මවුබිමේ සුජාත බව රකින්නට දිවිපිදූ පරපුරක කතාව.

මානව පරිණාමයේ සිට ශිෂ්ටාචාර නිර්මාණය වීම දක්වා විද්‍යාත්මක පසුබිම අතික‍්‍රමණය කරනුයේ විවිධාකාර විප්ලවීය, හැඩතලයන් ය. සන්නිවේදනය, පාලන තන්ත‍්‍ර හා සීමා නිර්ණයන් ගෙන් පසු රාජ්‍යයන් ලෙස වෙන් වන්නේ ද ඒ ඒ සමාජ ස්තරයන්හි ඇතිවන ගැටුම්වල ප‍්‍රතිඵලයක් ලෙස ය. ලිඛිත ඉතිහාසයක් ඇති වනතුරු ඒ ගැටුම් සුපැහැදිලි ව අනාගතයට ඉතිරි නොවන්නට ඇත.

ප‍්‍රාග් ඓතිහාසක යුගයේ සිට පැවැති විවිධ අරගල කියවිය හැක්කේ ශේෂ නොවූ පෞරාණික ඝන වස්තූන් ගෙන් පමණි. සෙල්ලිපි වැනි නිශ්චල ඝනකයන්හි සටහන් වූ දේ පමණක් ඒ දුරාතීතයේ සිදුවීම් අහඹු ලෙස වර්තමානයට ඉතිරිකර ඇත. අප ඉතිහාසය ලෙස ඇතැම් විට කියවන්නේ එයයි. සාක්‍ෂරතාව නොදියුණු යුගයක ප‍්‍රතිරූප හා වන්දනා මානයට ලක්වූ චරිත පවා හඳුනාගත හැකි එක ම සාධක එවැනි ඝන වස්තූන්හි නිර්මිත හැඩතලයන් ය.

ඇදහිලි, විශ්වාස සහ පිළිගැනීම් මධ්‍යයේ කලින් කළ විසූ ජනාදරයට පත් වූ චරිත අනාගතයේ ද ජීවත් කරවන්නට දරන ලද උත්සාහය ‘පිළිම’ ලෙස හැඳින්විය හැකි ය. පිළිමයකින් සංකේතවත් කරන හෝ හඳුන්වන කවර හෝ හඳුන්වන කවර චරිතයක් වුව ඒ කාලයට අනුරූපී ව සමාජ විපර්යාසයකට මඟ පෙන්වූවෙකු බව පසුකාලීන අධ්‍යයනයන්ගෙන් පැහැදිලි ය. ඔවුහු බොහෝ විට පැවැති සමාජ ක‍්‍රමය වෙනස් මඟකට ගෙනයෑමට කාලය, දැනුම, ශ‍්‍රමය කැපකළෝ වෙති. එපමණකින් නොනැවැතී තම දිටිය ද ඒ අරමුණු වෙනුවෙන් කැපකළෝ වෙති.

දාර්ශනික, විදග්ධ බවින් යුතු නො වූ සමාජයක පවා පිරිසක් ඒකරාශී කර ගනිමින්, පැවැති ක‍්‍රමයට එරෙහි වූවෝ සිටියහ. ඒ සමාජ ස්තරයේ බහුතරය තම කැමැත්තට නම්මවා ගැනීමට හැකි වූ කල්හි අරමුණ ජයගත් විට එයට සුජාත භාවයක් ද හිමි විය. ඒ දක්වා වන ගමන් මඟ බොහෝ විට කටුක හා අමිහිරි වූ බව නොමළ ඉතිහාසය සාක්‍ෂ්‍ය දරයි.

කාලානුරූපීව වෙනස් වන සමාජය මූලික අවශ්‍ය ඉටුකර ගැනීමේ දී ගැටලුවලට මුහුණපානු දැකිය හැකි ය. සීමිත අවශ්‍යතා ප‍්‍රමාණයක් වෙනුවෙන් ඓතිහාසික ව උරුම වූ ස්වාභාවික සම්පත් පරිභෝජනයට හුරුවූ ප‍්‍රාථමික සමාජය පුළුල් වෙත් ම, සීමිත ගැටලු අර්බුද බවට පත් වෙයි. ජාතිය, ආගම, වර්ණය, භාෂාව ආදිය වෙන් වෙන් වශයෙන් අගැයීමට ලක්කර ගන්නා ස්වාභිමානී මානසිකත්වය තවත් ආකාරයක ගැටීම් සමූහයක ට මඟ හෙළි කරයි.

සීමිත සම්පත් අසීමිත වුවමනාවන්ට බෙදා මෙන් කර ගැනීමේ දී පරිපාලන ව්‍යුහයක අවශ්‍යතාව ද දැනෙන්නට පටන්ගනී. මේ ඇසුරෙන් බිහිවන තර්කානුකූල පදනම දේශපාලනයට නෑකම් කියයි. න්‍යායයන් හා දාර්ශනික තල නියෝජනයක් ඒ සමාජ ස්තාරයන් ගෙන් උද්දීපනය වන්නේ එවිට ය. එය ද තාර්කික පදනමක විකාශය වූ කල අර්ථක‍්‍රම බිහි වෙයි. අර්ථක‍්‍රම ඔස්සේ එය පිළිගන්නා සහ නොපිළිගන්නා සමාජ ක‍්‍රියාකාරී කණ්ඩායම් අතර මතවාදී අරගලය දේශපාලනය ලෙස හඳුනාගනී.

ප‍්‍රභූ මූලික දේශපාලන ක‍්‍රියාන්විතයක් ලෙස පසු කලෙක න්‍යායාත්මක ව හඳුනා ගන්නා පාලන ක‍්‍රමය, ප‍්‍රාථමික අවදියේ රාජාණ්ඩු ලෙස ස්ථාපිත වූ බව පැහැදිලි ය. රජාට එරෙහි ව අදාළ බිම්කඩ අභ්‍යන්තරයේ සිට ම ක‍්‍රියාකාරී වූවෝ සේ ම බාහිරින් එල්ල වූ බලපෑම් ද පාලන තන්ත‍්‍රයන්ට ආවේණිකව ව්‍යාප්තව පැවැතියේ ය. ඇතුළතින් ම එල්ල වූ බලපෑම් බල අරගලයේ පංගුවක් වන විට, බාහිරින් එල්ල වූ බලපෑම ආක‍්‍රමණික ස්වරූපයක් ගත්තේ ය. ආක‍්‍රමණිකයාට එරෙහි වන විට ඊට දේශානුරාගය ආරෝපණය වූ අතර, අභ්‍යන්තර අරගලය කුමන්ත‍්‍රණකාරී හා කැරලිකාරී ලෙස හැඳින්වී ය.

යම් පමණකට දියුණු දේශපාලන මතවාද හමුවේ ක‍්‍රියාකාරී වූ කණ්ඩායම් ප‍්‍රසිද්ධියේ තරගකාරී දේශපාලන පොරමඬලට පිවිසෙන විට නාමික හා පැහැදිලි වර්ගීකරණයකින් යුතු දේශපාලන පක්‍ෂ ක‍්‍රමය නිර්මාණය වන්නේ ය. ජනතා ආකර්ෂණය උදෙසා පක්‍ෂ, පාට, සලකුණු ද නිර්මාණය කර ගන්නා ඔවුහු තම කණ්ඩායම ශක්තිමත් කිරීමේ මතවාදී තලයේ අරගලයකට ද පිළිපන්නෝ ය. මොවුන් මතවාදී තලයෙන් ඔබ්බට පිවිසි කල ජනහමු, රැස්වීම්, සම්මන්ත‍්‍රණ හා උද්ඝෝෂණ ආදියට ද තම තම නැණ පමණින් හා ඇති හැකි අයුරින් දායක වීමට අනුගාමියෝ සූදානම් වූහ. සංවිධානාත්මක අරගල විවිධ යුගවල නිර්මාණය වන්නේ ඒ ආකාරයට ය.

ජනිත් විපුලගුණ.
irida

Comments

comments

LEAVE A REPLY