කෑම ඔතන රෙජිෆෝම් පෙට්ටි වලට තහනමක්..!

ජනතාවගේ සෞඛ්‍යයට හා පරිසරයට හානිකරන අවම ප්‍රමිතියෙන් යුත් කෑමවර්ග ඔතන පොලිතීන් කොළ, රෙජිෆෝම් කෑම පෙට්ටි, ප්ලාස්ටික් වතුර හා බීම බෝතල තහනම් කිරීම හා විශාල කර්මාන්තයන්ගේ උඳුන් හා බොයිලේරු මගින් රසායනිකයන් පිටවීම පාලනය කිරීම ලබන වසරේදී දැඩි පියවර ගැනීමට රජය තීරණය කර ඇත.

මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර ඇමැතිවරයා ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයක් අනුව පත්කරන විශේෂඥ කමිටුවක නිර්දේශයක් අනුව මෙම කෘතිම ද්‍රව්‍ය තහනමට අමතර මයික්‍රෝන 40ට අඩු පොලිතින් භාවිතය ද තහනම් කරනු ඇත.

මේ පිළිබඳව දිනමිණට කරුණු දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ කේ. එච්. මුතුකුඩආරච්චි , පොලිතින් වෙනුවට ප්ලාස්ටික් හා දිරායන ප්ලාස්ටික් භාවිතා කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට පත්කරන ලද මෙම විශේෂඥ කමිටුවේ නිර්දේශය මත අවශ්‍ය රෙගුලාසි ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරෙන නමුදු ඒ සඳහා සූදානම්වීමට ජනතාවට සහන කාලයක් දෙන බව කීය.

මෙම වසර තුළදී භාවිතා කිරීමට අවසර තිබූ මයික්‍රෝන 20ට අඩු පොලිතීන් වර්ග විකුණූ හා ගබඩා කර තිබූ වෙළෙඳ ආයතන දහසක් අල්ලාගත් බවත්, ඉන් 500කට දැනටම නඩු පවරා ඇති බවත් ඔහු පැවසීය.

මේ අතර විශාල විදුලිබලාගාර හා කර්මාන්තශාලාවලින් විෂ ද්‍රව්‍ය විමෝචනය වීම වැළැක්වීම සඳහා පරිසර අධිකාරිය මගින් සකස් කරන ලද රෙගුලාසිවලට නීති කෙටුම්පත් හා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බව ද ඔහු පැවසීය. මෙම කටයුතු සිදුකිරීම සඳහා පරිසර අධිකාරිය රුපියල් මිලියන 30ක් වටිනා උපකරණ සහිතව නවීනතම විද්‍යාගාරයක් පිහිටුවා ඇති බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එමගින් මෙම කර්මාන්තශාලාවලින් නයිට්‍රජන් ඔක්සයිඩ්, සල්ෆර් ඔක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ් හා විෂ ද්‍රව්‍ය අංශු පිටවීම පිළිබඳ පරීක්ෂා කෙරෙනු ඇතැයි ද කීය.

මෙරටේ පිහිටි බලාගාර හා විශාල පරිමාණයේ කර්මාන්ත ශාලා 200ක් පමණ මෙම ක්‍රමය යටතේ විමර්ශනයට භාජනය වනු ඇත.

LEAVE A REPLY