දෙකට කැඩී වැනසෙමු ද..?

ප්‍රාදේශීය දේශපාලනය පසුගිය සමයේ අතිශයින්ම පිරිහීමට පත් වුයේ මෙම මැතිවරණ ක්‍රමය නිසා ය. අවසානේ ප්‍රාදේශීය මැරයන් බවට පමණක් නොව මිනීමරුවන් බවට පත්වීම දක්වා ම ප්‍රාදේශීය දේශපාලනය පිරිහී ගියේ ය. පසුගිය දා පෝරකයට ගිය නූරිවත්තේ මිනීමරුවන් මේ දේශපාලනයේ ප්‍රතිඵලයකි. එ් නිසා 1978 ඇරඹී ගමට නිශ්චිත මන්ත්‍රීවරයකු නොමැති ප්‍රාදේශීය මැතිවරණ ක්‍රමයේ විකෘතිය මේ වන විට වෙනස් වී තිබේ. නව මැතිවරණ ක්‍රමය පැරැණි පැවැති ක්‍රමයට සමානය.

පුංචි ඡන්දය පවත්වන දිනය මේ වන විට යම් දුරකට ප්‍රකාශයට පත්ව තිබේ. එය බොහෝ දුරට ලබන වසරේ සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්විය හැකිය. පළාත් පාලන මැතිවරණයක් යන්න ජාතික තලයේ මැතිවරණයක් නොවේ. මේ නිසා ආණ්ඩුවක පැවැත්ම එමඟින් තීරණය නොවනු ඇත.

කඩින්කඩ පළාත් සභා මැතිවරණ පවත්වමින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය රටට ප්‍රදර්ශනය කරමින් ආණ්ඩුව ශක්තිමත් මෙන්ම සෙළවීමට නොහැකි බව ප්‍රකාශ කළ යුගයක් එදා පැවැතිණි. පසුගිය රාජපක්ෂ පාලනය පළාත් සභා මැතිවරණය උපයෝගී කරගනු ලැබුවේ ඒ සඳහාය. එහෙත් ඒවායින් රටේ පැවැති සැඟවුණ ජනමතය හා ආණ්ඩු විරෝධය මතු නොවුණි. අවසානේ ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු පැවැති ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපතිවරයා පරාජයට පත් විය. එසේ ම 2003නේ පැවැති පළාත් පාලන මැතිවරණයේ තත්ත්වය ද එසේමය. එවකට පැවැතියේ එක්සත් ජාතික පක්ෂ පාලනයකි. මෙහි දී අති බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් දිනා ගැනීමට එක්සත් ජාතික පෙරමුණ සමත්විය. ඒ රාජ්‍ය බලයද සමඟිනි. එහෙත් ඊට පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ පරාජයට විය. එදා ජයග්‍රහණය කරනු ලැබුවේ එක්සත් ජාතික නිදහස් සන්ධානයයි.

මේ නිසා පළාත් පාලන මැතිවරණවල ඡන්ද හැසිරීම සිදුවන්නේ ජාතිකමය වශයෙන් වැදගත්වන කාරණා පදනම් කරගෙන නොවන බව පැහැදිලිය.

එසේ ම වසර 38කට පසුව මෙවර පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනසකට භාජනය වී ඇත. නව ඡන්ද ක්‍රමය පවත්වනු ලබන ස්වරූපයේ ද වෙනසක් දක්නට ලැබේ. 1978 වන තුරුම මෙරට තුළ පැවතියේ මැතිවරණ බල ප්‍රදේශ පදනම් කරගත් කොට්ඨාස ඡන්ද ක්‍රමයකි. පළාත් පාලන ආයතන කුඩා කුඩා මැතිවරණ කොට්ඨාස පදනම් කරගෙන පැවැති අතර කේවල ඡන්ද ක්‍රමය යටතේ ඒවායේ සභිකයන් පත් කර ගනු ලැබිය. එම සභිකයන්ගේ ඩැඩි දෙනාගේ කැමැත්තට අනුව විශේෂයෙන්ම පක්ෂ නියෝජනය පදනම් කරගෙන සභාවේ සභාපතිවරයාගේ හෝ නගර සභාවේ නගරාධිපතිවරයා පත්කර ගනු ලැබීය. මේ නිසා ප්‍රාදේශීය දේශපාලනය සමස්තයක් වශයෙන් අද තරම් ජරාජීර්ණ වූයේ නැත. එසේම එය මුදල් හරි හම්බ කරගන්නා දේශපාලනයක් ද නොවීය. එදා ප්‍රාදේශීය සභා හෝ නගර සභා මන්ත්‍රීවරයා ඇමතුවේ ‘ගමේ මැම්බර් මහතා කියලා ය’. ‘ගම් සභික’ නැතිනම් නගර සභික ‘මැම්බර් මහතාගේ’ දේශපාලනය පැහැදිලිව ම ගමේ සමාජ සේවා කටයුතු පදනම් කරගෙන සිදුවූවකි.

මෙම දේශපාලන සංස්කෘතිය ගම තුළින් අතුරුදන් වුයේ 1978 ජේ.ආර්. ජයවර්ධන යුගයේ පළාත් පාලන දේශපාලන තුළ සිදු වු මැතිවරණ ක්‍රමයේ ව්‍යුහාත්මක වෙනස්කම් සමඟිනි. එනම් මනාප ක්‍රමය පදනම් තර ගත් පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමඟිනි. එය අතිශයින්ම වියදම් අධික මැතිවරණ ක්‍රමයක් ලෙසින් සැලකේ. එක් කොට්ඨාසයක නොව මැතිවරණ බල ප්‍රදේශයේ ම (ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ) දේශපාලන ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් මනාප සෙවීමට අපේක්ෂකයනට සිදු වන හෙයින් අධික මුදලක් දැරීමට එක් අපේක්ෂකයෙකුට සිදු වේ. අවසන එම මුදල් සොයා ගැනීම සඳහා ප්‍රාදේශීය වශයෙන් කොන්ත්‍රාතත්වලට මැදිහත් වීමටත් ගමේ විවිධ සංවර්ධන කටයුතුවලට අදාළ කොන්ත්‍රාත් ලබා ගන්නා කොන්ත්‍රාත්කරුවා වීමටත් ගමේ ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ හෝ මහ නගර සභාවේ මන්ත්‍රීවරයාට සිදු වේ. ප්‍රාදේශීය දේශපාලනය පසුගිය සමයේ අතිශයින්ම පිරිහීමට පත් වුයේ මෙම මැතිවරණ ක්‍රමය නිසා ය. අවසානේ ප්‍රාදේශීය මැරයන් බවට පමණක් නොව මිනීමරුවන් බවට පත්වීම දක්වා ම ප්‍රාදේශීය දේශපාලනය පිරිහී ගියේ ය. පසුගිය දා පෝරකයට ගිය නූරිවත්තේ මිනීමරුවන් මේ දේශපාලනයේ ප්‍රතිඵලයකි.

එ් නිසා 1978 ඇරඹී ගමට නිශ්චිත මන්ත්‍රීවරයකු නොමැති ප්‍රාදේශීය මැතිවරණ ක්‍රමයේ විකෘතිය මේ වන විට වෙනස් වී තිබේ. නව මැතිවරණ ක්‍රමය පැරණි පැවැති ක්‍රමයට සමානය. එසේ ම සමානුපාතික හා කේවල මිශ්‍ර ඡන්ද ක්‍රමයක් වන හෙයින් සෑම ඡන්දයකටම මෙන් ම, පරාජිත ඡන්දයකට ද වටිනාකමක් ලැබේ. මුල් රවුමේ දී ආසනයකට මන්ත්‍රීවරයෙක් ලැබෙන අතර පක්ෂවලට ලැබෙන පරාජිත ඡන්දවල අනුපාතයට අනුව සමානුපාතික ක්‍රමයට ද මන්ත්‍රීවරුන් තේරි පත් වේ. එ් නිසා මෙය වඩාත් ම සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයක් සේ සැලකේ. වත්මන් පළාත් පාලන මැතිවරණ ක්‍රමය ජනතාවගේ කලාන්තරයක් තිස්සේ පවතින ඉල්ලීමකි. මේ වන විට එහි සීමානිර්ණය කටයුතු පිළිබඳ ප්‍රශ්න ද අවසන් වෙමින් පවතී. ජනමතයට හිස නමමින් ජනතාවගේ යෝජනා හා පැමිණිලිවලට අනුව සමහර ප්‍රාදේශීය හා නගර සභා ආසනවල සීමානිර්ණ පිළිබඳ ගැටලු අවසන් කිරීම වඩත් ප්‍රජාතන්ත්‍රවාදීට කටයුතු කිරීමකි.

එහෙත් සමහර පක්ෂ නැවත පැරැණි (දැනට පවතින) ඡන්ද ක්‍රමයට ආශාවක් දක්වන බව පෙනේ. කෝටි ගණන් මුදල් වියදම් කර කෙසේ හෝ මනාප ටිකක් සොයා ගන්නා පුද්ගලයා මන්ත්‍රීවරයකු බවට පත් කිරීමේ ක්‍රමය සමහර පක්ෂවලට වාසි වුව ද ජනතාවට අවාසිදායකය. පසුගිය දා පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් වුණි. මැතිවරණය ප්‍රමාද වන්නේ නම් පැරැණි ක්‍රමයට, ඡන්දය පවත්වමු යැයි යෝජනා කළේ පළාත් පාලන අමාත්‍යාංශ වැය ශිර්ෂය පිළිබඳ විවාදයේ දී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා යි. ඊට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ හා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන්ගේ ද යම් අනුකුලතාවයක් ප්‍රකාශයට පත් විය. ජනතාව අකැමැති ඡන්ද ක්‍රමයක් වෙනුවෙන් තාවකාලිකව හෝ පසමිතුරු පක්ෂ කණ්ඩායම්වල එකඟතාවයක් පළවීම වත්මන් පාර්ලිමේන්තුව තුළ ඇති වුයේ මීට ඉහත දී එදා නව ක්‍රමයට පක්ෂව ඡන්දය දුන් පක්ෂම වීම විශේෂත්වයකි.

එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රජය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඊට කිසිසේත්ම සූදානම් නැතිබව මේ වන විටත් ප්‍රකාශ වී හමාරය. එසේ මහජන එක්සත් පෙරමුණ හා වාසුදේව නානායක්කර මන්ත්‍රීවරයා නියෝජනය පක්ෂය ද ඊට එකඟ නැත. එහෙත් ආසනයක් නියෝජනය කරන්නේ නැති. අතිශයින් මුදල් වැය කර මන්ත්‍රීවරුන් තේරී පත්වන ජරාජීර්ණ මැතිවරණ ක්‍රමයක් වෙනස් කර නව ක්‍රමයක් හඳුන්වා දීමෙන් පසුව ද අාපස්සට යෑමට යෝජනා කිරීම තුළින් මේ රටේ දේශපාලන පක්ෂ තවමත් ජනතාවට වඩා කොපමණ පිටුපසින් සිටින්නේ ද යන්න පැහැදිලි ය. විශේෂයෙන් ම එ්කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් එ් පිළිබඳ අදහසක් පළ කිරීම සැලසුම් සහගත අභ්‍යන්තර වැඩ පිළිවෙළක ප්‍රතිඵලයක් දැයි කියන්න දන්නේ නැත.

කෙසේ නමුත් රජය නියෝජනය කරන නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට සුදානම් නැත. මේ නිසා එ්කාබද්ධ විපක්ෂයේ අයට හා පොහොට්ටු පක්ෂයෙ අයට පළාත් පාලන ආයතනවල යෝජිත නව මන්ත්‍රී අසුන් සොයා ගැනීමට සිදු වේ. එසේ ම තමන් එම ආසනවලට තරග කරන්නේ පොහොට්ටුවෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් ද යන්න තෝරා බේරා ගැනීමට සිදු වේ. මේ අතර නව ඡන්ද ක්‍රමය නිසා මහජන එක්සත් පෙරමුණට, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා සමසමාජ වැනි පක්ෂවලට තම අනන්‍යතාව නියෝජනය කරමින් ප්‍රාදේශීය වශයෙන් එම පක්ෂවලට නැඹුරුවක් ඇති මැතිවරණ බල ප්‍රදේශවලට තරග කළ හැකිය.

උදාහරණයක් ලෙසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ නිතරග ගිවිසුමකට එළඹ මාතර හා අකුරැස්ස වැනි ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලෙසින් ම එම පක්ෂයට තරග කිරීමේ හැකියාව ද නව මැතිවරණ ක්‍රමය තුළින් උදාවේ. මෙය නිතරග ගිවිසුම් සමඟින් පැරැණි ප්‍රගතිශීලි දේශපාලනයට ගමන් කිරීමට හැකියාව ලැබෙන අතර එය අත්හදා බැලීමට ද හොඳ අවස්ථාවකි.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙපළු කිරීම උදෙසා පිහිටුවා ගන්නා ‘පොහොට්ටු’ පක්ෂයේ දේශපාලනය පැහැදිලිවම නව ඡන්ද ක්‍රමය තුළ නිරුවත් වනු ඇත.

පළාතේ එක් පාලන බල ප්‍රදේශයක ආසනයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා සමඟින් පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා තරග වදින්නේද ? අනිවාර්යයෙන්ම එවන් තරගයක දී වැඩි වාසිය අත්පත් කර ගන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එසේ නම් පොහොට්ටුව ප්‍රාදේශීය වශයෙන් පළාත් පාලන ආයතනවලට තරග වදින්නේ එම ආයතනවලට තරග වැදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් පරාජයට පත් කර එක්සත් ජාතික පක්ෂය දිනවීමට නම් අරමුණ පැහැදිලිය. මෙම අරමුණ ජයගැනීමට ගමේ යූ.ඇන්.පී. විරෝධී ප්‍රගතිශීලි ඡන්දදායකයා හා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා කෙසේ කටයුතු කරන්නේ ද? මෙය සමහරු සිතාගෙන සිටින ආකාරයේ ජනාධිපති මෛත්‍රී හා හිටපු ජනාධිපති මහින්ද අතර අතර තරගයක් නොවේ. ඔවුන් වෙනුවෙන් ඇති නොහොඳ නෝක්කඩු මත තීන්දු ගැනීමට ගොස් පක්ෂයක් විනාශ කිරීමට හෝ පරාජය කිරීමට පාක්ෂිකයනට අවශ්‍යද ? මේ නිසා දැනටමත් ගමේ සටන උණුසුම්වීමට පටන් ගෙන තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා පොහොට්ටු පක්ෂයෙන් එම ආසනයක් වෙනුවෙන් මුහුණට මුහුණ සටනකට නායක දෙපලක් වෙනුවෙන් කිසිවෙක් සූදානම් වන්නේ නම් එය අනුවණකමකි. කලකට පසු දේශපාලන වශයෙන් නන්නත්තාර වීමකි. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ තුළ එවන් නන්නත්තාර වුවෝ අපි කොතෙකුත් දැක ඇත්තෙමු. මේ නිසා හෙට දවසේ දෙපාර්ශවයේ පොදු එකඟතාවයක් ඇතිවීම කාටත් යහපත් ය. එසේ ම එය ග්‍රාමිය වශයෙන් ප්‍රගතිශිලී බලවේගවල ජය තහවුරුවීමකි. යළි නව ජවයකින් වැඩ කිරීමට ලැබෙන මහගු අවස්ථාවකි. එය පැහැර නොහැරීම කාගේත් වගකීමක් වනු ඇත.

 

වසන්ත ප්‍රිය රාමනායක

LEAVE A REPLY