ගම්පහ ටියුෂන් පෙම්වතුන්ට ‘මිනි රෙස්ට් හවුස්’ දුන්නු හැටි..!

ගම්පහ ටියුෂන් සිසු සිසුවියන්‍ ගේ ලිංගික උපසංස්කෘතිය පිළිබඳව ‘ලක්බිම’ අන්තර්ජාල පුවත්පත මගින් අවස්ථා කිහිපයක දීම අප විසින් තොරතුරු අනාවරණය කරන ලදී. ඒ එම කරුණු සම්බන්ධ විවෘත සමාජ කතිකාවක කාලීන වැදගත්කම සලකමිනි. අප මෙම මාතෘකාව ඔස්සේ මෙලෙස විවෘතව කරුණු ඉදිරිපත් කරන අතරේ ගම්පහ ආශ්‍රිතව එක්තරා සුවිශේෂ සංසිද්ධියක් ද සිදුවිණි. එනම් දිගු කාලයකට පසුව (ගම්පහ ප්‍රදේශවාසීන් පවසන අන්දමට මතක ඇති කාලයකින්) පසුගිය පෙබරවාරි 05 ඉරිදා ගම්පහ නගරයේ විවිධ ස්ථානවල අනුරාගී ලෙස හැසිරෙමින් සිටි තරුණ තරුණියන් අසූ දෙනෙකු පමණ පොලිස් භාරයට ගෙන අවවාද කිරීමෙන් පසුව මුදාහැරීමය.

මෙය ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ නියමය පරිදි සිදු කරන ලද මෙහෙයුමක් බවත් ඒ සඳහා පොලිස් නිලධාරීන් සේම නිලධාරිනියන්ද එක් වූ බවත් අපට දැනගත හැකිවිය. එමෙන්ම මෙම පොලිස් භාරයට ගැනීමේ දී බියපත් වූ ඇතැම් තරුණ තරුණියන් ඒ පිළිබඳව එවලේම ජංගම දුරකථන මගින් තම දෙමවුපියන්ට දන්වා තිබුණි. ඒ අනුව තම දූ පුතුන්ට  එරෙහිව අයාල ආඥාපනත යටතේ පොලිසිය විසින් නඩු පවරනු ඇතැයි බියපත් වූ මාපියෝද එදින  සියළු වැඩ කටයුතු පසෙක තබා  පොලිස් භාරයට ගෙන සිටින තම දූදරුවන් බේරා ගැනීම පිණිස ගම්පහ පොලිස් ස්ථානයට රොක් වූහ. එහෙත් මෙය නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයකට වඩා එම තරුණ තරුණියන්ගේත් පොදු සමාජයේත් සදාචාර සංවර්ධනය අරමුණු කර ගනිමින් කළ ක්‍රියාවක් බව ඔවුනට දැනගත හැකි විය. එමෙන්ම මෙම මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කරන බවද දැන ගන්නට තිබේ.
එහෙත් ගම්පහ නගරයේ ටියුෂන් සිසු සිසුවියන් ගේ ලිංගික උප සංස්කෘතිය පිළිබඳව ගත වූ මාස කිහිපය තුළ ඉතා සියුම් ලෙස හා ගැඹුරින් විශ්ලේෂණය කළ අපට ඒ හා සම්බන්ධ තවත් රහස් කිහිපයක් අනාවරණය කර ගත හැකිවිය.

ගම්පහ නගරයේ ජනාශ්‍රිත ස්ථානවල අනුරාගී ලෙසින් හැසිරන තරුණ තරුණියන් වෙත පැමිණ ඔවුන්ට ඒ සඳහා වඩාත් නිදහස් ස්ථාන සපයා දෙන පිරිස් පිළිබඳව අපගේ සියුම් අවධානයට යොමු වූයේ එහි දීය. මෙහි දී පළමුව එම තරුණ ජෝඩු වෙත උපායශීලි ලෙස ළංවන ඔවුහු මෙවන් දෙයක් කියති.

“ඔයාලට ඔයිට වඩ නිදහසේ කතා කර කර ඉන්න හොඳ තැනක් අසවල් බිල්ඩිමේ අසවල් තට්ටුවේ තියනවා; කිසි කෙනෙක් ඒ පැත්තට එන්නේ නැහැ. ඒ හින්දා කාගෙන්වත් නොඅසා කෙලින්ම එතැනට ගිහින් එතන ඉන්න …… අයියා, …… අක්කා හම්බුවෙන්න.”

අපගේ අනුමානය අනුව ගම්පහ නගර සීමාව තුළ මෙවැනි ස්ථාන දහයක් පමණ තිබේ. නගරාසන්න ප්‍රදේශයද සලකා බලනවිට මෙම ප්‍රමාණය දෙගුණයක් විය හැක. මේවා  බොහොමයක් පිහිටා ඇත්තේ මහජනයා නිතර ගැවසෙන පොදු ගොඩනැගිලිවල උඩු මහලේය. මේවා වැඩිපුරම වසා දැමූ ව්‍යාපාරික ස්ථානයන්න. මේවායේ වත්මන් භාරකාරත්වය දරනුයේ ඒවායේ සැබෑ හිමිකරුවන් නොවන බවද පෙනෙයි. ජනාකීර්ණ ස්ථානයන් වල සිට මඳ දුරක් ගිය පසු හමුවන කිසිවකු පදිංචි නොමැති හිස් නිවාසයන්ය ද මේ සඳහා යොදාගැනේ. එමෙන්ම මේවායේ ඇති විශේෂත්වය වනුයේ සිනමාහලකට, ලැඟුම්හලකට පිවිසීමේ දී තරුණ තරුණියන්ට; විශේෂයෙන් තරුණියකට මුහුණ දීමට සිදුවන සමාජීය අපහසුව මෙම ස්ථානයකට පිවිසීමේදී අත්විදීමට සිදු නොවීමය. ඔවුන් බොහෝවිට සිදු කරනුයේ එම ස්ථානයට තම පෙම්වතා පිවිස මඳ වේලාවකින් වටපිට බලා හීන්සීරුවේම එතුළට පිවිසීමය. මෙම ස්ථාන පිළිබඳව මිතුරු මිතුරියන් මගින් කරුණු දැනගන්නා ටියුෂන් සිසුසිසුවියෝ සෑහෙන පිරිසක් මෙම මිනිරෙස්ට්හවුස් වෙත ඇදී යාම බහුලව සිදුවෙයි.

මේ සම්බන්ධ තවත් විශේෂතම කරුණක් ද තිබේ.  එනම් ගම්පහ ප්‍රදේශයේ ඇතැම් විවාහක සහ අවිවාහක කන්තෝරු නෝනලාද තම පෙම්වතුන් හා පමණ ඉක්මවන නිදහසක් භුක්තිවිදීම  පිණිස මෙවන් ස්ථාවලට පැමිණීමය. මේවා බොහෝවිට මුලුමනින්ම අවරණය වූ ස්ථානයන්ය. ඇතැම් ස්ථාන යතුරු දමාගත හැකි අයුරින් සැකසී තිබේ. මේ ඇතැම් ස්ථානවල ජෝඩු දෙකකට හෝ තුනකට එකවර රැදී සිටීමේ පහසුකම සලසා ඇත. මෙහිදී අපගේ නිරීක්ෂණයට ලක් වූ ගම්පහ නගරයේ ගොඩනැගිල්ලක ඉහළ මාලයක පිහිටි මෙවන් ස්ථානයක් අද්දර කාන්තාවන් දෙදෙනකු සේවය කරන මැහුම් හලක් ඇත. මෙම තරුණ තරුණියන්ට රැඳී සිටීමේ පහසුව සලසන ආසන්න ස්ථානය පිළිබඳව පාරිභෝගික කටයුත්තකට යන බව අඟවා එම මැහුම් හලේ කාන්තාවකගෙන් විමසා සිටි අප නියෝජිත වරියකට අසන්නට ලැබී ඇත්තේ මෙවැනි කතාවකි.

“ඔය ටියුෂන් එන කොල්ලෝ කෙල්ලෝ කරන දේවල් හොය හොයා ඉන්න ගියොත් අපිට අපේ වැඩ කරගන්න වෙලාවක් නැතිවෙනවා. අනික උන් මොනවා කළාම අපිට මොකද?”

ඒ අනුව එම ස්ථානය පවත්වාගෙන යන පුද්ගලයා එම කාන්තාවන් ගෙන් ඒ සඳහා අවසර ගෙන හෝ ඔවුන් බියවද්දා ඇති බව අනුමාන කිරීමට අපට හැකිවිය. එසේ නොමැතිනම් එම සදාචාර පරිහානියට එරෙහිව ‍ඔවුන් කිනම් හෝ අයුරකින් පෙනී සිටිනු ඇත.

ගම්පහ නගරයේ ඇති මෙබඳු ස්ථානවල තානායම් ලැඟුම්හල් කාමරවල මෙන් එහි පැමිණෙන්නවුන් හට යහන් පනවා නැත. ඒ වෙනුවට එතුළ ගෘහ හෝ කාර්යාල උපකරණයක් දෙකක් පමණක් දක්නට පුලුවන. එහි පැමිණෙන තරුණ ජෝඩුවකට පැය භාගයේ සිට පැයක හමාරක කාලයක් තුළ එහි රැඳී සිටීම පිණිස රුපියල් තුන්සීයේ සිට පන්සීය  දක්වා මුදලක් අය කරනු ලැබේ. එම ගොඩනැගිලි තුළ ඇති ආවරණය වූ ස්ථාන තුළ  සිට ඔවුන්ට පෙම් පිළිසඳරේ යෙදීමට වඩා බොහෝ දේවල් කර කියා ගැනීමට පුලුවන.

මෙබඳු ස්ථාන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බදු මුදල් නොගෙවීම මත එය පවත්වාගෙන යන තැනැත්තාට දිනකට සැලකිය යුතු මුදලක් උපයාගත හැක. එමෙන්ම ඒ සම්බන්ධ තැරැව්කරුවන්ට ද ඉන් කොටසක් දීමට ඔවුන්ට සිදුවෙයි. තවද  මෙම ස්ථාන තුළ සිදුවන ක්‍රියාව පැහැදිලි ලෙස නීතිමය වශයෙන් අර්ථගැන්වීමට  පොලිසියට නොහැකිය යන විශ්වාසය මත ඔවුන් ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් ගේ ලිංගික උප සංස්කෘතියට මෙලෙස යටිතල පහසුකම් සලසනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බුද්ධි අංශ නිලධාරීන්ගේ සහයෙන් හෝ මෙවන් ස්ථාන පිළිබඳවද වැඩිදුර තොරතුරු නොපමාව සොයාගනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.

 

ප්‍රසංග පෙරේරා – ජා ඇල
උපුටා ගැනීම : ලක්බිම

more recommended stories