සිවිලිම් ෂීට් ආනයනකරුවන්ගේ වංචනික ක්‍රියා ගැන පරීක්ෂණයක් කරන්න

0
1204

සිවිලිම් ෂීට් ආනයනකරුවන් භාණ්ඩ ගෙන්වීමේදී සිදුකරන වංචනික ක්‍රියා සහ ඒ සඳහා රජයට පාඩු සිදුවන ආකාරයේ බදු වංචා සිදුකිරීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකළ බව සිවිලිම ප්‍රදර්ශනාගාර අයත් අයිඩියා සමූහ ව්‍යාපාරයේ සභාපති සම්පත් මායාකඩුව මහතා පැවැසී ය.

එමෙන්ම ශ්‍රී ලංකා රේගුවේ සිදුවන ක්‍රියාවලියට සම්බන්ධ ඇතැම් තොරතුරු විකෘති කරමින් වැරදි තොරතුරු මාධ්‍ය වෙත මුදාහැරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් සොයාබලන ලෙස පවසමින් පසුගිය 23 වැනිදා මෙම ලිපිය යොමු කළ බව සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකා රේගුව යටතේ කරනු ලබන භාණ්ඩ වර්ගීකරණයට අනුව එච්.එස්. කේත (HS code) 3925 යටතේ 25%ක බදු මුදලක් ගෙවා සෙසු ආනයනකරුවන් සිවිලිම් ෂීට් ගෙන්වනු ලබන නමුත් ඒ යටතේ ගෙන්වනු ලබන්නේ නීතිවිරෝධී ලෙස භාණ්ඩවල බර, ප්‍රමාණය ආදිය අඩු කොට බදු මුදල් නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් සිවිලිම් ෂීට් වැඩි තොගයක් බව සභාපතිවරයා අවධාරණය කළේ ය. තව ද එච්.එස්. කේත 3916 යටතේ ගෙන්වන දැනට 15%ක් ලෙස අයකරන බදු මිල, එච්.එස්. කේත 3925 යටතේ ගෙන්වන භාණ්ඩ සඳහා දැනට 25%ක් ලෙස අයකරනු ලබන බදු මිල ප්‍රමාණයකටම සමකරන ලෙස ද සම්පත් මායාකඩුව මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

එසේ නැතහොත් විධිමත් ආකාරයෙන් ගෙන්විය හැකි නීත්‍යනුකූල ක්‍රමවේදය වන එච්එස් කේත 3916 යටතේ සියලුම ආනයනකරුවන්ට සිවිලිම් ෂීට් ගෙන්වන ලෙස නියාමනය කිරීමට පියවර ගන්නැයි ද සභාපතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අත්සනින් යුක්තව රජයට වඩාත් ක්‍රමානුකූලව බදු ගෙවන්නකු හැටියට මුදල් අමාත්‍යාංශයෙන් සහතික ලද තම ව්‍යාපාරයේ කීර්ති නාමයට අපහාස වන හා පාරිභෝගිකයන් නොමග යවන පරිදි ඇතැම් සිවිලිම් ෂීට් ආනයනකරුවන් තම වෙළෙඳ නාමයට සමාන වෙළෙඳ නාම යටතේ සිවිලිම් ෂීට් බෙදාහැරීම පිළිබඳ අධිකරණ වාරණ නියෝගයක් ද ලබාගත් බව සභාපතිවරයා සඳහන් කළේ ය.

“ලංකාවේ සිවිලිම් ෂීට් සඳහා තරගකාරී ආනයනකරුවන් 21ක් ඉන්නවා. රේගුවේ භාණ්ඩ නිදහස් කරගැනීමේදී භාණ්ඩ වර්ගීකරණය පිළිබඳ පරිශීලනයට පොතක් තිබෙනවා. (World Customs Organization, Explanatory Notes) තියෙනවා. එහි ඒ ඒ වර්ගයට අදාළ භාණ්ඩ සඳහා වන වර්ගීකරණයන් පහසුවෙන් හඳුනා ගත හැකියි. එහි 39 වන පරිච්ඡේදයේ Notes 11ට අදාළව පෙර මාතෘකාවක අඩංගු නොවන භාණ්ඩ පමණක් මෙහි අයත් විය යුතුය යනුවෙන් සඳහන් කර තිබෙනවා. එමෙන්ම එහි එච්එස් 3925 කේතයන් සම්බන්ධයෙන් 11.බී අනු වගන්තියට අනුව ද දක්වා ඇත්තේ පොළව, බිත්ති, වෙන් කිරීම්, සිවිලිම් හෝ වහල ආදියෙහි ව්‍යුහාත්මක සැකිලි සඳහා භාවිතා කරන උපාංග යනුවෙන්. සිවිලිම් ෂීට් යනු ව්‍යූහාත්මක මූලද්‍රව්‍ය (Structural Element)  එකක් නොවන අතර ඒ පිළිබඳ ඕනෑතරම් තොරතුරු අන්තර්ජාලය පරීක්ෂා කිරීමේදී අපට සොයාගත හැකියි. ජපානය, නවසීලන්තය වැනි රටවල විශ්වවිද්‍යාල පර්යේෂණ වාර්තාවලින් මෙය හොඳින් තහවුරු කර තිබෙනවා. අවශ්‍ය නම් මොරටුව විශ්ව විද්‍යාලයේද මේ සඳහා තාක්ෂණික සහය ලබා ගත හැකියි. ඒ අනුව සිවිලිම් ෂීට් යනු Structural Element  නොව Architectural Element එකක්. මේ අනුව අපගේ සිවිලිම් ෂීට් විශේෂය සඳහා 3925 කාණ්ඩය නොගැළපෙන බව අවබෝධ කරගත්තා. අපගේ සිවිලිම් ෂීට් විශේෂය Profile ගණයට අයත් වන නිසා මෙන්ම article එකක්ද නොවන නිසා එහි සියලු ලක්ෂණ සඳහා ගැළපෙන්නේ 3916 කාණ්ඩය වන බැවින් අප එම වර්ගීකරණ කාණ්ඩය භාණ්ඩ නිදහස් කර ගැනීමේදී භාවිත කරනවා. 3916 වර්ගීකරණ කාණ්ඩය යටතේ භාණ්ඩ ආනයනය කිරීමට ප්‍රථම එය තවදුරටත් සනාථ කර ගැනීමට අප විසින් රේගුවෙන් Advance Ruling සඳහා අයැදුම් කළා. ඒ අනුව ශ්‍රී ලංකා රේගුව විසින් 3916 නිවැරදි යැයි සඳහන් කරමින් 2014.09.13 දින Advance Ruling ලබා දී තිබෙනවා. එයින් පසුව අප 3916 යටතේ භාණ්ඩ ආනයනය කළා. 3925 කාණ්ඩයේ බදු ප්‍රමාණය 25% පමණ වන අතර 3916 කාණ්ඩයේ බදු ප්‍රමාණය 15% කි. එහි බදු වෙනස 10%ක්. නමුත් ශ්‍රී ලංකාවට සිවිලිම් ෂීට් ගෙන්වන සමාගම් 21 අතරින් ප්‍රධානම සිවිලිම් ෂීට් ආනයනකරුවන් සිවිලිම් ෂීට් ටොන් එකකට ගෙවන බදු ප්‍රමාණය සොයා බැලුවහොත් අප ටොන් එකකට ගෙවන බදු ප්‍රමාණය අනෙකුත් සියලුම ආනයනකරුවන්ට වඩා වැඩියි. දැනට වෙළෙඳපොළේ ඇති තත්වයෙන් ඉහළම සිවිලිම් ෂීට් වර්ගය වන්නේ අප ආයතනය ආනයනය කරන භාණ්ඩ බව තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව අනෙකුත් නිෂ්පාදන සමග සැසඳීමේදී අපගේ සිවිලිම් ෂීට්වල බර වැඩියි. මේ නිසා සිවිලිම් ෂීට් ටොන් එකක අඩංගු වන ෂීට් ප්‍රමාණය අනෙකුත් ආනයනකරුවන් හා සැසඳීමේදී අඩු අගයක් ගන්නවා. මේ අනුව සිවිලිම් ෂීට් එකකට අප ගෙවන බදු ප්‍රමාණය 3925 යටතේ ආනයනය කරන අයට වඩා ඉහළ අගයක් ගන්නවා. මෙය තහවුරු කිරීමට අදාළ තොරතුරු අප සතුව ඇති අතර ඕනෑම අවස්ථාවකදී එය ඉදිරිපත් කිරීමටද හැකියාව තිබෙනවා. තවද අප ආයතනය 2016 වසරට අදාළව පමණක් ශ්‍රී ලංකා රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය මිලියන 350 ඉක්මවා තිබෙනවා. එය මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් යුතු ලිපියකින් අප පැසසුමට ලක් වුණා.

ඇතැම් ආනයනකරුවන් එච්එස් කේත 3925 යටතේ 25%ක බද්දක් ගෙවා විශාල ෂීට් තොගයක් අඩු බදු මුදලක් ගෙවා ආනයනය කරනවා. ඒ වගේම 25%ක බදු යටතේ අලුතින් සමාගම් ආරම්භ කර තාවකාලික TIN අංකයන් භාවිතා කරමින් අඩු වටිනාකම් සඳහන් කරමින් සිවිලිම් ෂීට් ආනයනය කිරීමද අද බොහෝ විට සිදුවන්නක්. එලෙස භාණ්ඩ ගෙන්වූ පසුව සමාගම වසා දමනවා. ඉන්පසු රජයට බදු ගෙවිය යුතු නෑ. මේ ආකාරයට ආනයනකරුවන් බොහොමයක් අලුතින් සමාගම් ලියාපදිංචි කොට භාණ්ඩ ගෙන්වූ පසු ඒවා වසා දමා බදු ගෙවීම පැහැර හරිනවා. ඉන්පසුව එම බාල සිවිලිම් ෂීට් අඩු මුදලකට වෙළෙඳපොළට යවනවා.

මෙවැනි ආනයනකරුවන් නීත්‍යනුකූල ලෙස සිදුකරන අපගේ ව්‍යාපාරයට අපකීර්තිමත් ආකාරයේ ප්‍රචාර යවමින් මෙහෙයුම් අඩපණ කිරීමට කටයුතු කරන නිසා අපගේ ආනයන ක්‍රියාවලියට මහත් ගැටලුවක් වී තිබෙන මෙම කන්ටේනර් නිදහස් නොකොට රඳවා ගැනීම නිසා අප විසින් රේගුවේ අධ්‍යක්ෂවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව අපගේ HS වර්ගීකරණය නැවත විශේෂ කමිටුවක් හරහා අධ්‍යයනය කිරීමට කටයුතු කර තිබෙනවා. නමුත් මේ සැබෑ තොරතුරු විකෘති කරමින් මීට වසර 4කට පෙර මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටි දැන් සිවිලිම් ෂීට් ආනයනය කරන එක්තරා පුද්ගලයෙක් මාධ්‍ය ආයතන නොමග යවමින් අසත්‍ය තොරතුරු මුදාහරින බව අපිට වාර්තා වෙලා තිබෙනවා. මේ අසත්‍ය ප්‍රචාර හේතුවෙන් රේගු නිලධාරීන් ඔවුන්ගේ වර්ගීකරණය යටතේ අප ගෙන්වන භාණ්ඩ කන්ටේනර් රඳවා ගන්නවා. එවිට එක් කන්ටේනරයක් නිදහස් කරගැනීම සඳහා රුපියල් ලක්ෂ 10ක් අමතරව වැය කිරීමට අපිට සිදුවෙනවා. මේ ගැටලුව නිසාම අපි දේශීයව සිවිලිම් ෂීට් නිෂ්පාදනය මාස 6කින් ආරම්භ කරනවා.” යැයි සම්පත් මායාකඩුව මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Comments

comments

LEAVE A REPLY