පා.මන්ත්‍රීවරුන්ට වාහන කුලියට ගෙන ලබා දීමේ මගඩිය නවතින ළකුණු..?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෞද්ගලික ආයතනයකින් වාහන කුලියට ගෙන ලබා දීම සඳහා ගෙන ආ යෝජනාවට එල්ල වී ඇති විරෝධය නිසා එය ක්‍රියාත්මක කිරීම මේ වන විට ඇනහිට තිබේ. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා අදාළ ගිවිසුමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව වෙනත් විකල්ප ඉදිරිපත් වූව ද එය ද අසාර්ථක වී තිබේ.

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතාගේ අනුමැතිය යටතේ හෝ මෙය ලබා ගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක වී ඇත. ඔහු නුදුරේම විශ්‍රාම ගැනීමට නියමිත අතර මෙම ප්‍රශ්නකාරී ගිවිසුමට අත්සන් තැබීම රජයේ නිලධාරියකු ලෙස නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදු වන බව ඔහු පෙන්වා දී ඇතැයි වාර්තා වේ. අත්සන ලබා දීමේ සන්තෝසමක් ලෙස ඔහුට වසරක සේවා දිගුවක් ලබා දීමට පොරොන්දු වී ඇති නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.

නිමල් බෝපගේ මහතාව එම අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉවත් කර නව ලේකම්වරයකු මඟින් මීට අනුමැතිය ලබා ගැනීමට ගත් උත්සාහය ද වැළකී ගොස් තිබිණි. එය ජනාධිපතිවරයාගේ කැමැත්ත පරිදි සිදු විය යුතුව තිබිණි. එමෙන්ම මාසිකව එක් වාහනයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 7 ක පමණ මුදල් වැය කරමින් මෙම වාහන ලබා දීමේ යෝජනාවට ජනාධිපතිවරයාගේ කැමැත්ත ද හිමිව නොමැත.

පසුව පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය එම ඇමැති පදවිය ගයන්ත කරුණාතිලක මහතා ඉවත් කර ජෝන් අමරතුංග මහතා යටතට පත් කර මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට මේ වන විට උත්සාහයක් ගනිමින් තිබෙන බව ද එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් මෙම වාහන දීමනාව හිමි ශ්‍රීලනිප හා එජාප මන්ත්‍රීවරුන් රැසක් තමන් මෙම යෝජනාවට අකැමැති බව ජනාධිපතිවරයාට දැනුම් දි ඇති අතර මේ වන විට මාසිකව ලබා දෙන ලක්ෂ දෙකක දීමනාව ලබා දීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා තිබේ.

ඩී. මංජුල කුමාර.
Sathhanda.lk

Facebook Comments

more recommended stories

%d bloggers like this: