දෙවරක් උපත ලැබූ සිඟිත්තාගේ අරුම පුදුම කථාව. (PHOTO)

මෙසි හෝප් දෙවරක් මෙලොව එළිය දුටු සිඟිත්තෙක් යැයි කිවහොත් ඔබ අතිශයින් පුදුමයට පත්වනු නොඅනුමානය. වෛද්‍යමය හාස්කමක් ලෙස ලෙස හැඳින්විය හැකි මෙම සිදුවීම ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ ළමා රෝහලෙන් වාර්තා විය.

චැඩ් හා කේරී මැකාර්ටනි යුවළ ඔවුන්ගේ කුළුඳුල් දරුවාගේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් සඳහා ටෙක්සාස් ළමා රෝහලට පැමිණියේය. ඒ වනවිට කේරිගේ කුස තුළ සිටින දරුවාට මාස හයක් පමණ ගෙවී තිබිණ. ස්කෑන් පරීක්ෂණයේදී හෙළි වූයේ අතිශයින් අදහා ගත නොහැකි තොරතුරකි. කේරිගේ ගර්භාෂයේ කලලයට අමතරව දැවැන්ත ගෙඩියක් පවතින බවත් දරුවා සමඟ එම ගෙඩිය ද කේරිගේ සිරුරෙන් ලැබෙන පෝෂණය අනුව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් හෙළිවිය. තවදුරටත් ඒ ගෙඩියට ඉඩ දුනහොත් දරුවා ගර්භාෂය තුළ මරණයට පත්වීම නිසැක ලෙසම සිදුවන බව රෝහලේ වෛද්‍ය විශේෂඥයින් පැවසූ අතර වහාම ශල්‍යකර්මයකට භාජනය කොට එම ගෙඩිය ගර්භාෂයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කරන ලදී.

ටෙක්සාස් ළමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් හමුවේ පැවතුණේ ඉතාම දරුණු අභියෝගයකි. ගෙඩිය ඉවත් කළ යුතුය, එසේම දරුවා සහ මවද බේරා ගත යුතුය. මේ ඔවුන්ට පැවරී තිබූ වගකීමයි. එය ඉතාම සියුම් ලෙස සිදු කළ යුතු ශල්‍යකර්මයක් විය.

කේරි මැකාර්ටනි පරීක්ෂා කළ ප්‍රසව වෛද්‍යවරයා වන ඩැරල් කැස් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයෙන් ඇයගේ ගර්භාෂය තුළ දුටු ගෙඩිය මින් පෙර කිසිදිනක දැක නොමැති දෙයක් විය. ඔහු පැවසූ අන්දමට එය “සිදරම් ගෙඩියක් පමණ විශාල” එකකි. ඔහු පවසන අන්දමට මෙබඳු අසාමාන්‍ය තත්ත්වයන් 40000කින් එකක් ලෙස දැකිය හැකි වන්නේය. දරු කලලය අසල තිබූ ගෙඩිය සීඝ්‍රලෙස වර්ධනය වීම නිසා වහාම ශල්‍යකර්මයක් සිදු කිරීම අත්‍යවශ්‍ය විය.

ශල්‍ය වෛද්‍යවරුන් මුලින්ම කළේ කේරි අසාමාන්‍ය ලෙස නිර්වින්දනයට භාජනය කිරීමය. එය සාමාන්‍ය ශල්‍යකර්මයකදී සිදු කරනවාට වඩා හත් ගුණයකින් බලවත් එකක් විය. එය ඉතාම ගැඹුරු නින්දකට යැවීමක් ලෙස හැදින්වේ.

කැන් වෛද්‍යවරයා සහ තවත් ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් මුලින්ම සිදු කළේ කේරි ගේ ආමාශ ප්‍රදේශය විවෘත කොට ඇයගේ ගර්භාෂය සිරුරෙන් ඉවත් කිරීමයි. “මෙය ඉතාම සියුම් ලෙස කළ යුත්තේ වැදෑමහ තුළ ගැටලුවක් නොවන විදියටයි” යනුවෙන් කැන් වෛද්‍යවරයා පැවසීය.

ඉන්පසුව කේරිගේ ගර්භාෂය පරීක්ෂා කොට එය විවෘත කළ යුතු සුදුසුම ස්ථානය සොයා එය විවෘත කොට වහාම වැදෑමහ තුළ සිටින දරු කලලය එතැනින් මඳකට එළියට ගෙන ගෙඩිය වහාම කපා ඉවත් කරන ලදී.

එම ශල්‍යකර්මය ක්ෂණයකින් කළ යුතුව තිබිණ. එයට හේතුව කලලය වාතයට විවෘත වුවහොත් දරුවා ගේ හෘදයවස්තුව නැවතී මරණයට පත් වීමට ඉඩකඩ තිබෙන බැවිනි.

වහාම ගෙඩිය ඉවත් කළාට පසු ශල්‍ය වෛද්‍යවරුන් මේසි හෝප් නැවත ඇයගේ මවගේ ගර්භාෂය තුළ නිරුපද්‍රිතව තැන්පත් කිරීමට ක්‍රියා කළහ. මේ සඳහා ඔවුනට මිනිත්තු 20 ක පමණ කාලයක් ගත විය. ඉන් පසුව කේරිගේ ගර්භාෂය වහාම වසා දැමුවේ දරු කලලය පාවෙමින් තිබෙන ඇමිනියෝටික් ද්‍රාවනය කාන්දු වීම වැළැක්වීමටය.

මේසි හෝප් ගේ මුල් මෙලොව එළිය දැක්ම සිදු වූයේ මේ අයුරිනි.

“ශල්‍යකර්මයෙන් පස්සේ අපට තිබූ තවත් ප්‍රශ්නයක් වුණේ කේරිගේ ගර්භණීභාවය මුලින් පැවති අන්දමට පැවතීම සහ එය වර්ධනය වීම මුලින් සිදු වූ අයුරින්ම සිදු වන්නේ ද යන්න පරීක්ෂා කිරීමයි.” කැස් වෛද්‍යවරයා පැවසීය.

කේරිගේ ගර්භණී තත්ත්වය තවත් සති 10 ක් කිසිදු බාධාවක් හෝ උපද්‍රවයක් නැතිව වර්ධනය වූ අතර 2008 මැයි 3 වැනිදා මේසි හෝප් සිඟිත්තිය දෙවැනි වරට මෙලොව එළිය දුටුවාය.

සති දෙක තුනක් රෝහලේ නැවතී ප්‍රකෘති තත්ත්වයට ආ පසුව කේරි සහ චැඩ් තමාගේ අලුත උපන් දරු සිඟිත්තිය තුරුළු කරගෙන නිවසට පැමිණියේ ඉතාමත් සතුටිනි.

මෙසි හෝප් සිඟිත්තිය වෛද්‍ය ක්ෂේත්‍රයේ අතිශය දුර්ලභ ගණයේ හාස්කමකින් දෙවරක් උපන් කෙනෙකු ලෙස දැක්වේ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: