තමන් නඩුව අහනවාට අකමැතිදැයි මහාධිකරණ විනිසුරු බැසිල්ගෙන් අහයි..!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට ලබන 15 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක් වැය කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් මුද්‍රණය කර බෙදාහැරීම ඇතුළු චෝදනා 05ක් යටතේ මහාධිකරණය හමුවේ ඔවුන්ට එරෙහිව නඩුව පවරා තිබුණි.

එහි සාක්ෂි විභාගය අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණ ද ප්‍රධාන විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ අදාළ නඩුව විභාගයට නොගෙන වෙනත් අධිකරණයක් වෙත භාරකරන ලෙස සිය සේවාදායකයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් විභාගයක් පවත්වා නියෝගයක් ලබා දෙන තෙක් අද දිනට අදාළ නඩු විභාගය කල්තබන ලෙස ඔහු මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ අධීනීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ අදාළ නඩු විභාගය දිනෙන් දින කල්දැමීමේ අරමුණින් විත්තිකරු එම ඉල්ලීම සිදු කරන බවයි.

ඒ අනුව විත්තියේ ඉල්ලීම සම්බන්ධයෙන් වූ නියෝගය ලබන 15 වනදා නිකුත් කරන අතර විත්තිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

එහිදී විනිසුරුවරයා බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයාගෙන් විමසා ඇත්තේ තමා ඉදිරියේ අදාළ නඩුව විභාගයට ගැනීම වලක්වාලමින් ඉහළ අධිකරණයක් මඟින් අතුරුතහනම් නියෝගයක් සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදු කර ඇද්ද යන්නයි.

කෙසේවෙතත් නීතිඥවරයා ප්‍රකාශ කර සිටියේ එවැනි ඉල්ලීමක් සිදු කර නොමැති බවයි.

 

අද දෙරණ

Facebook Comments

more recommended stories

%d bloggers like this: