ගව ඝාතකයකුගේ පිළිකුල් මරණය සිදුවුන හැටි මෙන්න..!

ජීවිතය යහමගට ගැනිමට නිවැරදි මඟ පෙන්වීමෙක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

පූජනීය නගරයට නුදුරු ස්ථානයක පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයකි. මෙහි දිනපතා ගවයන් දහයක් හෝ පහළොවක් පමණ ඝාතනය කර​ මෙම මස්, රථ මඟින් අගනුවරට ප්‍රවාහනය කෙරේ. මෙහි ඝාතකාගාරය සඳහා නීත්‍යානුකූලව බලපත්‍රයක්ද ලබා ගෙන ඇත.

මි ගවයන් මැරීම නීතියෙන් තහනම් කර තිබූ අතර මෙම ස්ථානයේ මි ගවයන් මෙන්ම ප්‍රදේශයේ ගව පට්ටි හිමියන් ගෙන් සොරාගන්නා ලබන ගවයන්ද විටින්විට මස් පිණිස ඝාතනය කරනු ලැබේ. මෙම ඝාතකාගාරයට නුදුරින් විශාල අනාරක්ෂිත ළිඳක්ද වේ. ඝාතනය කරනු ලබන ගවයන් ගේ රුධිරය වෙනත් අපද්‍රව්‍ය ගවඝාතකාගාරය ජලයෙන් සෝදා හැරීමෙන් පසු බැසයන ජලය, මෙම ළිඳ දක්වා බැසයෑම සඳහා සාදන ලද කාණුවක්ද ක්‍රමානුකූලව සාදා නිමකර ඇත. දිනක් මෙම ස්ථානයේ මස් පිණිස මී ගවයන් ඝාතනය කරන බවට ඔත්තුකරුවකු විසින් පොලිසියට දැනුම් ​ෙදනු ලැබීය. මෙම ඔත්තුව අනුව සූදානම් වූ පොලිසිය නිලධාරී කණ්ඩායමක් රාත්‍රියේ ඝාතකාගාරය වැටලූහ. මේ කිසිවක් නොදත් ඝාතකයින් පිරිස ගවයන් මස් පිණිස සකස් කරමින් සිටි අතර විදුලි පන්දම් දැල්වූ පොලිස් නිලධාරීහු අප පොලිසියෙන්. කිසිවෙකු දුවන්නට එපා යැයි අණ කළහ. අනපේක්ෂිතව සිදුවූ දෙයින් තැතිගත් සියල්ලෝම අඳුරේ හිස්ලූලූ අත දිවයමින් සැඟවෙන්නට වූහ.අත්අඩංගුවට ගැනිමට කිසිවකු නොවූවත් පොලිස් නිලධාරීන්ට දැකගත හැකිවූයේ ඝාතනය කරන ලද ගවයන්ගේ මස් හා ඝාතනය කිරීම සඳහා සූදානම්කර සිටි ගවයන් පමණි.

මේ අතර තම ගවඝාතකාගාරය පොලිසිය වටලා ඇති බවට ආරංච්ය ඝාතකාගාරය අයිතිකරුට දැනගන්නට ලැබී රාත්‍රියේම මෙම ස්ථානයට පැමිණි අතර පොලිස් නිලධාරින්ට පරීක්ෂණයට පහසුවක්ද විය. අයිතිකරු පැමිණීමෙන් පසු ඔහු තම සේවකයන් පිළිබඳ සොයා බැලීමෙන් ඔවුන් කිසිවෙකු නොවූයෙන් පොලිස් නිලධාරීන් පවසා සිටියේ සේවකයන් සියලු දෙනාම අඳුරේම දිවගිය බවය.

මෙහිදී අයිතිකරු නොබියව පැමිණෙන ලෙස සියලු සේවකයන්ට හඬගා පැවසීය. තම හාම්පුතුගේ ඇමතීම අනුව අඳුරේ පලාගොස් සැඟවී සිටි සේවකයන් එකා දෙන්නා සැක සංකා හැර පැමිණෙන්ට වූහ. අවසානයේ සේවකයන් සියල්ලෝම පැමිණියේ දැයි විමසා බැලීමේදී එක සේවකයකු පැමිණ නැති බව වැටහිණ.ඔහුගේ නම කියමින් සියල්ලෝම අවට පරීක්ෂා කර බැලූවද කිසිම හෝඩුවාවක් දැක ගැනීමට නොවීය.

මේ වනවිට අලුයම කාලය එළිඹී තිබූ අතර මෙම සිද්ධිය ගම පුරාම ප්‍රචලිතව අසල්වැසි ජනයාගෙන්ද ස්ථානය පිරි පැවතිණ. අතුරුදහන් පුද්ගලයා ගැන සොයා බලා බිදුණු බලාපොරොත්තු සහගතව සිටි අයගේ සැකය සහ අවධානය අවසාන වශයෙන් යොමු වූයේ අසල පිහිටා ඇති ළිඳ වෙතය.අසල නිවසකින් දිග රිටක් සොයා ගෙන පැමිණියෙකු විසින් සැමගේ උදවු ඇතිව රිට ළිඳට දමා පරීක්ෂා කරන ලදී. ගවයන්ගේ රුධිරය හා අපද්‍රව්‍ය අඩි දෙකකට පමණ ඝණ තට්ටුවක් මතුපිට මිදී තිබිම නිසා කාර්යය එතරම් පහසු නොවීය. කෙසේ හෝ සැමගේ උත්සාහය ප්‍රතිඵල ලබමින් මියගිය ඝාතකයාගේ නිසල සිරුර මතු පිටට ගන්නා ලදී.

පොලිස් නිලධාරීන් පැමිණීමේදී සැඟවීම සඳහා අඳුරේ දිවයෑමේදී අනාරක්ෂිත වූ ළිඳට වැටීමෙන් ගව ඝාතකයාගේ අවසානය සලකුණු විය. සිය දහසක් ගවයන්ගේ ගෙල සිඳ දැමූ ඝාතකයෙකු වන මොහුගේ සිරුර ගවයන්ගේ මල, මුත්‍රා සහ රුධිරය රැඳි අප්‍රසන්න නරකාදි වළෙන් ගොඩගනිද්දී සිරුර පුරා දිවයන පණුවන්ගෙන්ද පිරී පැවතිණ.ගවයන් ඝාතනය කිරීමෙන් පසු ඝාතකාගාරය සෝදා පවිත්‍රකරනු ලබන ජලකරාමය මෙම ඝාතකයාගේ සිරුර සෝදා පවිත්‍ර කිරීමට අවසානයේ පිහිට විය.

අකුරැස්ස පහළ මලිදුව විතානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.
බලතල ඇති කල කළ කී දෑ ගැන පසුතැවී දිවි ගමන නිමා කළ මිත්‍ර​ෙප්‍ම මහතා.

මිත්‍රපේම මහතා මීට කලකට පෙර ප්‍රදේශයක් බාරව රජයේ ඉහළ නනතුරක් දැරූ නිලධාරි මහතෙකි. ඔහු යටතේ ප්‍රදේශය පුරා ආයතන රාශීයක් පැවති අතර ඒවායේ දහසකට අධික නිලධාරී පිරිසක් සේවය කළහ. ඒ සියලුම දෙනාගේම ප්‍රධානියා වූයේ මිත්‍රපේම මහතාය. ඒ සියලු දෙනාගේ පත්කිරීම්, මාරු කිරීම්, දුක් ගැනවිලි සොයා බැලීම ආදී සියලු කටයුතු බාරව තිබුණේ මිත්‍ර​ෙප්‍ර්ම මහතාටය. ඔහු තම තනතුරෙන් මත්වී මහා උඩුගුකමකින් පසුවන්නට විය. ඒ හේතුව නිසාම මහා ගාම්භීර බව ආරූඪ කර ගනිමින් තනතුරේ ඌෂ්ණය ඇඟට ගනිමින් ඔහු යටතේ සේවයේ යෙදුණ පිරිස තලා පෙළමින් කටයුතු කරන්නට විය. මිනිස්කමක් ඔහු තුළ ගෑවිලාවත් තිබෙන බවත් නොවී්‍ය. තම තනතුරෙන් කොතරම් උඩඟු වී සිටියේද යත් ජීවිතයේ කිසිදාක වයසට යාමක් හෝ සේවයෙන් විශ්‍රාම යාමේ අවස්ථාවක් උදා නොවන්නේය යන ගාණටය.

තමා යටතේ ඇති ආයතනවල සේවක මහත්ම මහත්මීන් තම තමන්ට ඇති ගැටලු දුක් ගැනවිලි පැවසීමට දිනපතාම පාහේ ඔහු හමුවන්නට නගරයේ ඇති ඔහුගේ කාර්යාලයට යාම නිතරම පාහේ සිදුවිය. එහෙත් ලෙහෙසි පහසුවෙන් ඔහු හමුවීමට නොහැක. අමාරුවෙන් හෝ හමුවී බො​ෙහා් දුරකතර ගෙවාගෙන පැමිණ තම ගටලු ඉදිරිපත් කළත් ඒවාට ඔහුගෙන් සහනශීලී පිරිතුරක් හෝ අනුකම්පා සහගත බවක් පහළ නොවීය. මාරු වීමක් ඉල්ලූවිට මාරුවීම වෙනුවට හොඳ ලුණු ඇඹුල් ඇති වදන් පෙළක් අසා ගැනිම නම් අනිවාර්ය විය. ගැබිනි සේවිකාවක් තම අපහසුතාව පවසා පහසු තැනකට මාරුවීමක් ඉල්ලූවිට ඔහු තුළ සිටින සෑබෑ මිනිසා එළියට එන්නේ නිරායාසෙනි. මා​රුව වෙනුවට ඔහුගේ දෙපිට කැපෙන නොසරුප් වදන් අසා ගනිමින් ඔහුගේ පහත් ගතිය තේරුම් ගෙන බොහෝ දෙනාට ආපසු ඒමට සිදුවන්නේ හැඬූ කඳුළිනි. එහෙත් මිත්‍රපේම මහතා නම් ඒවායින් ලබන්නේ මහත් වූ වින්දනයකි.

මේ මා නොඉවසන සමහර සේවක මහත්වරුන් ඔහු හා එකට එක යන්නේ ඔහුගෙන් සිදුවිය හැකි අතවර ගැනද නොසිතමිනි. ඒ ඔහුගේ තාඩන පීඩන ඉවසා සිටින්නට බැරිම තැනය. එවන් අවස්ථාවලදී එසේ ඔහුට එරෙහි වන සේවක සේවිකාවනට නම් ඔහුගෙන් කිසිදු ගැලවීමක් නම් නොවීය. එවන් අයගෙන් ඔහු පන්න පන්නා පළිගන්නේ ජන වහරේ පැවතෙන අාකාරයට ​වෛර බැඳගත් නයෙකු මෙනි. මේ නිසාම සමහරු ඔහුගේ ඕනෑම අමන ක්‍රියාවක් ඉවසා සිටියේ ඔහුගෙන් වන හිරිහැර විඳීමට අකමැති නිසාමය. මෙසේ තම තනතුරේ අනුහසින් මත්වී මහා අාධිපත්‍යයක් ගොඩ නගාගෙන සිටියත් ඔහුට විශ්‍රාම යන වයස එළඹියේ ඔහුටත් නොදැනීය.

වයස අවුරුදු හැට ලබා සේවයෙන් විශ්‍රාම ගිය මිත්‍රපේම මහතාට එය කෙසේවත් දැරිය නොහැකි විය. සේවය කළ කාලයේ කළ කී දෑ නිසා ඔහුට කිසිවකුගේ සැලකිල්ලක් නොවීය. ඔහු එන්න එන්නම අවලංගු කාසියක් බවට පත්විය. මෙයින් මිත්‍රපේම මහතා දැඩි මානසික කඩා වැටීමකට ලක්වීම හේතුවෙන් වැඩි කල් නොගොස්ම අංශභාග රෝගියකු බවට පත්විය. විශ්‍රාම ගොස් කෙටි කාලයකින්ම ඔහුගේ ඉදිරි දිවිය ඇඳටම සීමාවිය. ඔහුට අත්වූ ඉරණම ගැන අසා ඔහු බැලීමට යන අයගෙන් බලතල අැති කල තමා කළ කී දෑ වලට සමාව ඉල්ලන්නේ කඳුළු සලමිනි. එයද එතරම් කාලයක් කිරීමට නොහැකිව ජීවිතය හැරගියේ සමාජයටම මහා විශාල පාඩමක් කියා දෙමිනි.

අතුරුගිරිය වික්‍රම සමරසිංහ මහතා ලියා එවූ කතාවක් මෙසේය.

සත්ව ඝාතනයේ පලවිපාක :
සිරිපාල දකුණේ ඈත එපිට ගමක විසු නොයෙක් පව් සහ අපචාර ක්‍රියාවල යෙදුණ නූගත් අයෙකි. ඒ නිසාම ඔහුට කවුරුත් “පව් සිරා” නමින් ඇමතූහ. ඔහුද එම නමට ඉතා කැමතිය. සතුන්ට වධහිංසා කිරිම සහ උගුල් අටවා සතුන් මැරිම වැනි කටයුතු ඔහුගේ විනෝදාංශයයි. නොයෙක් ක්‍රමවලින් දඩයම් කරන සතුන්ගේ මස්වලින් වැඩි කොටසක් විකුණා ඔහු මුදල්ද උපයා ගනි. මසුන් මැරීම සහ හොර මත්වතුර පෙරිමද ඔහුගේ තවත් කටයුතුය.

දඩ මස් සහ වෙල් මාළු කෑමටත් හොර කසිප්පු පානය කිරීමටත් ඒ ගමේ කැමැත්තෙන් සිටි පිරිස් ඔහුගේ හොඳ මිතුරෝය එම පව්කාර නීතිවිරෝධී වැඩවලට පව් සිරාට ඔවුන්ගෙන් ද ලද සහය විශාලය. බොහෝ දිනවලදී ගමේ ඇළට ගොස් මාළු අල්ලා ඉන් කෑමට අවශ්‍ය ටික රඳවා ගෙන ඉතිරි මාළු අලෙවි කිරිමද ඔහුගේ පුරුද්දකි. මාළුන් මැරීමේ පහසුව පිණිස දැලට හසුවන මාළුවන්ගේ ඔළුව කටේ දා හපා එම මාළුන් මැරිම ඔහුගේ තවත් සිරිතකි. එය මිනිසුන් ඉදිරියේ සිදු කළේ මහා විර ක්‍රියාවක් කරන ලෙසිනි.

දිනක් ඔහු ඇළට ගොස් දැල් ගසා මාළු ඇල්ලූ අතර දැලට අසුවූ කාවයියා නැමැති මාළුවෙකුගේ ඔළුවද ඔහුගේ කටින් හැපීය. එවලේම එම සතා දඟලිම නිසා ඔහුගේ මුඛයෙන් මාළුවා ලිස්සා ගොස් සිරිපාලගේ උගුර තුළ සිරවිය  ඔහුට දෙවියන් බුදුන් සිහි වූයේ එවිටය. ඒ මේ අත දඟලමින් බොහොම අමාරුවෙන් ඔහු කෑ ගැසුවේය. ඔහුගේ යහළුවෝ සහ ගම්මුන්ද එතනට එක්වූහ. එහෙත් කිසිවකුටත් කළ හැකි යමක් නොවීය. හුස්ම ගැනීමට නොහැකිව මර බියෙන් ඔහු අධික ලෙස දඟලන්නට විය. පිරිස ඔහුව රෝහලට ගෙන යාමට සූදානම් වුවද හුස්ම හිරවූ ඔහුගේ ප්‍රාණය මොහොතින් නිකුත්විය. එතනට එක්රොක් වූ කොයි කව්රුත් කීවේ ඔහු කළ නොයෙක් පව් මෙලොවදීම පල දුන් බවය.

සකස් කළේ
ප්‍රසන්න සංජිව තෙන්නකෝන්

more recommended stories