට හෝ කම්කරු නායකයින්ට දෙපා වසා ගැනීමට සපත්තු දෙකක් නොමැතිවීමයි. කොන්තරාත්කරුවා ඇඟිලි අතරින් කුණු මඩ ‘‘විරි විරිස් විරි විරිස්’’ හඬින් උඩට මතුවෙන අන්දම බලා සිටී. ඔහු සතුටු සිනා නඟන්නේ ඔහුගේ බැංකු පොතේ බිංදු ගණන වැඩිවෙන නිසාය. කුණු අදින කම්කරුවන්ගේ ආයුෂ කාලය ඉතා කෙටිය. ඔවුහු ඩෙංගු මරුවා ගෙන යති. නැතහොත් පිළිකාව වැළඳ ගනිති. කෘෂ ශරීර ඇත්තෝ සෙම්රෝගවලින් පෙළෙති. එබැවින් කුණු කණ්ඩායම නිසි ලෙස වැඩට වාර්තා නොකරති.

අසර්බයිජානයේ වීදියක මැදි වයස ඉක්මවූ කාන්තාවන් පිරිසක් තැනින් තැන පාර දෙපස කුණු ඉවත් කරමින් සිටියහ. ඔවුහු විශ්‍රාම ගොස් සිටින කාන්තා රාජ්‍ය සේවිකාවන්ය. විශ්‍රාම ගිය ගුරුවරියක්ද, හෙදියක් ද, ලිපිකාරිණියක් ද ඒ අතර වූහ. විශ්‍රාම වැටුප ඔවුන්ට ලැබුණ අතර එකල සෝවියට් සමූහාණ්‍ඩුව අමතර දීමනාවක් ඔවුන්ට ගෙවූහ. ඔවුහු පාරේ කොටස් බෙදාගෙන වැඩ කළහ. මෙය හැත්තෑවේ දසකයේ (70) අත්දැකීමකි. යුරෝපයේ ඇතැම් නගරවල පාර දෙපස පිරිසිදු කිරීම පාර දෙපස පදිංචිකරුවන් කළ යුතුය. එසේ නොකළහොත් ඔවුන්ට දඩ මුදල් ගෙවීමට සිදුවේ.
කසළ ලොරියට දැමීම හෝ පාරට දැමීම හෝ තාප්පයෙන් එපිටට විසි කිරීම හෝ වෙනුවට කසළ නැති නිවසක් ඇති කිරීම පැරිස් නගරය ඉතා හොඳට ඉටු කළේය. ඔවුහු කසළ අවම කිරීම සඳහා ක්‍රමවේද ගෘහණියන්ට අවබෝධ කර දුන්නහ. ගෙදරින් කුණු ඉවත් කිරීමට නැත්නම් එම නිවස අරපිරිමැස්මෙන් කටයුතු කරන ගෘහණියකගේ නිවසකි.
කුණු ඉවත් කළ හැක්කේ කෙසේද? කවුරුන් විසින්ද? කොන්තරාත් එක දුන්නේ කවුද? කොන්තරාත් කරු කවුද? කොමිස් ගත්තේ කවුද? ආදී දහසක් ප්‍රශ්න හා ඒවට පිළිතුරු ද කනින් කනටත් පුවත්පත්වලටත් අඩුවක් නැතුව ලැබුණේය. ඒ සියල්ලම වෛරයෙන් හා කෝපයෙන් කරන ලද ප්‍රකාශ වූ අතර ඒවා එකකින්වත් කුණු ප්‍රශ්නයට විසඳුමක් ලබා දුන්නේ නැත. ඇතැමෙක් කරන ලද යෝජනාවල තිබුණේ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ දේශපාලන වාසියක් ලබාගැනීම පමණි. ඒවා කොමිස් මුදලට අමතරව ලැබෙන වාසි වේ.
මෙම විෂය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින්ගේ හා අමාත්‍ය මට්ටමේ සංවාද නොයෙක් අවස්ථාවලදී ආරම්භ වූයේ කලහකාරී ස්වරූපයෙනි. ඊට හේතුව නම් මේ සඳහා කිසියම් පුද්ගලයකු අදහසක් ප්‍රකාශ කළහොත් ඊට විරුද්ධව සියලුම පරිසර සංවිධානවල නිලධාරීන් නැගී සිටීමය. එහෙත් ඉතා වටිනා සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි යෝජනා කීපයක් ද ඒවා අතර ප්‍රකාශයට පත්වී තිබීම නිසා සුබවාදී අනාගතයක් පිළිබඳව එක්තරා සිහිනයක් ඇති කර ගැනීමට ද හැකිය.

ශ්‍රී ලංකාව දූපතක් වීමත්, එහි පිහිටීමේ වැදගත්කමත් සලකා කෙළවරක් දැකිය නොහැකි මහා සාගරය කුණු ප්‍රශ්නය විසඳා ගැනීමට උපයෝගී කර ගත නොහැකිද? මෙම අදහසෙහි හරය වන්නේ වෙරළාසන්න නගරවල කුඩා වරායකින් කුණු පටවාගෙන නැව්වලින් ගෙන ගොස් ඈත ගැඹුරු මුහුදට දැමිය හැකි බවයි. මේ මතය ඉදිරිපත් කරන ලද ඇතැමෙක් ප්‍රකාශ කළේ‍ තෙල් ගෙනියන ටෑන්කර් වැනි නැව්වලින් ගැඹුරු මුහුදට ගෙන යාම ගොඩබිම් ප්‍රවාහනයට වඩා ලාභදායක බවයි. මෙම​ යෝජනාව ගැන සාකච්ඡා කරන විටම මහා පරිසරවේදීන් ආයුධ අමෝරාගෙන ආහ. ඔවුහු සාගර දූෂණයට විරුද්ධ වූහ. ඔවුහු ගොඩබිමේ කුණු සාගරයට දැමීම හඳුන්වන්නේ ජල දූෂණය ලෙස බව පැවසූහ. එන්.ජී.ඕ. නායකයකු වන ඩොලර් කාක්කකු ප්‍රකාශ කළේ කුණු දාන්න ඉඩ දිය නොහැකි වුවද ඇමෙරිකාව මූදට තිරිඟු පිටි දැමීමට තමන් විරුද්ධ නොවූ බවය.

සාගරය කුණු ප්‍රශ්නයට විසඳුමක් ලෙස උපයෝගී කර ගත හැකි බවට ප්‍රකාශ කළ නිලධාරීන් ප්‍රකාශ කළේ ‘‘කවුද කුණු මූදට දාන්න කිව්වෙ? දොස්තර මහත්තයකු ලවා වාර්තාවක් ලබාගෙන ඉවත දාන ආහාර මූදට දාන්නෙ. ඒකට කාටවත් විරුද්ධ වෙන්න බැහැ’’ යන තර්කයයි. ඔහු නැවතත් ප්‍රකාශ කළේ‍ එදා දවසෙ කුණු එදින හවසට පෙර මුහුදට දැමීමෙන් ජල ජීවින්ට, මත්ස්‍ය ජීවිතයට හානියක් නොවන බවයි.

ඈත දියඹට ගොස් ආහාර ලෙස කුණු මූදට දැමුවොත් ගැඹුරු මූදේ සිට එන මාළුන් ඒවා ආහාරය ලෙස ගැනීමට පැමිණේ. එවිට ලංකාවේ ධීවරයින්ට එකී ප්‍රෝටීන් බහුල ඈත දියඹේ සිට එන මාළු වර්ග අල්ලා ගැනීමෙන් හොඳ ආදායමක් ලබාගත හැකිය. එය හොඳ ආර්ථික සම්පතක් වේ. කුඩා ලංකාවේ ඇති කුණු ඩිංග සප්ත මහා සාගරයට දැනෙන්නේවත් නැත.

සාගරයට කුණු දැමීමට පක්ෂපාත පිරිසක් හා විරුද්ධ මතධාරීන් ද සිටිති. එහෙත් එය යුරෝපයේ ඇතැම් රටවල් අනුගමනය කරන බව පවසන පිරිසක් ද වූහ. එය ලාභදායක යෝජනාවකි.
ඇතැම් රටවල නගරවල ‘‘ගාර්බේජ් සිමෙට්ට්‍රි’’ නම් ස්ථානයක් ඇත. ඒවා ද මියගිය මනුෂ්‍ය ශරීර තැන්පත් කරන කනත්ත හා සමානය. විනාශ වූ මිනිස් සිරුරු පොළොව යට තැන්පත් කරන්නේ ‘‘සිමෙට්ට්‍රි’’ හෙවත් කනත්තේය. එහෙත් විනාශ වූ කල් ඉකුත් වූ ප්‍රයෝජනයට ගත නොහැකි බත්, පාන්, එළවළු, පළතුරු ආදී සියල්ලම එකතු කොට පොළොව යට හාරන ලද වළකට දමනු ලැබේ. මෙම ගැඹුරු වළට කුඩා කටක් තිබේ. එය කොන්ක්‍රීට් තහඩුවකින් වසා ඇත. මෙම කොන්ක්‍රීට් තහඩුව ඇර එතුළට පිලුණු ආහාර දමා ගඳ පිටතට නොඑන ලෙස වසා දමනු ලැබේ. මෙයට කෙටි කාලයක් අවශ්‍යය. එහෙත් පොහොර නිපදවා ගත හැකිය. කුණු ගඳ පිට නොවේ. පරිසරයට හානියක් නැත. එහෙත් මෙහි ගත වෙන කාලය අනුව පොහොරවල ගුණාත්මක වටිනාකම ද වැඩි වේ. විශාල භූමි ප්‍රදේශයක් මෙයට වෙන් කළ යුතුය. එයද අපහසු කාර්යයකි. ශ්‍රී ලංකාව තුළ ජන ශූන්‍ය ප්‍රදේශයක් නම් සොයා ගැනීම ද අපහසුය. ගෘහ මට්ටමේ මෙවැනි පෝර වළවල් තැනීම අපහසු නැත. එය පිරුණු පසු වෙනත් වළක් තැනිය හැකිය.

මැලේසියාවේ මහතීර් මහමුද් විසින් ක්වාලාලම්පූර් නගරය පිරිසිදු නගරයක් බවට පත් කිරීමට අපද්‍රව්‍ය කළමනාකරණයට ඉතා හොඳ සැලසුමක් ඉදිරිපත් කර තිබුණි. නගර සභාව විසින් සතියකට එක් දිනක් පාර අසල ස්ථානයක් වෙන් කර තිබුණේ නිවාසවලින් ඉවත් කරන යකඩ, පයිප්ප කෑලි, සෙලෝලොයිඩ්, ප්ලාස්ටික් භාණ්ඩ, රබර් භාණ්ඩ, ඇලුමිනියම් වැනි දිරාපත් නොවන භාණ්ඩ තැන්පත් කිරීම සඳහාය. මෙහි වැඩි වශයෙන් එකතු වූයේ හිස් වතුර බෝතල්ය. එහෙත් මෙම සියලු භාණ්ඩ අසුරා පොලිතින් උරවල දමා ගැට ගසා තිබුණේය. සතියකට එක් දිනක් ලොරියක් පැමිණ මෙම භාණ්ඩ රැගෙන යයි. ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය. නැතහොත් මෙම භාණ්ඩවලට මිල කළ හැකි වෙළෙඳපොළක් තිබේ. මේවා ඉවත් කිරීම නගර සභාව සම්පූර්ණයෙන් භාර ගත්තේ ඒවා ආර්ථික වටිනාකමක් ඇති බැවිනි.

ඉතා සාර්ථක අත්හදා බැලීමක් ලෙස එවකට පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටි කලාශුරී සුනිල් සරත් පෙරේරා මහතා සහ ප්‍රවීණ පරිපාලන නිලධාරියෙකු වූ රණවිරාජා මහතා එකතුව ටැංකි ක්‍රමයක් හඳුන්වා දුන්නහ. මෙය අඩි 3 1/2 පමණ උස ප්ලාස්ටික්වලින් සෑදූ ටැංකියකි. මෙය කොළ පාටින් වර්ණවත් කර තිබුණේය. ‘‘පිළිසරු’’ යන වචනයෙන් මෙය හැඳින්වීය. මෙය සම්පූර්ණ දේශීය නිෂ්‍පාදනයකි. කුඩා පවුලකට මෙය හොඳටම ප්‍රමාණවත් විය. වැය වන්නේ ද කුඩා භුමියකි. මේ නිසා කුණු පාරට දැමීම අවශ්‍ය නොවේ. තෙත සහිත බත්, එළවළු, පළතුරු වැනි ඉතිරි වෙන අපද්‍රව්‍ය මෙයට දැමිය හැකිය. මෙහිදී කඩදාසි සහ පිළිස්සිය හැකි ද්‍රව්‍ය ගෙදරදී පුළුස්සා දැමිය යුතුය. එක් කෑම වේලකට ඉතිරි නොවන ලෙස අරපිරිමැස්මෙන් ආහාර පිළියෙල කිරීම ගෘහණියගේ කාර්යභාරයයි. අපතේ යන ලෙස ආහාර පිසීම දුර්වල භාර්යාවකගේ ලක්ෂණයකි. එබැවින් ඉතා කුඩා අපද්‍රව්‍ය ප්‍රමාණයක් මෙම ටැංකියේ තබා ගත හැකිය. මුල් දවසේ දමන ආහාර ද්‍රව්‍ය මාසයේ අවසානය වන විට දිරාපත් වී තිබේ. ඒ මල් ගසට පොහොර වේ.

ඇතැම් නිවාසවල තවමත් මෙම ටැංකි ක්‍රමය ක්‍රියාත්මක වේ. පස් දෙනෙකුගෙන් යුතු පවුලකට මෙය සාර්ථක විසඳුමක් විය. එවැනි ගෙදරක අපද්‍රව්‍ය පාරට දැමීමට ඉතිරි වෙන්නේ උත්සව අවස්ථාවක දී පමණි. ඉතා සාර්ථක විසඳුමක් වූ මෙය කොළඹ නගරයේ ක්‍රියාත්මක වූයේ නම් කුණු කාණු ගොඩගැසෙන්නේ නැත. ටැංකියේ යටින් එන්නේ පොහොර වර්ගයකි. එය ආණ්‍ඩු වෙනස්වීම් සහ නිලධාරී වෙනස්වීම් සමග අභාවයට ගියේය. එහෙත් මෙම ක්‍රමය අඩු වියදම් සහිත වෙනත් කිසිවකුටත් බාධාවක් නැති පවුලේ විසඳුමක් විය. ටැංකියට යන මුල් වියදම රජය සැපයුවේ නම් කුණු ඉවත් කිරීමට යන වියදමත් ජීවිත හානියත් වළක්වා ගත හැකිව තිබුණි.

වර්තමානයේ නගරයේ එකතු කරන කුණු පොළොව මතු පිට කොතනකට හෝ දැමිය යුතුය. කොතැනට දැමුවත් ඒවා දමන ප්‍රදේශයේ ජනතාවගෙන් විරෝධය මතුවේ. කුඩා රටක් නිසාත් අධික ජනගහනයක් සිටින නිසාත් මෙම ගැටලුව දිනෙන් දින වර්ධනය වීම විනා අඩුවීමක් අපේක්ෂා කළ නොහැකිය. කුණු දමන ස්ථානයෙහි ඉක්මණින් දිරාපත්වීමට රසායන වර්ගයක් උපයෝගී කර ගත් නමුත් කුණු ස්කන්ධය ඉන් අඩු නොවේ. කුණු විමධ්‍යගත කිරීමට අදහසක් ද ප්‍රකාශ විය. මින් අදහස් කළේ‍ මීතොටමුල්ල වැනි එක් ස්ථානයක කුණු එකතු කිරීම වෙනුවට කුඩා පරිමාණයේ ස්ථාන දහයක් හෝ පහළොවක් ඇති කළ යුතු බවයි. එම ස්ථාන ද කාලයෙන් කාලයට හිස්ව තැබිය යුතු බවයි. වර්ෂය පුරාම කුණු එක තැනකට එකතු කිරීම යෝග්‍ය නොවේ. මෙහි අනෙක් ප්‍රතිඵලය නම් එක් තැනකින් එන චෝදනාව වෙනුවට ස්ථාන කිහිපයකින් චෝදනා හා උද්ඝෝෂණ මතුවීමයි.

චීනයේ ගම්බද ප්‍රදේශවල තවමත් අපද්‍රව්‍ය ගස් මුල්වලට දමති. ඒ ගස්වල අයිතිකරුවා ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඉන් එන දුර්ගන්ධයද ඔවුහු ඉවසති. කුඹුරුවලම මිනිස් මළ පහ දමති. ඒ පොස්පරස් ලබාදීම සඳහාය. දුගඳ ඉවසා සිටින්නේ ලැබෙන අස්වැන්නේ ප්‍රමාණය බලා සතුටු විය හැකි නිසාය.

සිංහල ගැමි සංස්කෘතිය විසින් ද අපට අපද්‍රව්‍ය පාලනය පිළිබඳව උගන්වා තිබේ. ඒවා පරිසර සංරක්ෂණය සමඟ බැඳී පවතී. ගොවියා කුඹුරු කපා කරල් ඉවත් කරන විට ලියැද්දේ එක් කොටසක කුරුලු පංගුව වශයෙන් කුරුල්ලන්ට කෑමට ගොයම් ගස් කීපයක් ඉතුරු ක​ෙළ්ය. මෙය කෑම වේලේදී ද බෞද්ධයා විසින් අමතක කළේ නැත. බොහෝ ගැමි ගෙවල්වල තවමත් කුරුලු තැටිය පවතී. මෙහිදී සිදු වෙන්නේ කෑම කෑමෙන් පසු ඉවත ලන කොටස තැටියක දමා කුරුල්ලන්ට කෑමට තැබීමය. කුරුල්ලෝ තම කොටස කා හඬ නිවා පියාඹති. දැන් එවැනි චාරිත්‍ර ක්‍රම නැත. දැන් ඉතිරිවන ආහාර පොලිතින් බෑගයක දමා පාරට විසි කරති. ඒ නිසා දණ්ඩන පැනවිය යුතුමය. ඔබේ නිවසේ කුණු ගැටලුව ඔබ විසඳා ගතහොත් එය රටේම ප්‍රශ්නය විසඳා ගැනීමකට සහයෝගය දීමකි.

කුණු එකතු කළේ‍ ගෙදර සිටින සාමාජිකයින් විසිනි. ඉන්පසු ඔවුහු එය අසල්වාසීන්ගේ ජීවිතවලට තර්ජනයක් බවට පත් කළහ. මෙම වරදට සමාව දිය නොහැක්කේ සිතාමතාම කරන වරදක් නිසාය. දැන දැනම කුණු තවත් අයෙකුට හානියක් වෙන ලෙස දැමීම වරදකි.
කුණු දමන ස්ථාන, වේලාව, ගෙන යන විධික්‍රමය (ලොරිය හෝ ට්‍රැක්ටරය) රැගෙන යන වේලාව දැනුම් දිය යුතුය. එසේ නොකරන නගර සභා සේවකයාට හා නගරාධිපතිට දඬුවම් දිය යුතුය. නැතහොත් සාධාරණයක් ඉටු නොවේ. කුණු ඇදීම වෙනුවට, කුණු ගොඩ එලෙස සතියම තිබෙන්නට හැර ට්‍රැක්ටර් රියදුරා කුලියට පස් සහ වැලි අදින්නේ නම් මෙම අවනඩුව කියන්නේ කාටද?

සියලු අපද්‍රව්‍ය පොලිතින් උරයක දමා පාරට දැමූ විට ඒවා නගර සභාව විසින් ගෙන යා යුතුය. තමන්ගේ ඉඩමෙහි ඒවා තැන්පත් කිරීමට ඉඩකඩ තිබුණත් පොලිතින් කවරය ඊට වඩා පහසුවක් විය. ෆුඩ් සිටි සහ සතොස හරහා පොලිතින් කවර ගෙදරට ආහ. චීනයේත් ඉන්දියාවේත් බයිසිකලයේ ඉදිරිපස දැල් බාස්කට් එකක් ඇත්තේ භාණ්‍ඩ රැගෙන ගෙදර යාමටය. ගෙදරට භාණ්ඩ ගෙනියන ක්‍රමයක් තිබිය යුතුය. එහෙත් එය සමාජයට හෝ අසල්වැසියාට හානිකර ක්‍රමවේදයක් නොවිය යුතුය. ඒ නිසා ගෙදර මල් ගසක් යට දැමු විට දිරා පොහොර වෙන අැසුරුම් රටාවක් නිෂ්පාදනය කිරීම පොලිතින් සමාජයෙන් ඉවත් කිරීමේ උචිත ක්‍රමය වේ.

රෙදි ආවරණයක පත්තරයක ඔතන ලද කෑම වේල රැගෙන යෑම ලිපිකාරිණියට අපහසුය. එහෙත් ඇය පොලිතින් කවරයේ කෑම වේල දමාගෙන කාර්යාලයට යන්නීය. මෙයට හේතුව රෙදි ආවරණය ලාභදායක වුවද නැවත නැවත සෝදා ගැනීමට ලිපිකාරිය කැමැත්තක් නොදැක්වීමය. පරිසරයට හෙණ ගැහුවම අපට මොකද? පොලිතින් කවරය ගුලි කර පාර අයිනට විසි කිරීම කොපමණ පහසුද? තවමත් සිගරට් කොටය පාරට විසි කරන්නෝ සිටිති.

‘‘අනේ ඩෙංගි මල්ලියේ පාරට කුණු දාන එකාට විදපන්’’  

නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල

Facebook Comments

more recommended stories

%d bloggers like this: