යහපාලනය – තීරණාත්මක පරීක්ෂාවක් අබියස..?

අන්ත දූෂිත ඒකාධිපති පාලනයකට තිත තබමින් මේ රටේ, ජනතාව ස්වෙච්ඡාවෙන් බලමුළුගැන්ව මහපොළොවේ ඇත්තක් බවට පත්කළ “ජනවාරි අට නිහඬ විප්ලවය” ලබන සතියේදී තම දෙවන වසර සම්පූර්ණ කරනු ලබයි. එම කඩඉම් සම්පූර්ණය “යහපාලන රජයේ” පසුගිය ක්‍රියාකාරිත්වය දෙස අතීතාවර්ජනයක් කිරීමේ, අවස්ථාව අපට ලබා දෙයි. පසුගිය දෙවසරක කාලය පිළිබඳ ආපසු හැරී බැලීමක් සිදුකිරීමේදී මූලිකවම අපට එය කිරීමට සිදු වනුයේ පෙර පැවැති රාජපක්ෂ පාලනය සමඟ සසඳමිනි. ඒ අනුව ගෙන බලද්දී බැලු බැල්මටම පැහැදිලි සාධනීය වෙනසක් රට තුළ සිදුව තිබේ. දේශපාලන අගතිගාමීත්වයෙන් තොරව කුහක නොවි බැලුවහොත් එය ප්‍රශ්න විරහිතය. ඒ පිළිබඳ ඇති එකම ගැටලුව වනුයේ සිදුව ඇති වෙනස එදා යහපාලන කඳවුර වෙනුවෙන් පොදි බැඳි ජනතාව අපේක්ෂා කළ වෙනස ම ද යන්න ය.

දස වසරක් බලයේ සිටි කිසිදා පැරදවිය නොහැකියැයි ඇතැමුන් කියූ මහින්ද රාජපක්ෂව, “ගෙදර යැවීමේ” දී සාතිශය බහුතරයක් ජනතාව තුළ දැල්වුණු බලාපොරොත්තුව අතිශයින්ම දේශපාලනික වූවක් විය. කුසට ආහාරයක්, ඉනට වස්ත්‍රයක් වැනි ආර්ථිකමය අවශ්‍යතා වෙනුවට ඒ තුළ ගොනුව පැවැතියේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වැනි දේශපාලනික කාරණාය. බඩු මිල අඩු කිරීම, වැටුප් වැඩි කිරීම, වැනි දෑ එහිදී ද්විතියික වුණි. දෛනික ජීවිතය පවත්වාගෙන යාමේදී ඒවා වැදගත් වුවද රටේ ජනතාව තම ප්‍රමුඛතා ලැයිස්තුව තුළ ඊට වඩා ඉහළින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, වැනි කාරණා ස්ථානගත කර තිබිණි. නීතිය වෙනුවට අවනීතිය, යහපාලනය වෙනුවට යම පාලනය රජ කළ ඒ භීම සමයට තිත තබමින්, රටේ ජාතික ධනය සොරා කෑ හොරුන්ට, දූෂිතයන්ට දඬුවම් ලබා දෙමින් නව යුගයක් කරා රට ගමන් කරනු දැකීම වෙනසක් වෙනුවෙන් 2015 ජනවාරි 08 වැනි දින පෙනී සිටීම් කළ ජනතාවගේ හදවතේ ගැඹුරුම තැනින් දැල්වුණු ප්‍රාර්ථනාව විය. “යහපාලන වෙනස” සිදුව වසර දෙකක් ගතවන තැන එහි ශේෂ පත්‍රය පිරික්සත්දී මේ සියලු කාරණා දෙස අප අවධානය යොමුකර බැලීම වැදගත්ය.

“සංවත්සර” සැමරුම් සිදු කරමින්, ජනතා බදු මුදල් කොල්ලකෑම විලාසිතාවක්ව පැවැති සංස්කෘතියක් තුළ, වැඩිපුර අණබෙර නොගසමින් ප්‍රීති උත්සව නොපවත්වමින් බල හුවමාරුවේ තෙවන වසරට පිවිසීම සම්බන්ධයෙන් පළමුකොටම ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාට මල් මිටක් පිරිනැමීමට කැමැත්තෙමු. වසර 2ක් තුළ සිදුව ඇති වෙනස පිළිබඳ කථා කිරීමේදී දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීම අතින් වත්මන් පාලනය සෑහෙන දුරක් ගමන් කර තිබේ. තොරතුරු දැනගැනීමේ පනත, ස්වාදීන කොමිෂන් සභා මේ වන විට ප්‍රායෝගික ඇත්තක් වී ඇත. අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය පසුගිය ජනවාරියේදී දියත් කිරීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ මානව අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් වන තම උනන්දුව රජය පෙන්වා තිබේ. මේ සියලු තත්ත්වයන් තුළ පෙරට වඩා පැහැදිලි වෙනසක් රට තුළ සිදුව ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ ගේට්ටුව කඩාගෙන යෑමට ඊට ඇතුළුවීමට උත්සාහ කිරීම දක්වා වූ නිදහසක් රටවැසියන්ට ලැබී ඇත. රජය හෝ ජනාධිපතිවරයා විවේචනය කළා යැයි සුදු වෑන් හඹා ආ බවක් පසුගිය කාලයේ අසන්නට නොමැත. ඒ අර්ථයෙන් යම් මට්ටමක නිදහසක් රට තුළ තහවුරු වී ඇති මුත්, ජනතාව අපේක්ෂා කළේ එය පමණක් ද? ගැටලුව ඇත්තේ එතැනයි. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස රට තුළ තහවුරු වීමට සමගාමීව රාජපක්ෂ සමයේ නොපනත්කම්හි නිරත වූ දූෂිතයන්ට එරෙහිව පැහැදිලිව පිටතට පෙනෙන ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක ‍වනු ඇතැයි ජනතාව අපේක්ෂා කළ ද ඒ සම්බන්ධයෙන් සතුටු විය හැකි තත්ත්වයක් තවම රට තුළ දැකගත නොහැකි වීම බලාපොරොත්තු කඩකරවයි. භීෂණය නිම කිරීම සම්බන්ධයෙන් A සාමර්ථ්‍යයක් ලබාගෙන ඇතිමුත් දූෂණයට තිත තැබීම සම්බන්ධ ප්‍රතිඵලනම් කිසිසේත්ම අවශ්‍යතාව හා සමපාත නොවේ.

රාජපක්ෂවරුනට හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ට එරෙහිව පොදු අපේක්ෂකයාගේ කඳවුර එදා දමා ගැසු ප්‍රධාන මිසයිල වූයේ නාස්තිය වංචාව, දූෂණයයි. එහෙත් තවමත් ඒ සම්බන්ධව ප්‍රමාණවත් ඔප්පු කිරීමක් සිදුකර ගැන්මට නොහැකි වීම එදා උස් හඬින් නැඟු එම චෝදනාවන්හි සුජාතභාවය ප්‍රශ්න කරයි. සුපැහැදිලිවම මෙය බරපතළ තත්ත්වයකි. ඇස්පනා පිට මහජන මුදල් කොල්ල කෑමේ යෙදුණු ඇතැම් දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමටවත් කොන්දක් නොමැති වීම සම්බන්ධයෙන් යහපාලන වෙනස සමඟ සිටගත් ජනතාව තුළ ඇත්තේ පහන් හැඟීමක් නොවේ. 2015 ජනවාරි 08 වැනි දින පරාජයට පත්වූයේ මහින්ද රාජපක්ෂ නමැති තනි පුද්ගල සාධකය පමණක් නොවේ. ඒ සමඟ එම ජරාජීර්ණ ක්‍රමය ද පරාජයට පත් විණි. ජනවාරි අට වැනිදා ජනවරම හිමි වූයේ, ඊට කොකා පෙන්වූවන් හුරතල් කිරීමට නොවේ. මෙය වත්මන් පාලකයන් තේරුම් ගැනීම වැදගත්ය. තනතුරු, වරදාන අපේක්ෂාවෙන් දේශපාලන අස්ථානයන් මාරු කළා ය කියා නීතිය නැමීමක් සිදුවන්නේ නම්, එය කිසිසේත්ම පිළිගත හැකි සාධාරණීකරණය කළ හැකි තත්ත්වයක් නොවේ. ඊළඟ රැල්ල, හොරුන්ට මෙන්ම හොරු ආරක්ෂා කළවුන්ට එරෙහිව ද නැඟිය හැකි බව අදාළ වගකිවයුත්තන් මෙහිදී තේරුම්ගත යුතුය. අනෙක් අතට දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම හා එය සෑහෙන පමාවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා වෙත ඇඟිල්ල දිගු කිරීමද සාධාරණ නොවේ. ඊට වඩා වෙනස් යමක් මෙහිදී දැකගත හැකිය. රටක ආණ්ඩුකරණය තුළ අතිශය වැදගත් අංශ ලෙස සැලකෙන හමුදාව, පොලීසිය, බුද්ධි අංශය තුළ පමණක් නොව අධිකරණ හා පරිපාලන ක්ෂේත්‍ර තුළ ද පාලනය, ආණ්ඩුව වෙතින් ගිලිහී ගොස් තිබීම මේ තත්ත්වය නිර්මාණය වීමට සෑහෙන දුරට බලපා තිබේ. එම අංශ අද රාජපක්ෂ හිතවාදීන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව පෙනෙන්නට ඇත. ගෝඨාභය රාජපක්ෂ, සරත් නන්ද සිල්වා, හා ලලිත් වීරතුංගගේ “ගෝලයන්” රැසක් පාලන තන්ත්‍රයේ ඉහළ වගකීම් හොබවමින්, තම ස්වාමිවරුනගෙන් ලැබෙන අණ, දේව වාක්‍යයක් සේ ක්‍රියාත්මක කරමින් සිටිති. රාජපක්ෂලාට විරුද්ධව හදවතින්ම විරුද්ධ වී, නිර්භයව තීන්දු තීරණ ගත හැකි අය වෙනුවට අද බොහෝ වැදගත් තැන්වල ඉහළ පුටු හොබවනුයේ ඔවුන්ගේ හෙංචයියන්ය. මෙහි තවත් පැත්තක් ද ඇත.

සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදී නම් පන්දු රකින කණ්ඩායම ම පන්දුවට පහර දිය යුතු මුත්, “යහපාලන” වෙනස සිදුවීමෙන් අනතුරුව නම් දැකගත හැක්කේ ඊට වෙනස් තත්ත්වයකි. එහිදී පන්දු රකින ලද පන්දු යැවූ පිරිස වෙනුවට වෙනත් පිරිසක් පන්දුවට පහර දෙමින් සිටිති. යහපාලන සිදුවීමට පෙර අවම තරමින් රටේවත් නොසිටි එම පිරිස අද රටේ වැඩිම වැටුප්ලාභීන් වී සිටීම හාස්‍ය දනවනසුලුය. පසුගිය මාස 21 ක කාලය තුළ යහපාලන රජය වැඩිම අපවාදනයට ලක්වූයේ එම “ආනයනික” කිහිප දෙනා නිසා ය. රාජපක්ෂ සමයේ හතරේ පහරවල් නැවැත්වීමට, උඩ පන්දු රැකගැන්මට, කඩුලු බිඳ හෙළීමට ගත් උත්සාහයන් පිළිබඳ අබමල් රේණුවක හෝ දැනුමක් නොමැති ඔවුහු අද දිගට හරහට තමන්ට අවශ්‍ය ආකාරයට පන්දුවට ඔහේ තඩිබාමින් සිටිති. මහින්ද රාජපක්ෂලාට යළි බලයට පැමිණිය ද ඔවුනට කිසිදු ගැටලුවක් නොමැත. ඒ ඔවුන් සමඟ ද මේ “ආනයනික” කණ්ඩායමේ බහුතරයක් දෙනා මීට පෙර වැඩ කර ඇති බැවිනි.

විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට රජය බිය බවට හැඟීමක්, ක්‍රමයෙන් ජනතාව තුළ මෝදු වෙමින් පවතී. එම හැඟීම තුළ රාජපක්ෂලාට එරෙහිව එදා යහපාලන කඳවුර දමා ගැසූ දූෂණ, වංචා, චෝදනා පිළිබඳව සැකයෙන් යුතුව බැලීමට ජනතාව පටන්ගෙන ඇත. ඒ තුළ අධෛර්යයට පත්ව ඇත්තේ පාක්ෂිකයන් පමණක් නොවේ. නිලධාරින් ද දුර්වල වෙමින් සිටිති. බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා තිබූ නඩුව පැය කිහිපයකට අයින් කරගැනීම ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම විශාල ලෙස අලෙවි කරමින් සිටිති. මෙම තත්ත්වය පිළිබඳව සංවේදී වෙමින් රජය ඉදිරි මාස කිහිපයේදී ඉක්මනින්ම රැඩිකල් තීන්දු තීරණවලට ගමන් කළ යුතුය.

එසේම දූෂණයට තිත තබන බව පවසමින් බලයට පැමිණි මුත් ඒ පිළිබඳව යහපාලන රජයේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කරන ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් ගැන පහුගිය මාස 24 තුළ ප්‍රබල ලෙස මත සමාජගත විණි. මේ සම්බන්ධව ඇති තත්ත්වය යහපාලන රජයේ ශරීර සෞඛ්‍යයට ඒ හැටි සුවදායි නොමැත.

අපකීර්තියට, ලක්ව ඇති එබඳු සිදුවීම් පිළිබඳ උනන්දුවක් දක්වමින්, තමන් ඒ පිළිබඳ අවධියෙන් සිටින බව පිටතට පෙන්වීම ඉදිරිය පිළිබඳ කල්පනා කර බැලීමේ දී රජයට පාඩු නොවේ. අවධියෙන් සිටීම ලෙස අප මෙහිදී යෝජනා කරනුයේ රාජපක්ෂ සමයේ දී මෙන් සිදුවීමක් සිදුවූ පසු කමිටු පත්කිරීම ම නොවේ. ඊට වඩා එහා ගිය ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයකි. එබඳු පියවර කරා ගමන් කිරීම ජනතාව තුළ යහපාලන රජය විශ්වාසය ඉහළ නංවනු නිසැකය. විශේෂයෙන්ම පවතින සන්දර්භය තුළ රටේ ආණ්ඩුකරණය හා ඍජුව සම්බන්ධ ප්‍රධාන පෙළේ අමාත්‍යාංශවලට අලුතින් ලේකම්වරු පත්කිරීම සුදුසුය. ඒ ඇතැම් ප්‍රබල අමාත්‍යාංශවල දැනට පරිපාලන මුල් පුටු දරන්නන්ගේ “ප්‍රගති වාර්තාව” සතුටුදායක ලකුණු සීමාවේ නොමැති බැවිනි.

සැබැවින්ම පුද්ගලයකුගේ නියම වටිනාකම් මැනිය හැක්කේ මුවින් පිට වන වචනවලින් නොවේ. ක්‍රියාවන්ගෙනි. බලය දිනාගැන්මට වඩා අසීරු වනුයේ බොහෝ දුෂ්කරතා මැද දිනු බලය රැකගැන්මය. එහිදී මූලිකවම මිතුරු වේශයෙන්, තමන් සමීපයට එන සතුරන්ගෙන් පරිස්සම් වීම වැදගත්ය. එබඳු අපකීර්තිමත් වැඩ වාර්තාවන් සහිත අනන්ත වත් දෙනා අද “යහපාලනය”ට හේත්තු වී සිටිති. වඩාත්ම අපුල දනවන කාරණය වනුයේ ඒ ඇතැමුන් යහපාලනයේ පේටන්ට් බලපත්‍ර හිමියන් සේ හැසිරීමය. ඔවුන්ගෙන් පරිස්සම් වුවහොත් එය නිසැකවම ඉදිරි කාලයේදී යහපාලනයේ දීප්තිය වැඩි කරනු ඇත. මහින්ද සමඟ එක පතේ කෑ මේ ඇතැමුන්, තවමත් “පුනරුත්ථාපනය” වී නොමැත. ඔවුනට ඇත්තේ කෙටිකාලීන දුෂ්ට අරමුණු පමණකි. ලාභ සන්තානය තනතුරු වරදාන මිසක ප්‍රතිපත්ති ඔවුනට වැදගත් නොමැත. යහපාලනය යනු ඔවුනට කටගැස්මක් පමණි. ජනතාවගේ හදගැස්ම මෙන්ම කටගැස්ම පිළිබඳත් මනා අවබෝධයක් ඇති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙය අමුතුවෙන් විස්තර කර දිය යුතුව ඇතැයි අප විශ්වාස නොකරන්නෙමු. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව, මේ මොහොතේ වඩාත් විශ්වාසය තැබිය යුත්තේ තනතුරු වරදාන පිපාසාවෙන් තමන් අසළ දැවටෙමින් දේශපාලනය කරන්නන් වෙනුවට හෘදය සාක්ෂියට එකඟව තමන් සමඟ දේශපාලනය කරන්නන් කෙරෙහිය. තමන්ව මුරුංගා අත්තේ තබන්නන් වෙනුවට අවංකවම තමන් විවේචනය කරන්නන් ඇගැයීම ශූර පාලකයකුගේ ගති සොබාවකි. ඒ, බලය හා තනතුරු මත හිඳිමින් අවට නිරීක්ෂණය කරන්නන්ට වඩා වැඩි යමක් අන් අයට පෙනෙන බැවිනි.

දූෂිතයන්ට දඬුවම් දීමට සමගාමීව, පිළිලයක් බව හැම කෙනෙකුම පිළිගන්නා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෙන්ම ජනවාර්ගික ගැටලුව දෙස යහපත් ආමන්ත්‍රණයක් සිදු කිරීමට ද “යහපාලන නායකයන්” ඉදිරි කාලයේ දී කටයුතු කළ යුතුය. ජනවාර්ගික ගැටලුව සම්බන්ධව, ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සිටින “තැන” සෑහෙන දුරට ඉදිරිගාමීය. හුදෙක් ගැලරිය පිනවීම පමණක් දක්ෂ දේශපාලනඥයකුගේ ලක්ෂණය නොවන බව එහිදී ඔවුන් දෙදෙනාම අවබෝධ කරගෙන සිටින බව පෙනෙන්නට ඇත. ජනවාර්ගික ගැටලුව සමඟ තවදුරටත් ක්‍රීඩා කිරීම වෙනුවට ඊට විසඳුමක් ලබාදීම වෙනුවෙන් අවංක උනන්දුවක් ඔවුනට ඇති බව, පෙනෙන්නට තිබේ. අනාථ කඳවුරුවල වසර 27 කට වඩා වැඩි කාලයක් ජීවත්වන උතුරේ දෙමළ ජනතාව ගැන ජනාධිපතිවරයා මෑතකදී කළ කථාව රාජපක්ෂලාට එහා ගිය හෘද සාක්ෂියක් මේ කාරණය සම්බන්ධව ඔහුට ඇති බව පෙන්වයි. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එක්ව සම්මුතිබද්ධ ආණ්ඩුකරණයේ නිරත මේ ස්වර්ණමය මොහොත ජනවාර්ගික ගැටලුවට සාධාරණ විසඳුමක් ලබාදීම සම්බන්ධ ඇති අවස්ථා නිසැකවම පුළුල් කරනු ලබයි. ආර්. සම්බන්දන් වැනි විපක්ෂ නායකවරයකු ධුරයේ සිටීම එම අවස්ථා තවත් ඉහළ නංවනු ලබයි. එබැවින් ඉදිරි කාලයේදී ජනවාර්ගික ගැටලුවට සැබෑ විසඳුමක් ගෙන ඒම වෙනුවෙන් වැඩි “බරක්” යහපාලන රජය යෙදිය යුතුය. ඒ, මේ බස් එක ද “මිස්” කරගත නොහැකි බැවිනි. විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ද තත්ත්වය එයමය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට එදා මැතිවරණ වේදිකාවේදී වැස්ස වූ පොරොන්දුව ඇත්තක් බවට පත්කිරීමේ යුතුකමක් ද වත්මන් පාලකයන්ට ඇත. එය, අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට කරන ගෞරවයක් නිසාම නොවේ. තමන් කෙරෙහි විශ්වාසය තබමින් අති දුෂ්කර මොහොතක ඡන්දය සලකුණු කළ ජනතාව වෙනුවෙන් ද එසේ කිරීමේ යුතුකමක් ඔවුන්ට තිබේ.

සහතිකවම ජනාධිපතිවරයා ප්‍රමුඛ යහපාලන රජයේ ඉදිරිය තීරණය වනු ඇත්තේ ඉහත කී කාරණා සම්බන්ධයෙන් ඔවුන් දක්වන සංවේදීතාවේ, උනන්දුවේ තරම මතය. අවසාන වශයෙන් එක දෙයක් සඳහන් කිරීමට කැමැත්තෙමු. ලෝකයේ සියල්ල, අස්ථිරය. අද මහා යෝධයන් හෙට අඟුටුමිට්ටන් වූ කථා ඉතිහාසය තුළ එමටය. ඒ පිළිබඳ සජීවී සාක්ෂි ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේත් දැකගත හැකිය. ඒ ඉතිහාසය තුළ වත්මන් පාලකයන්ට හිමි තැන, මීළඟ වසර දෙක තුන තුළ අනිවාර්යයෙන්ම කාලය විසින් තීරණය කරනු ඇත.

චාමර ලක්ෂාන් කුමාරචාමර ලක්ෂාන් කුමාර

Comments

comments

LEAVE A REPLY