හෘදයාංගම මිනිසෙකුගේ නික්ම යාම.

ඔවුහු අසීමිතව මහ පොළොවටත් මිනිසුන්ටත් ආදරය කළහ.වඩා යහපත් ලෝකයක් බිහිකිරීම උදෙසා දායකත්වය සැපයූහ. ඔවුහු සහෝදර ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ස්වකීය ජීවිතයේ අවසාන මොහොත දක්වා තම නිරවුල් වාමාංශික මතවාදය කිළිටි නොකරගනිමින් ජීවත් වූ සැබෑ මිනිසුන්ය. එවැනි අතළොස්සක් වූ ඔවුන් ලෝකයේ ඕනෑම බිම් කඩෙකදී හමුවිය හැක.තමා පය ගසා සිටින මහ පොළොව විශ්වාස කරන තරමටම තමා ඇවිද යන මාවතද විශ්වාස කරන්නා වූ ඔවුහු ලෝකයෙන් බලාපොරොත්තු වූයේ අව්‍යාජ මිනිස්කම් පමණි. උස් පහත් විෂම බිම් සමබිම් බවට පත්කරන්නා වූ නව සමාජ සැකැස්මක් පමණි.
ඉඳින් එවන් වූ හෘදයාංගම මිනිසෙකු ගැන ඉතා කෙටි සටහනක් තබමි.එවන් එක් මිනිසෙකු ගැන ලියමි.ඔහු නමින් බර්නාඩ් රන්ජිත් මෙන්ඩිස් සහෝදරයායි.ඔහු ඉතා දිගු කලක්  ලන්ඩනයේ පදිංචිව සිටි කීර්තිමත් නීතිඥවරයකු මෙන්ම වාමාංශික දේශපාලන සගයකු ලෙසට අප හඳුනා ගෙන සිටි  බර්නාඩ් රන්ජිත් මෙන්ඩිස් සහෝදරයාය.
නොයෙකුත් දේශපාලන සුළි කුණාටු හමුවේ තම මතවාදය වෙනස් නොකල අපූරු වාමාංශික සගයෙකි.දශක ගණනාවක් පුරා ලන්ඩනයේ පදිංචිව සිටි බර්නාඩ් සහෝදරයා නව වසරේ උදාව පෙනි පෙනී පසුගිය දෙසැම්බර් තිස් වැනිදා (30) සිය දිවියෙන් සමුගත්තේය. ඒ හදිසි රෝගී තත්වයක් නිසා London St Mary’s රෝහලෙහි ප්‍රතිකාර ගනිමින් සිටියදීය. මියයන විට 77 වෙනි වියෙහි පසුවූ ඔහු ගැන මෙසේ ඡේද කිහිපයක කෙටි සටහනක් තබන්නේ කෙසේද ?….ඔහු වර්තමාන සමාජයට හඳුන්වා දෙන්නේ කෙසේද ? එය අසීරුය. හේතුව, ඔහු හා බැඳුනු අපගේ මතකයන් ඉතාමත් දීර්ඝකාලීන ඒවා වීමය. නිරන්තරයෙන් එම බැඳීම් දේශපාලනික වූ අතර තවත් විටෙක ඉතා මානුෂීය හේතු කාරණාද නොතිබුණා නොවේ.
ඔහු බ්‍රිතාන්‍යයට පැමිණ නීතිය හදාරා නීතිඥවරයෙකු හා  පසු කලෙක  බැටිස්ටර්වරයෙකු  ලෙසත්  කටයුතු කළේය.    London Marylebone හි ප්‍රධාන නිතිඥ  සමාගමක්  පවත්වාගෙන ගිය ඔහු  පසු කලෙක  ලංකාවේ සිට පැමිනි  නිතිඥවරුන්  බොහෝ දෙනෙකුට නීතිමය පුහුණුවීම් සඳහා මෙම ආයතනයේ සහාය ලබා දීමට  උපකාරයන් කළේය. විශේෂයෙන්ම 1989  ජවිපෙ මර්දනයත්  සමග එක්සත් රාජධානියට    පැමිණි නිතිඥයින්ට රැකවරණය සැලසීම හා ඔවුන්ට පුහුණුව ලබාදිම සිදුකරනු ලැබිය.
බර්නාඩ් සහෝදරයාගේ බ්‍රිතාන්‍ය ආගමනය සිද්ධ වන්නේ 1950 දශකයේ අග බාගයේදීය. එම යුගය ජාත්‍යන්තර වශයෙන් ගත්කල වාමාංශික වසන්තයයි.ලෝකය පුරා වාමාංශික ව්‍යාපාරයන්හි නායකත්වයෙන් යුතු විප්ලවවාදී නැඟී සිටීම් නොකඩවා සිදු වූ අතර සමාජවාදී රාජ්‍යන් බිහි වී සහ බිහි වෙමින් පැවතුණි. සූක්ෂම ධනේශ්වර සූරාකෑම තව දුරටත් අභියෝගයට ලක්වෙමින් පවතිද්දී සාමූහික නිෂ්පාදන සබඳතා සහිත හෙටක් වෙනුවෙන් හඬනැඟීම සඳහා අදාළ වාස්තවික තත්වයන් නිර්මාණය විය.මෙකී සුබවාදී දේශපාලන ප්‍රවාහය ලංකාවේ සමාජ ,ආර්ථික ,දේශපාලනික කෝණයන් ප්‍රශ්න කරමින් සිටිද්දී වාමාංශික නැඹුරුවක් සහිත කණ්ඩායම් කරළියට බසින්නට විය.මෙවන් කාල වකවානුවක අධ්‍යාපන කටයුතු සඳහා බ්‍රිතාන්‍යයට පැමිණි බර්නාඩ් රන්ජිත් සහෝදරයා කෙමෙන් ඉහත කී බටහිර වාමවාදී භාවිතාව තුළ ගුරුහරුකම් ලබාගනිමින් තම දැනුම් පරාසය පුළුල් කර ගන්නට එය අවස්තාවක් කොටගත්තේය. ඔහු මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ලංකාවෙන් පැමිණි තවත් සමකාලීනයන් පිරිසක්ද මෙම දේශපාලන නැඹුරුවත් සමඟම ඉලක්ක සහගත ක්‍රියාවලියක් වෙනුවෙන් කෙමෙන් ක්‍රියාකාරී වූහ.
1960 දශකයේදී  පමණ වාමාංශික මතවාදයන්හි  සිටි මෙම පිරිස් එකතුව   ලන්ඩන් ගිනි පුපුර නමින් වාමාංශික සංවිධානයක් පිහිටුවා ගත්තේය. පසු කලෙක මෙම සංවිධානය 1971 අප්‍රේල් නැගිටීම සම්බන්ධයෙන් සිරගතව සිටි සහෝදරවරුන් සමග   දේශපාලන සංවාදයක නියැලමින් සිටි අතර  පසුව  රෝහණ විජේවීර සහෝදරයා නිදහස් වීමෙන් පසුව 1978 වසරේදී ලන්ඩනයට පැමිණ කල සකාච්ඡාවකින්ද  පසුව     ගිනි පුපුර  සංවිධානය ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යනතර ශාඛාව බවට පත් වීය. සී අයි ප්‍රනාන්දු,  අචා ලැනරෝල්, විජය ලැනරෝල්, පෝල් පීරිස්, කැරන්ස් පීරිස්, කුරු ගුණවර්ධන, රන්ජිත් මෙන්ඩිස්   ඇතුළු තවත් පිරිසක් එකල එහි   සාමාජිකයෝ වූහ.
ලංකාවේ බිහිවූ නව වාමවාදී දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය සමග බද්ධව ඒ සදහා ජාත්‍යන්තර සහයෝගය ලබාදීමට මෙකී  පිරිස දැඩි කැපකිරීමකින් කටයුතු කළ පිරිසක් විය.  88-89 පක්ෂය මුහුණ දුන් අතිශය දරුණු මර්දනය හමුවේ පක්ෂ සාමාජිකයන් ආරක්ෂා කිරීමට ද ඔවුන් ජාත්‍යන්තර සහය ලබාදෙමින් කටයුතු කරුණු ලැබීය. මර්දනයෙන් ගැලවී ඉතිරි වූ  සහෝදරවරුන් බොහෝ දෙනෙකුට   බ්‍රිතාන්‍ය ඇතුළු රටවල දේශපාලන රැකවරණ සැලසීමට රන්ජිත් සහෝදරයා ඇතුළු මෙකී පිරිස කටයුතු කළේය.
ලෝකයේ සමාජවාදය වෙනුවෙන් සිහිනයක සිටි  බර්නාඩ් රංජිත් මෙන්ඩිස් සහෝදරයා ඇතුළු ලන්ඩනය ජීවත් වුනු මෙම   සහෘදයින්  පිලිබඳව පසු කලක   ලංකා දේශපාලනයේ කතා බහට ලක් නොවූයේ ජ වි පෙ දේශපාලනයෙහි තිබූ ඓතිහාසික  වරදක් හේතුවෙන් යයි අප බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. සමාජවාදය ගොඩ නැගීම සදහා දැඩි ධෛර්යයකින් යුතුව ලන්ඩනයේ ජීවත් වුනු මෙම පිරිස් වසර 1992 පමන වෙද්දී  ජ වි පෙ දේශපාලනයෙන් ඈත් කර ගැනීම සම්බන්ධයෙන් එකල ජ  වි පෙ නායකත්වය දැරූ සෝමවංශ අමරසිංහයන්ගේ  පුද්ගලික ඕනෑ එපා කමට සිදුවූවක් බව නොරහසකි. පසු කලකවත් මෙම අදේශපාලනික ක්‍රියාව නිවැරදි කරවා ගැනීමට එතෙක් මෙතෙක් වගකිවයුතු කිසිවෙකු හෝ පියවර නොගැනීම තවත් ශෝචනීය කරුණක් ලෙසට ඉතිහාසයට ඉතුරු කොට ඇත.
1991 දී පමණ සෝමවංශ සහෝදරයා යුරෝපාකරයට පැමිණීමත් සමඟ මෙකී නිර්ව්‍යාජ වාම සගයින්ගේ දේශපාලනික ගමන් මඟ ශෝචනීය වූවාට සැක නැත. මර්ධනයෙන් දිවි ගලවාගත් එකම දේශපාලන මණ්ඩල සභිකයා හැටියට සෝමවංශ සහෝදරයාට පමණක් සවන්දීමට ලන්ඩන් ගිනි පුපුර දිගින් දිගටම තම අකමැත්ත ප්‍රකාශ කරන ලදී. දිවි ගලවාගත් එකම දේශපාලන මණ්ඩල සභිකයා ඔහු වුවත් දිවි ගලවා ගැනීමට සමත්වූ මධ්‍යම කමිටු සමාජිකයින් කීප දෙනෙකු සහ එකල දෙවෙනි පෙළ නායකත්වයෙහි කටයුතු කල සගයින් සමඟද දේශපාලන කතිකාවක් ඇරඹිය යුතු බව ඔවුනගේ පොදු මතය විය.එම මතය පිළිනොගත් සෝමවංශ සහෝදරයා ලන්ඩන් ගිනි පුපුර සාමාජිකයින් සමඟ බරපතළ ලෙස ගැටුම් නිර්මාණය කරගත්තේය.
අභාග්‍ය සම්පන්න  මෙම දේශපාලන වරද නිවරදි කරගැනීමේ උවමනාවෙන් පසුවුනු මෙම ලන්ඩන් සහෘද පිරිස 1997 වසරේදී  ලංකාවට ගොස් එකල ජ වි පෙ වගකිව යුතු සහෝදරවරුන් හමුවී සාකච්චා කිරීමට උත්සාහ ගෙන තිබුනද එකී වගකිව යුතු පිරිස්  මොවුන් හමුවීම හා සාකච්චා කිරීම පැහර හැරිම පිලිබඳව සී. අයි. සහෝදරයා  පවසා සිටියේ අමරසිංහ කියන විදියට ඒ සහෝදරවරුන් අපි හමුවීම ප්‍රතික්ෂේප කරානම්, අනාගතයේ කිසියම් දිනක අමරසිංහයන් ජ වි පෙ  දේශපාලනය වෙනතකට හරවනවා පමනක් නොව  ඒ සහෝදරවරුනුත් දවසක බේදබින්න කරනවා යනුවෙනි.
රන්ජිත් මෙන්ඩිස් සහෝදරයා මෙන්ම වසර කිහිපයකට  පෙර අපෙන් සමුගත් අචා ලැනරෝල් හා සී. අයි. ප්‍රනාන්දු සහෝදරවරුන්ද ස්වකීය ජීවිතයේ අවසන් මොහොත දක්වාම විශ්වාසය තැබුවේ මාක්ස්වාදය ගුරු කොටගත් වාම මතවාදයි. විශේෂයෙන්ම රන්ජිත් මෙන්ඩිස් සහෝදරයා අවසන් කාලය වනතෙක්ම  ලන්ඩනයේ  ජනතා විමුක්ති පෙරමුණේ මහජන සම්මන්ත්‍රණයන්ට මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සම්මන්ත්‍රණයන්ටද බොහෝ අවස්තාවන්හිදී සහභාගි  විය. ලන්ඩනයේදී හමුවන  ජ වි පෙ  මෙන්ම පෙරටුගාමී සාමාජිකායාටද   මෙන්ඩිස් සහෝදරයා දැක්වූයේ එකම සහෝදරත්වයකි. සහෝදරවරුන් කැඩිල වෙන් වෙලා කොහොමද මේ විප්ලවය කරන්නෙ …..? ඒ ඔහු අප හමුවේ විමසූ පැනයකි. රෝහණ විජේවීර සහෝදරයා  මග පෙන්වූ පක්ෂයට සිදු වු අතිමහත් ඛේදජනික තත්වය පිලිබඳව ඔහු සිටියේ බරපතල  කනස්සලු තත්වයකිනි.
රන්ජිත් මෙන්ඩිස් සහෝදරයාගේ අවසන් කටයුතු ජනවාරි 16 වනි සඳුදා උදෑසන 10 . 30 ට   Golders Green Crematorium හිදී සිදු  කිරීමට නියමිතව ඇත.
රන්ජිත් සහෝදරයා  මෙලොව තනිකර ගිය සමීපතමයන් තිදෙනෙකි. ඔවුහු,  ඉතා දිගු කලක් ඔහු සමග ආදරය සෙනෙහස  බෙදා හදා ගනිමින් සතුටුමත් දිවි පෙවෙතක් ගෙවූ ඔහුගේ ආදරනීය බිරිඳ ඇන්ජලා හා දියනියන් දෙදෙනාය.
බර්නාඩ් රන්ජිත් මෙන්ඩිස් සහෝදරයාට විප්ලවීය ආචාරය  පුදකර සිටිමින් මෙම කෙටි සටහන නිමා කරමි.
හිරු දෙසම
බලා හිඳි
වනස්පති
මුවාකොට
ළපටි පැල
රකියි නිති
අව් වැසිද
අකුණු සැර
දරා ඇති
පොළොව මත
හොඳම දේ
තබා යති….
සටහන – ගාමිණී මුතුකුමාරණ
lanka news web
Facebook Comments

more recommended stories

%d bloggers like this: