පිළිකා හදන ඇස්‌බැස්‌ටස්‌ තහඩු තහනම නමට විතරයි..! (Exclusive)

ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු භාවිතය අද ශ්‍රී ලංකාවට අලුත් දෙයක්‌ නොවේ. යමක්‌කමක්‌ උපයාගෙන ගෙයක්‌ දොරක්‌ ගොඩනඟා ගන්නා අයකුට නිවසේ වැඩකටයුතු නිමා වූ බවට හුස්‌මක්‌ කටක්‌ ගන්නට ලැබෙන්නේ වහලට සෙවිල්ලක්‌ යොදා ගැනීමෙන් පසුවය. ශ්‍රී ලංකාවේ ඇති හැකි පැරැන්නන් තමන්ගේ නිවසේ සෙවිල්ලට උළු යොදා ගත්තද, වර්තමානයේදී බහුලව යොදාගනු පෙනෙන්නේ ඇස්‌බැස්‌ටස්‌ය. එයට ප්‍රධාන හේතුවක්‌ද තිබේ. එනම්, ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි භාවිතය උළුවලට වඩා පහසු වනවා සේම, වහලයේ ලී සැකිල්ලට උළු තරම් වියදමක්‌ දැරීමට අවශ්‍ය නොවීමද නිසාය.

එහෙත්, සැබෑව නම්, ඇස්‌බැස්‌ටස්‌ භාවිතය හොඳ නැතැයි සමාජයේ පවතින මතය අනුව යමින් අපහසුවෙන් හෝ උළු වහලයක්‌ නිර්මාණය කර ගන්නෝද වෙති. කවුරුන් කෙසේ කීවත් ඇස්‌බැස්‌ටස්‌ භාවිතයෙන් පිළිකා ඇතිකරන බවට වන මතයක්‌ සමාජයේ ප්‍රබලව මුල්බැසගෙන තිබෙන බව සත්‍යයකි.

මේ පිළිබඳව විටින් විට විශ්වවිද්‍යාල පර්යේෂකයන් විසින් කරුණු කාරණා ඉදිරිපත් කළ අවස්‌ථාද ජනමාධ්‍ය එවන් තොරතුරු වාර්තා කළ අවස්‌ථාද බොහෝ වේ. එනමුත් ඇස්‌බැස්‌ටස්‌ පිළිබඳ සීමාකිරීම් හෝ තහනමට ලක්‌වීම් වැනි කටයුතු සිදුනොවීමත් සමාජයේ ඒ පිළිබඳ ප්‍රබල මතයක්‌ ගොඩනැඟීමට මේ පිළිබඳ කරුණු දක්‌වන්නන් ශක්‌තිමත් නොවීමත් යන කාරණා හේතුවෙන් තවමත් ඇස්‌බැස්‌ටස්‌ භාවිතය සමාජයේ සිදුවෙමින් පවතී. එසේම, රාජ්‍ය ආධාර යටතේ ඉදිවන නිවාස, රාජ්‍ය ගොඩනැඟිලි යනාදියේද බහුල ලෙසම ඇස්‌බැස්‌ටස්‌ භාවිතයට ගැනේ. ඒ අනුව මේතාක්‌ ඇස්‌බැස්‌ටස්‌ කතාන්දරය හුදෙක්‌ කතාංගයක්‌ බවට පත්ව තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇස්‌බැස්‌ටස්‌ පිළිබඳ විශේෂ සඳහනක්‌ කළේය. ඒ සිසු සිසුවියන් පිරිසක්‌ හා පැවැති උත්සව අවස්‌ථාවකදීය. එහිදී අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා කීවේ පිළිකා ඇතිකිරීමට සමත් ඇස්‌බැස්‌ටස්‌ භාවිතය 2018 වසරේ සිට ආනයනය හා නිෂ්පාදනය තහනම් කිරීමට කටයුතු කරන බවය. 2017 වසරේ පටන් පොලිතින් නිෂ්පාදනවලටද තහංචි පැනවෙන බවට මෙහිදී ජනාධිපතිවරයා පූර්ව අනතුරු ප්‍රකාශ කල පරිදිම පොලිතින් භාවිතයද තහනම් විය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ යළිත් ඇස්‌බැස්‌ටස්‌ තහනම හා ඇස්‌බැස්‌ටස්‌ පිළිකා ගැන සමාජ අවධානය යොමුව පවතී. මාධ්‍යයද මේ ගැන කතා කරයි. මේ පිළිබඳව සමාජයේ පවතින්නේ විවිධාකාර වූ කතිකාවතකි. ඇතැමෙක්‌ ඇස්‌බැස්‌ටස්‌ තහනම සාධාරණීකරණය කරද්දී තවකෙකු එය අසාධාරණ බවට චෝදනා කරති. මෙය පදනමක්‌ රහිත දෙයක්‌ බවටද හඳුන්වන අය සිටිති. ඇස්‌බැස්‌ටස්‌ වෙළෙඳ ප්‍රජාව මෙම පිළිකා කතාන්දරය අවඥවෙන් බැහැර කරති. එබැවින් ඇස්‌බැස්‌ටස්‌ තහනමට හෝ සීමා කිරීමට අදාළ එහි හානිකර තත්ත්වයක්‌ තිබේදැයි සොයා බැලීම මෙන්ම ඇස්‌බැස්‌ටස්‌ යනු කුමක්‌ද යන්න ද සොයා බැලීම වැදගත්ය.

ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු නිපදවීමට ගන්නා ඇස්‌බැස්‌ටස්‌ යනු පොළොව කැණ ලබාගන්නා ඛණිජ ද්‍රව්‍යයකි. ස්‌වාභාවිකව පොළෝ ගැබේ නිර්මාණය වන සිලිකේට පාෂාණ විශේෂයක්‌ වන ඇස්‌බැස්‌ටස්‌ සෑදී ඇත්තේ තන්තුමය ස්‌ඵටිකවලිනි. එහි ඇති ඇසට පෙනෙන තන්තු ඊටත් කුඩා ක්‌ෂුද්‍ර අංශු මිලියන ගණනකින් එක්‌රැස්‌ව නිර්මාණය වේ. මෙවන් ඇස්‌බැස්‌ටස්‌ පාෂාණ විශේෂ හයක්‌ ලෝකයේ ඇති අතර, සෙවිලි තහඩු නිපදවීම සඳහා මෙයින් බහුලව භාවිතයට ගැනෙන්නේ සුදු ඇස්‌බැස්‌ටස්‌ය.

ඇස්‌බැස්‌ටස්‌ ඛනිජයේ විශේෂත්වය වන්නේ ගින්නට, තාපයට මෙන්ම ආම්ලික, භාෂ්මික රසායනික ද්‍රව්‍යයන්ට ප්‍රතිරෝධවීමත් (ඔරොත්තු දීමත්) මළ කෑමට බඳුන් නොවීම, විදුලිය සන්නයනය නොකිරීම මෙන්ම ශක්‌තිමත්භාවය අතින්ද ඉහළ වීමය. මෙම ගුණාංග නිසා අධික ලෙස තාපය උපදින හා විදුලිය සන්නයනය නොකළ යුතු ස්‌ථානවල ආදී වශයෙන් වැදගත් උපකරණ නිෂ්පාදනයේදීද ඇස්‌බැස්‌ටස්‌වල සහාය භාවිතයට ගැනේ. එනම් ඇස්‌බැස්‌ටස්‌ යනු සෙවිලි තහඩු ලෙස අප පහසුවෙන් දැන සිටියද වාහනවල බ්‍රේක්‌ ලයිනර්, ක්‌ලච් ප්ලේට්‌, ගෑස්‌කට්‌, තාප පරිවාරක නළ, තාප පරිවාරක බොයිලේරු සහ ඇඳුම්, අත්වැසුම් නොයෙකුත් තාපාරක්‍ෂක ගොඩනැඟිලි ද්‍රව්‍ය යනාදී පුළුල් ක්‌ෂේත්‍රයක්‌ තුළ ඇස්‌බැස්‌ටස්‌ භාවිතයට ගැනේ.

මෙවන් කර්මාන්ත සඳහා වාර්ෂිකව ඇස්‌බැස්‌ටස්‌ ටොන් මිලියන ගණනාවක්‌ ලොව පුරා ඇති නිධි මගින් ගොඩගනු ලබයි. 2009 වසරේදී ඇති වාර්තා අනුව මෙම ප්‍රමාණය ටොන් මිලියන 2 කි. මෙම ප්‍රමාණයෙන් 50% ක්‌ම කණිනු ලබන්නේ රුසියාවයි. චීනය, බ්‍රසීලය, කසකස්‌තානය යන රටවල්ද ඇස්‌බැස්‌ටස්‌ නිපදවන අතර, මෙම නිෂ්පාදනයේ ඉහළම සැපයුම්කරුවකු වන කැනඩාව 2012 දී තම නිෂ්පාදන සම්පූර්ණයෙන්ම නවතා දැමූ බව වාර්තා වේ. ඒ, ඇස්‌බැස්‌ටස්‌ පිළිකා කාරකයක්‌ බවට කතිකාවතක්‌ ලෝපුරා නිර්මාණය වීම නිසාය.

ඇස්‌බැස්‌ටස්‌ නිෂ්පාදනය පුරා වසර 4500 ක්‌ පමණ අතීතයකට යන නමුදු එහි වර්තමාන තත්ත්වය හා අනාගතය කෙබඳු වේදැයි සොයා බැලීම වටී.

ඇස්‌බැස්‌ටස්‌වලින් සිදු වන හානිය අතීතයේදී වාර්තා වී ඇත. ඒ ප්‍රධාන කොටම ඇස්‌බැස්‌ටස්‌ ආකර හා කර්මාන්තශාලා තුළදීය. එහි සේවය කරන සේවකයන්ගේ ශ්වසන පද්ධතියට හානිකරන ඇස්‌බැස්‌ටස්‌ අංශු වසරකට ජීවිත සිය ගණනක්‌ අහිමි කරන බව වාර්තා සඳහන් කරයි.

වාර්ෂිකව පුද්ගලයන් මිලියන 125 ක්‌ ආකර හා කර්මාන්තශාලා තුළදී සෘජුවම ඇස්‌බැස්‌ටස්‌වලට නිරාවරණය වන බවත්, එයින් වසරකට පුද්ගලයන් 107,000 ක්‌ මියයන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී.

ඇස්‌බැස්‌ටස්‌ මගින් මෙසේ මිනිසුන් බිලිගන්නේ එහි ඇති ක්‍ෂුද්‍ර (සියුම්) තන්තු මගිනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිසර හා වෘත්තීමය සෞඛ්‍ය ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරියක වන ඉනෝකා සුරවීර මහත්මියගේ වාර්තා උපුටා දැක්‌වීමේදී ඇස්‌බැස්‌ටස්‌වලින් සිදුකෙරෙන හානිය මෙවැනිය.

ඇස්‌බැස්‌ටස්‌වල ඇති දෘෂ්‍ය තන්තු සෑදී ඇත්තේ ක්‍ෂුද්‍ර තන්තු ලක්‍ෂ ගණනාවක්‌ එකතු වීමෙනි. මෙම ක්‍ෂුද්‍ර තන්තු ක්‍රමයෙන් ඇස්‌බැස්‌ටස්‌වලින් ගැලවී වාතයට එකතු වේ.

ඒවා ආශ්වාසය මගින් අපගේ ශරීරගත වේ. එසේම ආහාරපාන වලින් මෙන්ම සම හරහාද මෙම කෙඳිති ශරීරගත විය හැකිය. මුඛ ආවරණයක්‌ මගින් හෝ මෙම ක්‍ෂුද්‍ර තරංගවලින් ආරක්‍ෂා විය නොහැකි වන්නේ ඒවායේ සිදුරු අතරින්ද මෙම ක්‍ෂුද්‍ර තන්තු රිංගා යැම නිසාය. නාසයේ රෝම හෝ ශ්ලේෂ්මලවලටද මේවායේ ආගමනය වැළැක්‌විය නොහැකි බව වෛද්‍ය සුරවීර මහත්මිය පවසන්නීය. විශේෂයෙන්ම ඇස්‌බැස්‌ටස්‌ කර්මාන්ත ශාලාවල සේවකයන්ට මෙන්ම නිවාසවලදී ඇස්‌බැස්‌ටස්‌ කැපීමේදී මෙම අංශු විසිරීම බහුලව සිදු වේ.

එසේ විසිරෙන ක්‍ෂුද්‍ර තන්තු ආශ්වාසය ඔස්‌සේ පෙනහලු තුළට ඇතුළු වී පෙනහලු පිළිකා ඇතිකරන බව හඳුනාගෙන ඇත. සෘජුවම ඇස්‌බැස්‌ටස්‌ අංශු මගින් පිළිකා ඇතිකරන අතර, වෙනත් පිළිකා වර්ධනය වීමටද ඇස්‌බැස්‌ටස්‌ හේතුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන ඇත.

“මිසොතීලියෝමා” නමැති පෙනහලු පිළිකාව ඇතිකරන්නේ ඇස්‌බැස්‌ටස්‌වලින් පමණක්‌ බවටද හඳුනාගෙන ඇත. පෙනහල්ල ආරක්‍ෂා කරන ප්ලූරාව මත ක්‍රියාත්මක වෙමින් පිළිකා ඇතිකිරීම මෙහි විශේෂත්වයයි. එසේම ගලනාලය ඩිම්බකෝෂය ආශ්‍රිත පිළිකාද ඇස්‌බැස්‌ටස්‌ නිසා ඇතිවන බවද, හුස්‌ම ගැනීමට අපහසු රෝගයක්‌ වන “ඇස්‌බැස්‌ටසීස්‌” නම් රෝගය සෑදීමට හේතු වන්නේද ඇස්‌බැස්‌ටස්‌ යෑයි ලොක සෞඛ්‍ය සංවිධානය කියයි.

ඇස්‌බැස්‌ටස්‌ නිෂ්පාදන කර් මාන්තවලදී වැදගත් වුවත් සාමාන්‍ය ජනයාට එවන් පිළිකා හා රෝග තත්ත්වයන් ඇතිකරයි. ලෝකයේ දියුණුව ඇති වෙද්දී මෙවන් කරුණු අනාවරණය වන අතර, එවන් අනතුරු මඟහැර පරිසර හිතකාමී නිෂ්පාදන වෙත පියනැඟීමද අත්‍යවශ්‍ය කරුණක්‌ වේ.

එනමුත් එය රාජ්‍ය ප්‍රතිපත්තියක්‌ වීම අත්‍යාවශ්‍යය. මීට ඉහතදී දෙපහර (ටූ ස්‌ට්‍රොඅක්‌) ත්‍රිරෝද රථ මගින් සිදුකෙරෙන පරිසර දූෂණය සලකා 2015 වසර වනවිට භාවිතයේ තහනමට හා අමතර කොටස්‌ ආනයනය තහනමට කටයුතු යෙදූවද, එය දේශපාලන හේතූන්මත එය තවමත් ක්‍රියාවට නැගී නැත. අනතුර දැන දැනද භාවිතයට ගැනේ. ඇස්‌බැස්‌ටස්‌ තීන්දුවද එසේ නොවිය යුතුය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඖෂධ මාෆියාව, දුම්කොළ (සිගරැට්‌) මාෆියාවට එරෙහිව ක්‍රියාකළා සේ ඇස්‌බැස්‌ටස්‌ තීන්දුවද නිවැරැදිව ක්‍රියාත්මක කරනු ඇතැයි විශ්වාස කළ හැකිය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: