ජාතිවාදයේ රෙදි ගලවන ඩෑන් ප්‍රියසාද් ඔබට අපේ විප්ලවීය මෙව්ව එක..! (VIDEO)

0
3850

ලංකාවේ ජාතිවාදයට ගිය කල ගැන අධ්‍යයනය කිරීමට හොඳ කේස් එකකි, ඩෑන් ප්‍රියසාද්. මේ ඩෑන් කෑල්ල නිතර ෆේස්බුක් ප්‍රොෆයිල් මාරු කරන අය භාවිතා කරන මැක්ස්, රූල්ස් වැනි කෑල්ලක් විය හැකි ය. ඔහුගේ නම සංජීව ප්‍රියසාද් ලෙස ද කියවේ.

ඉස්සර නම් ජාතිවාදයෙන් පොරවල් වන්නට ගියේ බණ්ඩාරනායකලාගේ සිට කේ.එම්.පී. රාජරත්න, සිරිල් මැතිව් හරහා චම්පික රණවක දක්වා එක් පැළැන්තියක දේශපාලනඥයෝ ය.

හාමුදුරුවරුන් ගතහොත්, ජාතිවාදයෙන් කප් ගැසුවේ තල්දූවේ සෝමාරාමගේ සිට ගලගොඩඅත්තේ, ඉත්තෑකන්දේ අරෙහ මෙහෙ නො දන්නා පිටිසර පළාත්වල දුප්පත් පවුල්වලින් ගෙනැවිත් ලොකු හාමුදුරුවරුන් අතින් අපචාරයට පත් වී මානසික ගැටලුවලට මුහුණ දී සිටින දුස්සීල මහණුන් ය.

තවත් පැත්තකින් අනගාරික ධර්මපාලගේ සිට නලින් ද සිල්වා දක්වා බුද්ධිමය ධාරාව ඇත.

මේ හා සමාන්තර වර්ධනයන් මෙතරම් පැහැදිලිව නො වුණත්, දෙමළ හා මුස්ලිම් සමාජයන්හි ද තිබේ.

මේ අතර, සුළුතර ජාතිවාදයන් සමග එක් වී සිංහල ජාතියෙන් තමන්ට නො ලැබෙන තැන ලබා ගත් වාමාංශික ජාතිවාදී සුළුතරයක් ද සිටිති. රසවත් කාරණය වන්නේ දෙමළ ජාතිවාදයට කඩේ යන මොවුන් සමීපව නිරීක්ෂණය කර බැලූ විට ඔවුන් ඇතුළාන්තයෙන් සිංහල ජාතිවාදීන් වීම ද දකින්නට ලැබීමයි. මෙම බ්ලොගයේ නිර්නාමිකව අදහස් දක්වන එක් පිරිසක් මෙම ප්‍රවර්ගයට අයත් වෙති. ඔවුහු අප විසින් ප්‍රවර්ධනය කරනු ලබන පුළුල් දේශපාලන ප්‍රජා අනන්‍යතාවක් පිළිබඳ සංකල්පයට දැඩි ලෙස පහර දෙති.

මේ සියල්ලන්ගේ ආතල් කුඩු කරන පොරක් දැන් මතු වී තිබේ. පිළිගන්න, පිළිකන්නෙන් ගෙට ගන්න, ඩෑන් ප්‍රියසාද්.

ඔහු මතු වන්නේ අප ඉහත කී සමාජ පසුබිම්වලින් නො වේ. කෙළින් ම කාණුවෙනි. ඉස්සර ජාතිවාදී නායකයන් මෙවැනි අය පාවිච්චි කළේ පෙට්‍රල් වක්කර ගිනි තැබීම, මිනී මැරවීම, විනාශ කිරීම වැනි කටයුතු සඳහා ය. ඒ මට්ටමේ අය ජාතිවාදී ව්‍යාපාරයන්ගේ නායකත්වය සඳහා තරග කිරීම නව නැම්මකි.

පිළිකන්නෙන් ගෙට ගන්න යයි කීවේ නිකම් නො වේ. ජාතිවාදයේ අනාගතය මෙයයි. ඥානසාර, රාජපක්ෂලාගේ මහින්ද පතිරණ, නලින් ද සිල්වා පමණක් නොව රෝහිත භාෂණටත් ඩෑන් ප්‍රියසාද් පිළිකන්නෙන් ගෙට නො ගෙන තමන්ගේ ජාතිවාදී ව්‍යාපෘති පවත්වාගෙන යන්නට බැරි යුගයකට අපි දැන් එළැඹ සිටිමු.

ඩෑන් ප්‍රියසාද්ගේ ප්‍රවේශය වනාහි සිවුරට මුවා වී හාමුදුරුවන් නටන බියගුලු නාඩගම්වලට වඩා වෙනස් එකකි. එය ගහන්නේ ස්මාට් ෆෝන් එකෙන් ය. එහි මූලධර්මය වනාහි මෝඩයා බය නො දනී යන ගැඹුරු පශ්චාත් මාක්ස්වාදී න්‍යායයි.

හාමුදුරුවන්ගේ ලුම්පන් ආධාරක පදනම දෙදරවාගෙන ලුම්පන් ජනතාව තමන්ගේ ම එකෙකුට සෙට් වෙන තත්වයක් දකින්නට ලැබී රාජපක්ෂලාගේ අසහාය බුද්ධිමතා වන මහින්ද පතිරණ පවා කලබලයට පත් වී තිබේ. ඔහු මෙසේ කියයි:”ඔය පුද්ගලයාත් බොදුබලය වැනි සංවිධානත් කවදාවත් සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිට නැහැ. ඔවුන් කරන්නේ සිංහල බෞද්ධබව අන්තවාදී අතීශෝක්තියකට නගල සිංහල බෞද්ධයාගේ ප්‍රතගිශීලි හා සහනශීලි ප්‍රතිරූපය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව. අර අම්පිටියේ සුමනරතන හිමි ව‍ගේ ම ඔවුන්ට ඕන සිංහල බෞද්ධයා අමු මනෝභාවයන් මත ක්‍රියා කරමින් සෙසුු වාර්ගිකයින්ට හා ආගමිකයින්ට පහර දෙන ම්ලේච්ඡයින් පිරිසක් බව ලංකාවේ හා ලෝකයේ මතයක් නිර්මාණය කරන්න.”

ඩෑන් ප්‍රියසාද්ගේ කතා ශෛලිය අනගාරික ධර්මපාලගේ එක ය. නලින් ද සිල්වාගේ සිට ඥානසාර හරහා බොහෝ දෙනෙක් අනුගමනය කළ මෙම කතා ශෛලිය ඔහු කූටප්‍රාප්තියට පත් කර ඇත. ඔහු සමග තරග කිරීමට අම්පිටියේ සුමනරත්නටවත් බැරි තරම් ය. ඔහුගේ කට්ටියටත් ඔහු නූතන දුටුගැමුණු ය. සිංහල ජාතියේ සටන පටන් ගන්නට යන්නේ දැන් ය. මෙච්චර කල් එහෙම එකක් තිබිලා නැත. මේ වනාහි 21වන සියවසේ අනගාරික ධර්මපාල ය.

වීරයකු නම් හිරෙත් ගොස් ආ යුතු ය. ඩෑන් ප්‍රියසාද්ට නම් ඒක ඒ තරම් අලුත් තැනක් නො වන්නට ද පුළුවන. ඔහුගේ අනුගාමිකයන් කියන්නේ මෙසේ ය: “ගහන්න එපා මහත්තයා, හරි ද?”

ඝන වූ සියල්ල වාෂ්ප වේ.ශුද්ධ වු සියල්ල කෙලෙසේ. ඒ අතර, මේ වනාහි ඩෑන් ප්‍රියසාද්ගේ විලෝමයයි. කටින් කයිවාරු පුකෙන් අච්චාරු වගේ රුවන් වැකි ද මේ ‘දේශනයේ’ තිබේ.

මොහු ද අපූරු සාහිත්‍යකරුවෙකි. එසේම, අනාගත වක්තෘකෙනෙකි. ශාස්තෘවරයෙකි. මේ ඔහුගේ තවත් රුවන් වැකියකි.

‘ගඟේ යාලුකං – ඔරුව පදිනකං – ගොඩට එනකං – පණ යනකං දන්නෙ නෑ අන්තිමට.”

ඩෑන් ප්‍රියසාද් අනෙක්වුන් හැංගි හැංගි කරන දේවල් දුව දුව කරයි. වෙනස එයයි. අනෙක් අය කියන විදියට මේ සියල්ල කරන්නේ සතයක්වත් බලාපොරොත්තුවෙන් නො වේ. එහෙත්, ඩෑන් ප්‍රියසාද් එළිපිට ම අරමුදල් රැස් කළේ මෙසේ ය. (ඉක්මණට, ඉක්මණට සල්ලි දෙන්න.)

එහෙත්, අවසානයේදී මේ සල්ලිවලට සිදු වුණේ කුමක් ද?

ඩෑන් ප්‍රියසාද් වෙනුවෙන් පෙනී සිටින්නට නියමිතව සිටියේ නාමල් රාජපක්ෂලාගේ, විමල් වීරවංශලාගේ ගෝලයකු වන දොලේවත්ත නමැති නීතිඥයකු ය. ඔහු අධිකරණයට නො පැමිණ සිටීම නිසා වින්දිත පාර්ශ්වයේ විරෝධයක් නැති බව පවසද්දී පවා ඔහු වෙනුවෙන් ඇප ඉල්ලා සිටින්නට කිසිවෙක් සිටියේ නැත. ඔහු වෙනුවෙන් මෝසමක් පවා ගොනු කළේ ප්‍රමාද වෙලා ය.

පහත දැක්වෙන්නේ ඇප ලබා පැමිණි ඩෑන් ප්‍රියසාද් කියන කතාවයි.

මේ විදියට ලුම්පන් පංතිය වෙන ම නායකත්වයක් හදාගෙන, වෙන ම සංවිධානගත වන්නට ගියොත් සිදු වන්නේ මළ හත්තිලව්වකි, අපේ හාමුදුරුවනේ. නුඹ වහන්සේලා මේ ගැන වහා අවධානය යොමු කළ යුතු ය. මෙහෙම ගියොත් යාඥා මධ්‍යස්ථානයකට ගල් ගහන්නටවත් එකෙක් සොයා ගන්නට බැරි වනු ඇත. අනෙක, මහින්ද පතිරණ කියන මේ කාරණය ද වැදගත් ය. එහෙත්, උදාහරණ දෙක ඒ තරම් විධිමත් නැත. මීට වඩා හොඳ උදාහරණ තිබේ.

“සමහර විට මේ පුද්ගලයා අනාගතයේ දී අයිසිස් සංවිධානයට බැඳුනොත් පුදුම වෙන්න එපා. සාමාන්‍යයෙන් අන්තවාදීන් අවසන්‍ වෙන්නෙ තවත් අන්තවාදයක. සිංහල බෞද්ධ ජතිකවාදය අන්තවාදයකට අරගෙන ගිය චම්පික රණවක රනිල්ගේ නවලිබරල් අන්තවාදයේ නතර වුනේ ඒකයි. 83 කළු ජූලියේ දී දෙමළ කඩ කඩපු ආචාර්ය නිර්මාල් දේවසිරි දෙමළ ජාතිකවාදයට සේන්දු වෙන්නෙත් ඒකයි. අන්තවාදය කියන්නෙ ජානගත ස්වභාවයක්.”

ජාතිවාදයේ රෙදි ගලවන ඩෑන් ප්‍රියසාද් ඔබට අපේ විප්ලවීය මෙව්ව එක!

Ajith Perakum Jayasinghe

උපුටා ගැනීම : w3lanka.com
( http://www.w3lanka.com/2016/12/blog-post_5.html?spref=fb )

Comments

comments

LEAVE A REPLY