ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයට රැගෙන ගිය චමරි අතපත්තු කතා කරයි..!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය ටිකෙන් ටික ක්‍රිකට් රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනා සමයකි. කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය රසිකයන් අතර ජනප්‍රියත්වයට පත් කරවීමට ඇයගෙන් සිදු වූයේද අමිල සේවයකි.

චමරි පසුගිය දා එංගලන්තයේ ‘කියා සුපර් ලීග්’ තරගාවලියේ යෝක්ෂයර් ඩයමන්ඩ්ස් පිලට ක්‍රීඩා කිරීමේ වරම් ලැබුවාය. එමෙන්ම දැන් ඇයට ඔස්ට්‍රේලියාවේ බිග් බැෂ් ලීග් තරගාවලියේදී මෙල්බෝන් රෙනෙගේට්ස් පිලට ක්‍රීඩා කිරීමට ඇරයුම් ලැබි තිබේ. මෙම අවස්ථාවන් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩිකාව වන චමරි අතපත්තු  පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් ඒ පිළිබදව අදහස් දක්වා තිබුනා.
එම සංවාදය පහතින් ,

 

ප්‍ර – ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට මෙල්බෝන් රෙනෙගේට්ස් පිල හා තරග කිරීමේ අවකාශ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙසට ඔබට ඇරයුම් ලැබිම ගැන මොකද හිතන්නේ?

පි – ඇත්තටම මම බලා‍පොරොත්තුවෙන් සිටි දෙයක්. මේ නිසා ලොකු සතුටක් දැනෙනවා. නිමාවූ ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් ලැබූ සුපිරි ඉනිමක් ක්‍රීඩා කරපු නිසා තමයි මේ අවස්ථාව ලැබුණේ. මම කියා සුපර්ලීග් තරගාවලිය වෙනුවෙන් එංගලන්තයේ ක්‍රීඩා කරන අතරෙදි තමයි දැන ගන්න ලැබුණේ මෙල්බෝන් රෙනෙගේට්ස් පිලට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනවයි කියා. මේ කණ්ඩායමෙන් පමණක් නොවෙයි තවත් කණ්ඩායම් දෙකකින් ඇරයුම් ලැබුණා බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට. ඒත් මුලින්ම ලැබුණ මෙල්බෝන් රෙනෙගේට්ස් ඇරයුම භාරගත්තා ගොඩක් සතුටින්.

 

ප්‍ර – ඔබ එංගලන්තයේ ‘කියා සුපර්ලීග්’ (Kia Super league) තරගාවලියටත් මුලින්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇරයුම් ලබපු ක්‍රීඩිකාව. එහිදී යෝක්ෂයර් ඩයමන්ඩ්ස් පිල නියෝජනය කළා. කොහොමද ඒ තරගාවලිය ගැන ඔබ හිතන්නේ?

පි – ඇත්තටම මට ගොඩක් ලොකු අත්දැකීම් සම්භාරයක් ලබාගැනීමට හැකිවුණා. ක්‍රීඩා කරපු තරග පහෙන් දෙකක් ජයග්‍රහණය ලැබුවා. එම තරග දෙකෙහිම දක්ෂතා දැක්වූවා විතරක් ‍නෙවෙයි එක් තරගයක දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වුණා. ඒ නිසා අත්දැකීම් ලැබුණා. මොකද ජාත්‍යන්තර මට්ටමේ ගොඩක් ක්‍රීඩිකාවන් එම තරගාවලියෙත් ක්‍රීඩා කළා. එම අත්දැකීම් මම හිතන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේදී මට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

 

ප්‍ර – ඔබ නිමාවූ  ක්‍රිකට් සම්මාන උළෙ‍ලේ සම්මාන පහක් ලබා වැඩිම සම්මානලාභියා බවට පත්වුණා. මොකද මේ ගැන හිතන්නේ?

පි – මම දේශීය තරගාවලියේ විස්ස-20 දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව, ප්‍රිමියර් තරගාවලියේදීත් දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව වුණා. ජාත්‍යන්තර අංශයේ විස්ස-20 සහ එක්දින හොඳම පිතිකාරිනියට හිමි සම්මාන ලැබුවා. වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි ඉහළම සම්මානය ලැබිමටත් මට හැකියාව ලැබුණා. මේ ගැන සතුටුයි. මම ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් කණ්ඩායමට. ඉතින් සම්මාන දිනනවා වගේම රට වෙනුවෙන් තවත් ඉදිරියට යන්න තමයි කැමති. ඒ නිසා ඉදිරියේදී කණ්ඩායමක් ලෙස දක්ෂතා අතරට යෑමට හැකි නම් එයයි උපරිම සතුට.

 

ප්‍ර – මෙවර ඔබ ක්‍රීඩා කරන රෙනෙගේට්ස් පි‍ලේ කවුද දක්ෂ ක්‍රීඩිකාවන් සිටින්නේ?

පි – ඔස්ට්‍රේලියානු ජාතික පි‍ලේ ක්‍රීඩිකාවන් වගේම ඔවුන්ගේ සංවර්ධිත පි‍ලේ යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් මෙම කණ්ඩායමේ සිටිනවා. ඒ වගේම නවසීලන්ත පි‍ලේ දක්ෂ වේගපන්දු යවන්නිය ලියා තාහුහු සමගින් දක්ෂ පිතිකාරිනියක් වන රැචල් පීර්ස්ට් රෙනෙගේට්ස් පි‍ලේ ක්‍රීඩා කරනවා. මේව ගේ දක්ෂ, පළපුරුදු ක්‍රීඩිකාවන් හා පුහුණු වෙමින් ක්‍රීඩා කිරීම මගේ අරමුණ. විශේෂයෙන් රෙනෙගේට්ස් පිල තවමත් අවසන් පූර්ව වටයට ඇවිත් නැහැ. මම ආසයි මගේ දක්ෂතා සමග එම තත්ත්වය ගෙනඒමට. එංගලන්තයේදිත් මම යෝක්ෂයර් පිල මුල් ස්ථාන හතර අතරට ගෙනඒමට උදව් වුණා.

ප්‍ර – ඔබට එංගලන්තයේ වගේම දැන් ඔස්ට්‍රේලියාවේ ලීග් තරගාවලි සඳහා ඇරයුම් ලැබෙන්නේ ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කරපු සුපිරි ඉනිම නිසා. ඒ ගැන නැවතත් මතක් කළොත්?

පි – මට හිතෙන්නේ එම සුපිරි ඉනිම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කියා. ලෝක කුසලානයේ එම ඉනිමෙන් තමයි මා ගැන කතා කළේ. ඒත් ඊට පෙර ඕවර විස්ස-20 ලෝක කුසලානයේදිත් දකුණු අප්‍රිකාවට එරෙහිව හොඳින් ඉනිමක් ක්‍රීඩා කළා. ඇත්තටම ලෝක කුසලාන තරගවල මගේ දක්ෂතා මතුවුණා. ඇත්තටම අපේ කාන්තා ක්‍රිකට් තරග රූපවාහිනියේ සජීවීව විකාශය වන්නේ නැහැ. එහෙම වුණා නම් තමයි අපි දැන ගන්නේ. ඒ නිසා ලෝක කුසලාන තරග රූපවාහිනියේ දකින නිසා ඒ ගැන තමයි වැඩිය කතා කරන්නේ.

 

ප්‍ර – ඔබ හිටපු ශ්‍රී ලංකා නායිකාව. මෙම නායකත්වයෙන් ඉවත්වීම ඔබට පීඩනය බැහැරවීමක්ද ක්‍රීඩා කිරීමේදී?

පි – මම පසුගිය කාලය පුරාවට හොඳින් ක්‍රීඩා කළා. නායිකාව වෙලා ඉඳගෙනත් දක්ෂතා දැක්වූවා. ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එක පිතිකාරිය වුණෙත් නායිකාව වී සිටින විට. ක්‍රීඩිකාවක් ලෙසත් නායිකාව ලෙසත් මගේ දක්ෂතා එකසේ හොඳින් ක්‍රීඩා කළා. ඒත් මම නායකත්වයෙන් ඉවත් කළා කියා දක්ෂතාවයේ වෙනසක් නැහැ. ඉන්න නායිකාවට උදව් දෙමින් ක්‍රීඩා කරනවා. ‍පොඩි පීඩනයක් නායිකාව විටදී තිබුණත් ඒවා තරගයකදී මම කොහොම හරි පාලනය කරමින් ක්‍රීඩා කළා.

 

ප්‍ර – අද ඔබ දක්ෂතා අතින් ඉහළ සිටියත් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා පිල ඉහළ දක්ෂතා අතර නැතිවීම ගැන ඔබ මොකද කියන්නේ?

පි – ක්‍රිකට් කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක්. ඒ නිසා තරගයක් ජය ගැනීමට පෞද්ගලිකව හැම දෙනාම දක්ෂතා අතරට ඒම අවශ්‍යයි. අඩු ගානේ ක්‍රීඩිකාවන් 11න් හත්දෙනකු වත් පන්දු යැවීම, පන්දු රැකීම, පිතිකරණයෙන් දක්ෂතා අතරට ඒම සිදුවිය යුතුයි. මේකයි විය යුත්තේ. ඒත් ශ්‍රී ලංකා පි‍ලේ අපේ ගැටලුවත් මේක. බැටින් තමයි අපි තවත් දියුණු කරගත යුත්තේ. දිගුකාලයක් තිස්සේ තිබෙන ගැටලුව නිරාකරණය කිරීමට අප සමත් විය යුතුයි.

 

ප්‍ර – ඔබ තමයි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ලෙසට ප්‍රථම වරට එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ ලීග් තරගාවලි සඳහා වරම් ලැබුවේ. මෙම තත්ත්වය අනිත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලැබේ නම් මොකද හිතන්නේ?

පි – මම කැමතියි අනෙක් අයටත් මෙම අවස්ථාවන් ලැබේ නම්. ඒත් මෙම තත්ත්වය නිකම් සිට ලබාගැනීමට බැහැ. අපිට බල කරන්න බැහැ මේ තත්ත්වය දෙන්න. ඒ සඳහා දක්ෂතා දක්වා පෙන්විය යුතුයි. ඉදිරියේදී මේ තත්ත්වය ලබාගැනීමට අපේ ක්‍රීඩිකාවන්ටත් දක්ෂතා පෙන්වා හැකියාව ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා.

 

ප්‍ර – මේ ආපු ක්‍රිකට් ගමනේ ඔබ කාටද ස්තුති කරන්නේ?

පි – මගේ අම්මා, ඒ වගේම ජීවතුන් අතර නැති මගේ අප්පච්චිට ගොඩක් ස්තුති කළ යුතුයි. මගේ අප්පච්චි එදා ලොකු සහයෝගයක් ලබාදුන්නා. මගේ ක්‍රිකට් දිවිය ඔප්නංවා ගැනීමේදී. එදා සිට අද දක්වා සියලු පුහුණුකරුවන්ට කෘතවේදී විය යුතුයි. විශේෂයෙන්ම හර්ෂ ද සිල්වා, ජීවන්ත කුලතුංග හිටපු ජාතික පුහුණුකරුවන්ට. වත්මන් පුහුණුකරු හේමන්ත දේවප්‍රියට. මගේ පාසල් පුහුණුකරු ජානක විජේතුංග සහ මගේ පෞද්ගලික පුහුණුකරු ලෙස දක්ෂතා ගොඩනැංවීමට උරදුන් වසන්ත කුමාර ඇතුළු සියල්ලන්ටම.

Facebook Comments

more recommended stories

%d bloggers like this: