ලිංගාශ‍්‍රිත රෝග අවම කිරීමේ මහජන සම්බන්ධතා සැලැස්මක්..! (PHOTO)

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආශ‍්‍රිතව ලිංගාශ‍්‍රිත රෝග අවම කිරීම සඳහා මහජන සම්බන්ධතා සැලසුමක් දියත් කිරීමට කැලණිය විශ්ව විද්‍යාලයේ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ 2016 කණ්ඩායම පසුගියදා කටයුතු කළේ ය. මේ ඔස්සේ අදාළ කරුණ සම්බන්ධයෙන් පුළුල් පර්යේෂණ කටයුතු සිදුකෙරුණු අතර සිසු සිසුවියන් හා මහජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක‍්‍රියාවට නැංවිණි. මෙම පර්යේෂණයේ නිල වාර්තාව භාරදීම පසුගියදා එම විශ්ව විද්‍යාලයේදී සිදුවිය.

සමාජයේ හා සංස්කෘතියේ ඇතිවූ යම් යම් වෙනස්කම් සමග ආදර සම්බන්ධතා සහ ලිංගික සම්බන්ධතා සම්ප‍්‍රදායන් විශාල වශයෙන් වෙනස් වී ඇත. අන්තර්ජාල භාවිතය සමග තරුණ පරපුර ලොව පුරා පැතිර පවතින විවිධ ප‍්‍රවණතා විධිමත් ලෙස මෙන්ම අවිධිමත් ලෙසද ග‍්‍රහණය කරගන්නා අතර එය ඔවුන්ගේ පේ‍්‍රම ලිංගික සම්බන්ධතා වලට සෘජුව බලපා තිබේ. එමෙන්ම අද දවසේ කවුරුත් පාහේ ජංගම දුරකථන භාවිතා කරන අතර සමාජ මාධ්‍ය ප‍්‍රවේශයද බෙහෙවින් වර්ධනය වී ඇති නිසා එම තත්ත්වය වඩාත් බරපතළ කිරීමට දායක වී ඇත.

මෙම ප‍්‍රවණතාවන්ට සමගාමීව තරුණ පරපුරට ප‍්‍රමාණවත් ලිංගික සෞඛ්‍ය දැනුමක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. දැනට පවතින යම්යම් වාර්තා අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කය සහ ගම්පහ දිස්ත‍්‍රික්ක වල පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සමාජ රෝග ව්‍යාප්තිය වැඩිවී තිබෙන බවක් පෙනී යයි. මෙයට හේතු ලෙස උපකාරක පන්ති වලට සහභාගි වන සිසුන් අවිධිමත් ලිංගික ක‍්‍රියාකාරකම්වල නියැළීම, සිසුන් යුගල වශයෙන් එකම කාමරයක ලිංගිකව එකතුවීම සහ ආරක්ෂාකාරී ක‍්‍රම අනුගමනය නොකර සිටීම යනදී කරුණු හේතුවී ඇත. එබැවින් මෙම පර්යේෂණය සඳහා මෙම රෝග ව්‍යාප්තිය වැඩිම දිස්ත‍්‍රික්කය වන කුරුණෑගල දිස්ත‍්‍රික්කය තෝරාගන්නා ලද අතර මෙම තත්ත්වය පාලනය කිරීමට දායක වීම පර්යේෂණ කණ්ඩායමේ මූලික ඉලක්කය විය.

මිනිස් සිරුර ලෙඩ රෝගවලට සංවේදීය. වෛරස් හා බැක්ටීරියා ආසාදනයන්ට මිනිසා ඉක්මනින්ම ගොදුරු වන්නේ එබැවිනි. මෙසේ ඇතිවන ඇතැම් රෝග එළිපිට කතා කරන ඒවා වුවද එළිපිට කතා කිරීමට අකැමැති මට්ටමේ ඒවාද වෙයි. ‘රහස් ලෙඩ’ යනුවෙන් තවමත් ඇතැමුන් හඳුන්වන ලිංගාශ‍්‍රිත රෝගද එවැන්නකි. ලිංගාශ‍්‍රිත රෝග වලටද වෛද්‍ය විද්‍යාත්මක දියුණු ප‍්‍රතිකාර ක‍්‍රම ඇති අතර එය නිසි කලට ලැබිය යුතු වෙයි. නොඑසේ නම් සිදුවන්නේ එම ආසාදනයන් සිරුර පුරා පැතිරී ස්නායු ෙසෙල අකර්මණ්‍ය තත්ත්වයට පත් කිරීමයි.

දැනට එච්.අයි.වී. ඒඞ්ස් ඇරුණු කොට අනෙකුත් ලිංගාශ‍්‍රිත රෝග සුව කිරීම සඳහා ප‍්‍රතිකාර ක‍්‍රම ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ‍්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන ඒකකය මගිනුත්, දිවයින පුරා ජාතික රෝහල්වල පිහිටුවා ඇති එම ප‍්‍රතිකාර ඒකකයන් මගිනුත් ප‍්‍රතිකාර ලබාදීම සිදු කරයි. එබැවින්ම ලජ්ජාවට පත් නොවී තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගනිමින් අදාළ ප‍්‍රතිකාර ලබන්නට දැන් මෙම රෝගීන්ටද අවස්ථාව තිබේ.

මෙම පර්යේෂණය යටතේ ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් රාශියක් ක‍්‍රියාවට නංවන ලදී. පාසල් සිසුන් සඳහා වන වැඩමුළු, සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා දැනුවත් කිරීම, අත්පත‍්‍රිකා හා පෝස්ටර් ආදිය නිර්මාණය කිරීම සහ රූපවාහිනී සාකච්ඡුා පැවැත්වීම යනාදිය ඉන් ප‍්‍රධාන ය. ඉදිරියේදී මෙම වැඩසටහන් වල ප‍්‍රගතිය අඛණ්ඩව නිරීක්ෂණය කෙරෙනු ඇති අතර ඒ අනුව මෙය සිසුන්, දෙමාපියන්, ගුරුවරුන්, බලධාරීන් ඇතුළු සියලූ පාර්ශ්ව වලට ප‍්‍රතිලාභ සලසන වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි වේ.

වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් කැලණිය විශ්ව විද්‍යාලයේ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ 2016 කණ්ඩායම පවසන්නේ මේ ඔස්සේ සමාජයට යහපත් දායකත්වයක් ලබාදීමට හැකියාව ලැබීම ගැන තමන් බෙහෙවින් සතුටු වන බවයි. විවිධ පාර්ශ්ව මගින් මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක‍්‍රියාත්මක කරමින් සමාජයේ සාධනීය වෙනසක් සඳහා අත්වැල් බැඳගැනීමේ වැදගත්කම ඔවුහු පෙන්වා දෙති.

B01A7477B01A7476B01A7474B01A7472B01A7470B01A7469B01A7467B01A7465B01A7453B01A7455B01A7457B01A7458B01A7459B01A7461B01A7462B01A7463B01A7452

more recommended stories