“මගේ දුව කාමරේ ඇතුළේ හිරකාරියක් වගේ තනිකරලා” – තවත් සංවේදී කතාවක්.

ලෝකය දකින්නට අපට උරුම වූ ඇස් දෙකට තියෙන්නෙ අපරිමිත වටිනාකමක්. දෙනෙත් නොමැතිව ලෝකයට ඉපදුනාටත් වඩා එළිය අඳර කියන්නෙ මොකක්ද කියලා දැනගෙන ඒ ඇස් දෙක නැති වුනොත් දැනෙන්නෙ පුදුම අසරණ කමක්. ඒ වගේ සංවේදී පුවතක් අද මුද්‍රිත මාධ්‍ය වාර්ථා කරලා තිබුණා. සංවේදි හදවතක් තියෙන හැම කෙනෙක්ගෙම අවධානය මේ ගැන යොමුවෙන්න ඕන නිසා තමයි මේ කතාව අපි ඔබට කියන්න හිතුවෙ.

දෙනෙත් නොපෙනෙන එම තරුණිය බොහොම ප්‍රියජනක පෙනුමක් තියෙන කෙනෙක්. ඒ වගේම ඉතාමත් පිරිසුදුවට අඳින පලඳින කෙනෙක්. පිදුරුතලාගල කඳුවැටිය පාමුල “ලවර්ස්ලීප්” දිය ඇල්ලේ ජල කඳ පහළට ඇද හැලෙන විට නැඟෙන විලාපය ඇහෙන දුරින් තමයි මේ දුක්බර කතා පුවතත් සිදුවන්නේ. ඒ දිය ඇල්ල සැරෙන් සැරේට මහා හයියෙන් හඬා වැටෙන අතරේ කාමරයක් ඇතුළේ උදේ ඉඳන් හවස් වෙනකල් හිරකාරියක් වගේ තට්ට තනියම ඉන්න සිදුවී ඇති ඇයට දැන් ඒක ගාණක් නෑ. ඇය දන්නවා ඇයගේ ආදරණීය අම්මා කොයි මොහොතක හරි දොරේ ඉබ්බා ඇරගෙන වැලහින්නක් වගේ තමන් හොයාගෙන එන බව. දවස ගාණේ සිද්ධ වෙන්නේ ඒ ටිකයි.

අම්මා ඉන්න වෙලාවට විතරයි ඒ ගෙදර ඉස්සරහ දොර ඇරලා තියෙන්නේ. ගෙයක් කිව්වාට එය පවුල් තුන හතරක් හතර පැත්තෙන් කාමර වෙන් කරගෙන පදිංචි වෙලා ඉන්න ගෙදරක එක කාමරයක්, සාලයක් සහ කුස්සියක් සහිත කොටසක්. ඒකෙන් මිදුල් පොඩ්ඩට බැහැලා තමයි කුරුල්ලෝ සින්දු කියන හඬට කන්දීගෙන ඉන්නේ. ගස් වැල් පිරි කඳුවැටි සිපගෙන එන සීතල සුළං රැලි මුහුණට වදිනකොට ඒ ගැන ආශාවෙන් වෙන්න ඇති ඇය හිස දෙපසට සලමින් ලස්සනට හිනා වෙන්නේ.

මොකද අද වන විට එම දේවල් මනසින් මවාගන්න සිදුවී තිබුණද ඒ සියල්ල ඇය සැබැවින්ම දැකපු කාලයක් තිබුණා. ඒ කියන්නේ මෙයට අවුරුදු විසි අටකට විතර ඉස්සර, දැන් මම කියන්නම් මෙහෙම මේ කතා කරන්න යන්නේ අවුරුදු 36ක් වයස තරුණියක් ගැන. ඇය කේ.වී. තුෂාරි ලසන්ති වික්‍රමසිංහ. අවුරුදු 36ක් කිව්වත් ඇයගෙන් දක්නට ලැබුණේ ඉතා ළාබාල තරුණියකගේ පෙනුමක්.

මෙම දෙනෙත් නොපෙනීම තුෂාරි උපතින්ම ගෙනාව දෙයක් නෙමෙයි. අවුරුදු 8ක් විතර වයස වෙනකල් කුඩා තුෂාරිට හොඳට ඇස් පෙනීම තිබුණා. හැබැයි ඇස් දෙකේම ලොකු වපරයක් තිබුණා. බොහොම පැහැදිලිවම පෙනෙන මේ වපරය කෙලිපොඩ්ඩ ළමිස්සියක් වෙච්ච දවසට ඇගේ ජීවිතයට බලපානු ඇතැයි අම්මගේ තාත්තගේ සිත් තුළත් ඇති කළේ පොඩි සාංකාවක්.

ඒ නිසාම කළ හැකි දෙයක් තිබේ දැයි බලන්න මහනුවර මහ රෝහලේ වෛද්‍යවරයකුට පෙන්නුවා. ඔහු කියා තිබුණේ මෙම වපරයේ හැටියට සමහර විට ලොකු වෙනකොට ඇස් නොපෙනෙන්නත් පුළුවන් ඒ හින්දා සැත්කමක් කරලා වපරය ඉවත් කරමු කියන එක. ඒ අනුව දහසක් බලාපොරොත්තු ඇතිව සැත්කම කෙරුවා. එහෙත් මාස කිහිපයක් යනකොට ක්‍රමයෙන් එක ඇහැක් පෙනෙන්නේ නැතිව ගියා. ‍දොස්තර මහත්තයාට පෙන්නලා ගිහින් කිව්වා. ඒත් වැඩක් වුණේ නැහැ. තවත් අවුරුද්දක් විතර යනකොට අනෙක් ඇහැත් පෙනෙන්නේ නැතිව ගියා.
දැන් දරුවාගේ ඇස් දෙකම පෙනෙන්නේ නැහැ. පාසල් ගමන මේ සේරම දේවල් නතර වුණා. ඉස්පිරිතාල ගාණේ වගේම සැත්කම කරපු ‍දොස්තර මහත්තයා ළඟට කිහිප සැරයක්ම අරගෙන ගියත් සනීප කරන්න බැරි වුණා කියලා තමයි මේ දරුවාගේ මව වන ඩී.ඩී. සිරියාවතී මහත්මිය පවසන්නේ.

ඒ මෙයට අවුරුදු විසි අටකට විතර ඉස්සර වෙච්ච දෙයක්. එහෙත් අදටත් වෛද්‍යවරුන් වෙත පෙන්නුවාම පවසන්නේ මේ දරුවට සැත්කමක් කරලා පෙනීම ආයෙත් ලබා ගන්න පුළුවන් කියන කතාව බව තමයි මව වන සිරියාවතී මහත්මිය හිස් අහස දෙස බලාගෙන කියන්නේ.

ඒ කිව්වට අපට කොහෙන්ද සල්ලි. මේ දරුවගේ තාත්තා මීට අවුරුදු 25කට විතර ඉස්සර වෙලා මියගියා. ඒ කාලේ අපි පදිංචිවෙලා හිටියේ එදිරිසිංහ මාවතේ තිබුණු රජයේ ගොඩනැඟිල්ලේ කාමරයක. ඒක අලුත්වැඩියා කරන කොට අපිට එළියට යන්න වුණා.

ඊට පස්සේ තැන් තැන්වල කුලියට හිටියා. මට මේ දුවට වැඩිමල් පිරිමි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයාලා කසාද බැඳලා කොළඹ පැත්තේ පදිංචි වෙලා ඉන්නේ. මොනවා හරි කරන පොඩි රස්සාවලින් හම්බෙන කීයක් හරි මටත් එවනවා. ඒකෙන් තමයි මම මේ දැන් ඉන්න තැනට මාසෙට රුපියල් අටදාහක කුලියක් ගෙවන්නේ.දරුවට කන්න බොන්න අඳින්න මම එළියට බැහැලා මොකක් හරි රස්සාවක් කරලා කීයක් හරි හොයාගෙන එන්න ඕන. මේ වගේ ඇහැට කනට පෙනෙන දරුවෙක් මට තනියම ගෙදර දාලා යන්න බයයි. එයාගේ තනියට නතර කරලා යන්න අපිට කාත් කවුරුවත් නෑ.

ඒ හින්දා මම කරන්නේ ගෙදරින් පිටට යනවා නම් දරුවාට ඇතුළේ ඉන්න කියලා ඉස්සරහ ‍ෙදාර ඉබ්බා දාලා වහලා යනවා. දරුවා හිරේ දාලා යනවා වගේ තමයි. සමහර වෙලාවට මම උදේ ගෙදරින් ගියාම හවසට එන්නේ. එතකල් දරුවා හිර අඩස්සියේ ඉන්නවා වගේ.මොනවා කරන්නද මට මගේ දරුවව පරිස්සම් කරගන්න ඕන.

මෙයා බේ්‍රල් ක්‍රමයට සාමාන්‍ය පෙළ ලියන්න සූදානම් වෙන කාලේ තද බල හිසේ අමාරුවක් ඇතිවෙලා ඉගෙනීමත් කඩාකප්පල් වුණා.

මෙයා දෘශ්‍යාබාධිත සංගමයට බැඳිලා ඉන්නේ. ඒකෙන් ලක්‍ෂ දෙක හමාරක මුදලක් දෙනවා මෙහෙම අයට ගෙයක් හදාගන්න. හැබැයි අපිට ඉඩමක් තියෙන්න ඕන.එහෙම ඉඩම් කැබැල්ලක් නැති මම පර්චස් පහක් ඉල්ලගෙන කොයි තරම් දේශපාලකයෝ පස්සේ ගියාද මගේ දුව කාමරේ ඇතුළේ හිරකාරියක් වගේ තනිකරලා ගිහින්. මම හදවතින් අඬ අඬා කොච්චර ඡන්ද වැඩ කෙරුවද?ඒත් ඉඩම් කැබැල්ලත් තියා අබ ඇටයක් තරම් දෙයක් අපිට දුන්නේ නැහැ. කැන්වසින් ගියාම දුන්නු බත් පැකට් එක හංගගෙන ඇවිත් දුවගේ කුසගිනි නිවපු එක විතරයි සිද්ධ වුණේ.”

සිරියාවතී මහත්මිය ඒ විදිහට කියනකොට තුෂාරි කිව්වේ “මම ආසයි අපේ සංගමයෙන් දෙන සල්ලි අරගෙන ගෙයක් හදාගෙන අම්මා එක්ක ඉන්න. ඒත් ඒ සල්ලි දෙන්නේ ඉඩමක් තියෙනවා නම් විතරයි. අනේ කාට හරි කියලා අපිට පොඩි ඉඩම් කෑල්ලක් හොයලා දෙන්න පුළුවන් වෙයිද පින් සිද්ද වෙනවා.”

“කවුද අම්මේ ඒ කතා කෙරුවේ. අපිට ඉඩමක් හම්බවෙයි නේද එහෙනම්.” ඒ අපි නිවෙසෙන් එළියට එන විට තුෂාරි පුංචි දරුවෙක් වගේ අම්මගේ කනට කරලා අහපු දෙය. අපිට මේ දරුවා වෙනුවෙන් යම් උපකාරයක් කරන්න හැකි නම් තුෂාරිගේ මව වන සිරියාවතී මහත්මියගේ  ‍මෙම දුරකතන අංකයට ( 0773101317 ) කතා කරන්න.

චන්ද්‍රසිරි මහගම

Facebook Comments

more recommended stories

%d bloggers like this: