චීන ආයෝජන නැතිවුනොත් බදු වැඩි කරන්න වේවි..!

454

චීන සමාගමේ ආයෝජනයක් හම්බන්තොට සිදු නොවන්නේ නම් අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම සඳහා බදු ප්‍රතිශතය ඉහළ නැංවීමට සිදුවන බවත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

චීන සමාගම හම්බන්තොට ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 1.1ක ආයෝජනයක් සිදුකරන බවත් එම ආයෝජනය වැළැක්වී යන්නේ නම් රජය අපේක්ෂා කරන ආදායම මෙරට ජනතාව මගින් උපයා ගැනීමට සිදුවන බවත් අමාත්‍යවරයා කීවේය.
මහනුවර ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ අන්තර්ජාතික ශිෂ්‍ය දින සැමරුම් උත්සවය මහවැලි රිච් හෝටලයේ දී පැවැති අතර එම උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිට පාලන සමයේදී එකදු කර්මාන්ත ශාලාවක් හෝ ආරම්භ කිරීමට හැකියාවක් නොලැබුණු බව කී අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා සිදුකළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ කර්මාන්ත ශාලා තුන්සියයෙන් එකසිය පනහක් වසා දැමීමට කටයුතු කිරීම යැයි කීවේය.

දැඩි ආර්ථික ණය බරක හිර වී සිටින ශ්‍රී ලංකාව ඉන් මුදවා ගැනීමට නම් විදේශීය ආයෝජන මෙරටට අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා සියල්ලන්ගේම සහයෝගය අවශ්‍ය වන බව ද ඔහු කීහ. නමුත් ඒකාබද්ධ විපක්ෂය නිරන්තරයෙන්ම සිදුකරන්නේ රජයේ වැඩපිළිවෙළ කඩා බිඳ දැමීමට යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉන්දියන් සහකාර මහ කොමසාරිස් රාධා වෙන්කටරාමන් මෙනවිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Comments

comments

LEAVE A REPLY