දිවි නසා ගැනීමට තොණ්ඩු සපයන අපේ රටේ මාධ්‍ය භාවිතය.

“මේ මරණය පෙම් සබඳතාවක් හේතුවෙන් සිදු කරගෙන ඇතැයි ද පැවසේ”

උක්ත වැකිය උපුටා ගනු ලැබුවේ ජාතික පුවත්පතක පළවූ වාර්තාවකිනි. ඊට පසුබිම් වී තිබුණේ කෑගල්ල ප්‍රදේශයේ සිසුවියක් දුම්රියට පැන දිවි නසා ගැනීම ය. සිසුවියගේ ඡායාරූපයක් ද සහිත ව සියලු තොරතුරු පළ කර තිබුණේ මිය ගිය තැනැත්තිය මෙන් ම ජීවතුන් අතර සිටින ඇගේ පියා ඇතුළු ඥාතීන් ද අසීරුතාවට හා ලැජ්ජාවට පත් වන පරිද්දෙනි.

පසුගිය දිනවල දුම්රියට ගෙල තබාගෙන සිය දිවි හානි කරගත් සිදුවීම් රැසක් පුවත්පත් ඔස්සේ වාර්තා කර තිබිණ‍. ඇතැම් දිනපතා පුවත්පත් ඒවා ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්කරගත් අයුරු ද පෙනේ.මහනුවර දී තරුණියක් දුම්රියට ගෙල තබා ගෙන මිය යෑමේ සිදුවීම වාර්තා කිරීම සඳහා පුවත්පත් විශාල ඉඩක් වෙන් කළේ ය. ප්‍රධාන පුවත බවට පත්කර ගැනීමට අමතර ව තරුණියගේ මළ සිරුරේ ඡායාරූප සහ ජීවතුන් අතර සිටියදී ගනු ලැබූ ඡායාරූප ද කැපී පෙනෙන අයුරින් පළ කර තිබිණි.

ඇගේ රූමත් බව ද පෙම් සබඳතාවක් තිබී ඇති බව ද ප්‍රවෘත්ති වාර්තා ලියන්නන් හා විශේෂාංග ලියන්නන්ගේ අවධානයට ලක්ව තිබිණ. එම තොරතුරු පළව තිබුණේ ද ජීවතුන් අතර සිටින ඇගේ පවුලේ අය අසීරුතාවට හා ලැජ්ජාවට ලක් වන පරිද්දෙනි.

මිය ගිය තැනැත්තියගේ ජීවිතයේ සැඟවුණු රහස් සොයා බැලීමේ නීච කුතුහලය පාඨක සිත්හි ඇවිස්සීම ලේඛකයන්ගේ අරමුණ වී ඇති බව පෙනේ.

සිය දිවි නසා ගැනීමේ පුවත් වාර්තා කරන්නෝ අඩු වැඩි වශයෙන් මේ පිළිවෙත අනුගමනය කරති.

සෙල්පි ඡායාරූප ගැනීමට ය‍ෑමෙන් ද දුම්රියට ගෙල තබා ගැනීමෙන් ද මියගිය පුද්ගලයන් පිළිබඳ පුවත් බහුල සමයක අපි ජීවත්වෙමු. මේ සියලු සිදුවීම් එසැණින් වාර්තා වන මට්ටමට ජනමාධ්‍ය ප්‍රබල ය. සියදිවි නසා ගැනීම, මිනිස් ඝාතන, ළමා හා කාන්තා අපයෝජන යනාදී සිදුවීම් වාර්තා කිරීමේ දී පුවත්පත් කලාවේදීන් තම මාධ්‍යයට අදාළ ආචාර ධර්ම තඹේකට මායිම් නොකර කටයුතු කිරීම පොදු යථාර්ථයක් බවට පත්ව ඇත.

පසුගිය සති කිහිපයයෙහි ජනමාධ්‍යවල උණුසුම් මාතෘකා බවට පත්ව තිබුණේ සිය දිවි නසා ගැනීම් ය.

ඇතැම් මාධ්‍ය වාර්තා නිර්දෝෂී පුද්ගලයන් අපරාධකරුවන් බවට පත් කිරීම ඔස්සේ ඔවුන් දිවි නසා ගැනීමේ තීන්දුවට තල්ලු කිරීමට ද බලපා තිබේ.

කොටකෙතන ප්‍රදේශයේ මවක් තම තරුණ පුතා අතින් ඝාතනය වූ බවට පොලීසියේ ප්‍රකාශ අනුව ජනමාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේ ය. පොලීසිය සැබෑ අපරාධකරු වසන් කිරීමේ උවමනාවෙන් තරුණයාට පහරදී බලෙන් කටඋත්තර ගත් බව පසුව අනාවරණය විය. තරුණයා නිදහස් වී ගෙදර ගියේ ය; සමාජ අවලාද ඉවසනු නොහැකි ව දිවි නසා ගත්තේ ය. තම මරණයට හේතුව පොල‍ීසිය හා ජනමාධ්‍යය බව ලියා තබමින් ඔහු ගෙල වැල ලා ගත්තේ ය. තරුණයා මිනීමරුවකු කළ ජනමාධ්‍ය ඉන් පසු මුනිවත රැක්කේ ය.

යුද්ධය පැවති අවධියෙහි ආරක්ෂක හමුදාවන්හි රණශූරත්වය වර්ණනා කරමින් මිය ගිය ත්‍රස්තවාදීන්ගේ මස් වැදලි ප්‍රදර්ශනය කිරීම මාධ්‍යයෙහි ප්‍රධාන කටයුත්ත විය. එල්ටීටීඊ බෝම්බ පිපිරීම්වලින් දකුණේ මිය ගිය පුද්ගලයන් පිළිබඳ වාර්තාකරණයේ දී ද මළ සිරුරු ප්‍රදර්ශනය කිරීම මාධ්‍යයේ ප්‍රමුඛ කාර්යය බවට පත් විය. ළමා හා කාන්තා අප‍යෝජන සිදුවිමක දී ප්‍රධාන මාතෘකාව වන්නේ එම අපරාධය සිදුවූ ආකාරයයි‍.

ආසන්න උදාහරණ දෙකක් හැටියට යාපනයේ සිසුවියක් සමූහ අපයෝජනයට ලක් කර මරා දැමීම හා කොටදෙණියාව ප්‍රදේශයේ දැරියක් අපයෝජනය කර මරා දැමීම ගෙන හැර දැක්විය හැකි ය.‍

මේ සිදුවීම් දෙකේ දී ජනමාධ්‍ය ආචාර ධර්ම තුට්ටු දෙකට දැමූ ඊනියා මාධ්‍යවේදියෝ මිය ගිය දැරියන්ගේ ඡායාරූප, නම් ගම්, ජීවන තොරතුරු හා අපරාධය සිදු වූ ආකාරය සජීවමත් වාර්තා කළහ. මිය ගිය පුද්ගලයා සහ අපරාධකරුවන් අතර ඇති වූ දෙබස් ද ලියුවේ පටි ගත කිරීමේ යන්ත්‍රයක් ළඟ තබාගෙන සිටියා දැයි සැක හිතෙන පරිද්දෙනි. මේ සියල්ල සිදු ක‍ළේ පාඨකයන්ගේ නීච කුතුහලය අවුස්සා පුවත්පත් අලෙවිය වැඩිකර ගැනීම පිණිස ය. පුවත්පත් යන මග අනුව ම ගිය විද්‍යුත් මාධ්‍යය ද ඒ පිළිවෙත ම අනුගමනය කළේ ය.

එක් පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් කොටදෙණියාව දැරියගේ සිරුර විටින් විට ප්‍රදර්ශනය කළේ කිසිදු හිරිකිතයකින් තොරව ය. අපරාධය ඉක්මනින් සොයා ගනු පිණිස මෙවැනි වාර්තා පළ කළ බව පැවසුණත් එහිදී සිදුවී තිබුණේ වෙනත් දෙයකි. එනම් ඊනියා මහජන විරෝධතා සහ මාධ්‍ය බලපෑම් හමුවේ නන්නත්තාර වූ පොලීසිය යන්තම් හෝඩුවාවක් තිබ‍ූ පමණින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පහරදී ප්‍රශ්න කිරීම ය.

ජනමාධ්‍ය තම සීමා ඉක්මවා යමින් කටයුතු කිරීම එහිදී කැපී පෙනිණ. ඕනෑම කුඩා සිදුවීමක් වුව ද ජාතික ප්‍රශ්නයක් බවට පත් ‍කිරීමේ හැකියාව ජනමාධ්‍යයට පවතී. හතර වැනි ආණ්ඩුවේ බල මහිමය එසේ ය.

ඒ බලය අනිසි අයුරින් භාවිත කිරීමෙහි ප්‍රතිඵල නිසා රට පුර‍ා ජාතිවාදය ආගම්වාදය හා අපරාධ තලු මැරීමේ අශිෂ්ට ගුණය වර්ධනය වී තිබේ. පසුගිය සති කිහිපයෙහි සිය දිවි නසා ගැනීම් වාර්තාකරණයෙහි තිබූ වැරදි ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ ජාතික ළමා රක්ෂණ අධිකාරිය ජූනි 19 වැනිදා ජනමාධ්‍යයෙන් ඉල්ලීමක් කළේ ය.

එනම් සිය දිවි හානි කර ගැනීම් වාර්තාකරණයෙන් වළකින ලෙස ය. දුම්රියට ගෙල තබාගෙන දිවි නසා ගැනීම් ප්‍රමුඛ සිදුවීම් ලෙස වාර්තා කිරීම ඔස්සේ එබඳු මරණ සුලබ වීමේ ප්‍රවණතාවක් දිස්වීම මීට හේතුව ය. සිය දිවි නසා ගැනීම් හැඟීම් බරව සවිස්තරාත්මක වාර්තා කිරීම දිවි නසා ගැනීමට අනුබල දෙන්නක් බව අධිකාරියෙහි නිරීක්ෂණයයි. ඒ වෙනුවට එම ආයතනය ජනමාධ්‍යයෙන් ඉල්ලීමක් කරයි. එනම් දිවි නසා ගැනීමේ මානසිකත්වයක් ඇති අයට එයින් මිදීම සඳහා ඇති මාර්ග හඳුන්වා දෙන ලෙස ය. ඒ සම්බන්ධයෙන් උපදේශනාත්මක සේවා සහ අවශ්‍ය නම් ප්‍රතිකාර ලබාදිය හැකි ආයතන ඇතත් මහජනතාවට ඒ පිළිබඳ සන්නිවේදනය කිරීමේ වගකීම ද ජනමාධ්‍යය පැහැර හැර තිබේ.

බෝධි පූජා, ධාතු ප්‍රදර්ශන, මිනිස් ඝාතන, අපයෝජන වාර්තාකරන ජනමාධ්‍ය ලාබ ජනප්‍රියත්වය මිස තම අරමුණ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනු නො පෙනේ. මෙහිදී මාධ්‍ය ආයතන හිමිකරුවන්ට ද වැදගත් වන්නේ කුමන ක්‍රමයකින් හෝ තම ආයතනය ජනප්‍රිය මාධ්‍ය ආයතනය බවට පත් කිරීම ය.දැන්වීම් ආදායම් ලබා ගැනීමේදී අලෙවිය ප්‍රධාන සාධකයකි. එ නිසා ජනමාධ්‍ය ආචාර ධර්ම කඩවීම ඔවුනට වැදගත් නොවන ප්‍රශ්නයකි.

සියදිවි නසා ගැනීම් විෂයයෙහි ලංකාවේ ජනමාධ්‍ය වගකීමකින් කටයුතු කළ යුතු ව ඇත්තේ එක් විශේෂ හේතුවක් නිසා ය. එනම් ලෝක මට්ටමින් ගත් කල ශ්‍රී ලංකාව සිය දිවි නසා ගැනීම් ප්‍රතිශතය අනුව ලොව ඉහළ ම රටවල් කීපය අතර සිටිනා හෙයිනි. මෑතක් වනතුරු ඒ අතින් ප්‍රථමයා වූයේ ද ලංකාව ය.

ඉහළ ම ආගමික ළැදියාව, සිය දිවි හානිකර ගැනීම, සාගරයට අපද්‍රව්‍ය එකතු කිරීම යනාදී අංශ ගණනාවකින් ම ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවීම සමාජ විද්‍යාඥයන්ගේ අවධානයට ලක් විය යුත්තකි!

“1985 – 2000 කාලයේදී යුද්ධය නිසා මිය ගිය සංඛ්‍යාව 50,000 කි. එසේ වුව ද එම කාලයේදී එක් ලක්ෂ හය දාහක සංඛ්‍යාවක් සියදිවි හානි කර ගෙන තිබේ. සිය දිවි හානිකර ගැනීමට දරන ලද උත්සාහය එමෙන් කිහිප ගුණයකි.

මේ සංඛ්‍යාවෙන් 60% ක් තරුණ පිරිස වීම ඛේදනීය තත්ත්වයකි. එසේ නම් ඊට විශේෂ හේතු තිබිය යුතු ය. 1971, 1989, 2009 යනාදී අවස්ථාවලදී රජය විසින් මර්දනය කරන ලද ත්‍රස්තවාදී කැරලිවල දී මිය ගිය තරුණ ජනගහනය ලක්ෂ දෙකකට අධික වන බව මෙහිදී සිහිපත් කළ යුතු ය.

දිවි නසා ගැනීම සහ තරුණ කැරළිකාරිත්වය යන දෙකම දරුණු සමාජ දේශපාලන අර්බුදයක ප්‍රතිඵලයකි. මේ පිළිබඳ ගවේශනය කිරීම විශ්ව විද්‍යාලවල මෙන් ම ජනමාධ්‍යවල ද වගකීමකි.

දිවි නසා ගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියක් ලෝක මට්ටමෙන් ද දේශීය මට්ටමෙන් ද පවතී. මේ පිළිබඳව දැනුවත් ව කටයුතු කිරීම මාධ්‍යවේදීන්ගේ වගකීමකි. 1998 දී ප්‍රකාශයට පත් වූ මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ වූ කොළඹ ප්‍රකාශයෙහි මෙසේ සඳහන් වෙයි.

1. (අ) ප්‍රවෘත්ති නිවැරදි ලෙසත් විෂය මූලික වන ලෙසත් වාර්තා කිරීමට මාධ්‍ය ආයතන බැඳී සිටී.

(ඌ) මාධ්‍යවලින් සමාජ යථාර්ථය ඉදිරිපත් කිරීමේදී මෙහි අන්තර්ගත නානාවිධත්වය, බහුවිධතාව සහ සංකීර්ණතාව සැලකිල්ලට ගත යුතු අතර ස්ත්‍රීන්ගේ සුළු ජාතීන්ගේ සහ ජීවිත සමූහයන්ගේ අපේක්ෂා පිළිබඳ සංවේදී විය යුතු ය.

(ඔ) මාධ්‍ය නිදහස, සමාජ වගකීම හා කර්තෘ මණ්ඩල නිදහස් මූල්‍යමය ලාබ ලබා ගැනීමේ චේතනාවලට යටත් නොවිය යුතු ය.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය 2008 දී ප්‍රකාශයට පත් කළ වෘත්තිය ප්‍රතිපත්ති මාලාවෙහි මෙසේ සඳහන් වෙයි.

6.6. සිය දිවි නසා ගැනීම් වාර්තාකරණයේදී ඒ ජීවිත හානිය සඳහා යොදා ගැනුණු උපක්‍රමය පිළිබඳ ව පමණට වැඩි විස්තර ඉදිරිපත් නොකිරීමට පුවත්පත් කලාවේදීහු පරෙස්සම් විය යුත්තෝ ය.

7.3. ශෝකය හෝ කම්පනය හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ කරුණු විමසීමේදීත් ඒ සඳහා ඒවාට සමීපවීමේදීත් නිසි සංවේදීතාවෙන් හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් ද කටයුතු කිරීමට පුවත්පත් කලාවේදීහු විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තා හ. වත්මන් අවධියෙහි ජනමාධ්‍යවේදීන් මේ පිළිබඳව අවධියෙන් කටයුතු නොකරන බව කිව යුතු ය. එය කනගාටුදායක තත්වයකි.‍

මිය ගිය තරුණියගේ රූමත් බව, ඇගේ පෙම් සබඳතා වාර්තාකරු සංවේදී භාෂාවකින් විස්තර කරයි. මරණය සිදු වූ ආකාරය ද තමන් දුටුවාක් මෙන් වාර්තා කරති. මේ වාර්තාවල තිබෙන අනුවේදනීය බව හා හැඟීම්බර ගතිය පාඨකයාට කාන්දමක් වෙයි.

දිවි නසා ගැනීමේ චේතනාව ඇති වූ අත්දැක‍ීම් අඩු පුද්ගලයකු මේ වාර්තාව දුටුවිට තමන්ගේ ගැලවීම ද එය ම බව සිතනු ඇත. පුවත්පත් ආචාර ධර්ම කඩකරමින් දිවි නසා ගැනීමේ උපක්‍රමය ද විස්තර කර ඇති නිසා මානසික පීඩාවකට පත්ව පිළිතුරක් නොමැති ව සිටින පුද්ගලයා එය එකම විසඳුම ලෙස පිළිගනු ඇත.

බීමත්ව පවුලේ ආරවුලකට පැටලී ඇතැයි ප්‍රසිද්ධ කර ඇති අනුරාධපුරයේ විශ්‍රාමික හමුදා සෙබළකු බීමතින් බඩගාගෙන ගොස් තිබ‍ුණේ රේල් පීළි මතට ය‍. සිද්ධිය දුටු නීතිඥවරයකුගේ මැදිහත්වීමෙන් තරුණයාගේ දිවි රැකිණ. පසුගිය දිනවල මහත් සංවේගයෙන් සවිස්තරාත්මකව වාර්තා කළ දුම්රියට පැන දිවි නසා ගැනීම් ඔහුගේ මනසට බලපෑවා වන්නට ද පුළුවන.

සියදිවි නසා ගැනීම් වාර්තාකරණයේදී ලේඛකයා විසින් අනුගමනය කළ යුතු පිළිවෙතක් පවතී.

ජනමාධ්‍ය ආචාර ධර්ම අනුව කටයුතු කරන ආයතන මේ පිළිබඳව සැලකිලිමත් වෙයි.

1. දිවි නසා ගැනීමේ සිදුවීම අනුවේදනීය අයුරින් හැඟීම් බරව වාර්තා කිරීමෙන් වැළකීම.

2. ජීවත්වීමේ වටිනාකම හැඟෙන අයුරින් වාර්තා කිරීම.

3. දිවි නසා ගැනීමට යත්න දැරීම මෝඩකමක් බව හැඟෙන අයුරින් වාර්තා කිරීම.‍

4. දිවි නසා ගැනීමේ උපාය මාර්ග, ද්‍රව්‍ය හා උපකරණ යනාදිය හඳුන්වා දීමෙන් වැළකීම.

5. දිවි නසා ගැනීමේ මානසිකත්වය ඇති පුද්ගලයාට විකල්ප මාර්ග හඳුන්වාදීම.

දිවි නසා ගැනීමේ ප්‍රවණතා කැපී පෙනුණු අවධිවල ජනමාධ්‍යයේ භූමිකාව ද කැපී පෙනේ. උදාහරණයක් හැටියට 1990 දශකයේ දී පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් වස බී දිවි නසා ගැනීමේ ප්‍රවණතාවක් ඇති වීම කෙරෙහි ඒ අවධියේ මාධ්‍ය හැසිරීම ද බලපා ඇති බව කොළඹ සරසවියේ සමාජීය අධ්‍යයන ඔස්සේ තහවුරු විය.

ශ්‍රී ලංකාවේ දිවි නසා ගැනීම් පිළිබඳව කරන ලද අධ්‍යයන අනුව පෙනී ‍යනුයේ එයින් සීයට පනහක ප්‍රමාණයක් මානසික අවපාතය නිසා සිදුවී ඇති බව ය. විශාදය, භින්නොන්මාදය, පෞරුෂ විෂමතා සහ මත්ද්‍රව්‍ය භාවිතය යනාදී කරුණු ඒ අතර වේ.

සාම්ප්‍රදායික සමාජය වෙනස් වෙමින් නාගරීකරණයවීම, අධ්‍යාපන තරගය, අවිවේකය, න්‍යෂ්ටික පවුලෙහි අර්බුදය, මානව ශාස්ත්‍ර විෂයයන් අවප්‍රමාණයට ලක් කළ අධ්‍යාපනය, පන්ති විෂමතාව, ආර්ථික පීඩනය, නීතියේ පරිහානිය යනාදී කරුණු ගණනාවක් සියදිවි නසා ගැනීමේ සමාජ දේශපාලන පසුබිමෙහි වෙයි. ජනමාධ්‍යවේදියාගේ වගකීම වනුයේ සිදුවීම් හැඟීම්බර ව වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් එහි සමාජ පසුබිම ගවේෂණය කිරීම ය. අවාසනාවට එවැනි පුහුණුවක් මාධ්‍යවේදියෝ නො ලබති. එබඳු පරිචයක් සහිත මාධ්‍යවේදීන්ට වැඩ කළ හැකි පරිසරයක් තවමත් පවතී. විශේෂයෙන් දේශපාලන අධිකාරවාදයෙන් යම් පමණකට මිදුණු වත්මන් යුගය ඒ සඳහා මාධ්‍යවේදීන්ට කදිම ඉඩක් ලබාදෙයි.

තිඹිරියාගම බණ්ඩාර

more recommended stories