ජාතික හා ආර්ථික නිදහස පසක්‌ කරලීමට අඩිතාලම – “කන්නන්ගර චින්තනය”.

නිදහස්‌ අධ්‍යාපන ක්‍රමයක්‌ පිහිටුවීමෙහි ලා 1931 සිටම එවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා ගෙනගිය අරගලය, එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මෙන්ම ඉන් පිටත ද සිටි ප්‍රභූ පන්තියේ මෙන්ම, පුවත්පත් මාධ්‍යවලත් ගැරහීමට ලක්‌විය. ඩේලිනිවුස්‌ පත්තරයේ සිටි කාටුන් ශිල්පී කොලට්‌ගේ අපහාසයට එතුමා ලක්‌වූයේ මෝඩයෙක්‌ නිකමෙක්‌ (භසබජදපචදදච) යන නම පටබැඳීමෙනි. 1944 ජුනි 27 වැනිදා ඩේලිනිවුස්‌ පත්තරය කියා සිටියේ, එතුමා සිය බල ක්‍ෂේත්‍රය ඉක්‌මවා කටයුතු කිරීමට උත්සාහ දරන බවයි. යටත් විජිතවාදී පාලනයට දැඩි වාග් ප්‍රහාර එතුමාගෙන් එල්ල වීම ප්‍රභූ පන්තියේ විරෝධයට හේතු විය. එසේ වුව ද ජාතික රාජ්‍ය සභාවේ ප්‍රබලයකු ලෙස සිටි, ලංකා ජාතික සංගමයේ වාමාංශික නැඹුරුවක කන්නන්ගර මහතාට පූර්ණ සහයෝගය දුන් බව පෙනේ. නිදහස්‌ අධ්‍යාපන ක්‍රමයක අගයත් එය රජයේ වගකීමක්‌ විය යුතු බවත්, වෙනත් රටවලින් උදාහරණ ගෙනහැර පාමින් කතා කළ ජයවර්ධන මහතා, ඔහුගේම වචනවලින් කීවේ මෙසේය “කිසියම් රටක දියුණුවක්‌, ප්‍රගතියක්‌ ඇති වූයේ නම්, එසේ වූයේ රාජ්‍ය අධ්‍යාපනය තුළිනි. බොහෝ කලකට පෙර එනම්, 1906 දී, නවසීලන්තයේ, නිදහස්‌, රාජ්‍ය හා අනිවාර්ය අධ්‍යාපනයක්‌ තිබුණි. නූගත්කම සම්පූර්ණයෙන්ම තුරන් විය. කොතරම්දයත්, අද එහි නූගත්කම පිළිබඳ සංඛ්‍යා ලේඛන පවා පිළියෙළ නොකෙරේ”.

1945 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත කරන විට මේ රටේ තිබුණේ දේශපාලන පක්‌ෂ 4 කි. එනම්, ලංකා සමසමාජ පක්‌ෂය, ලංකා කොමියුනිස්‌ට්‌ පක්‌ෂය, බෝල්ෂෙවික්‌ ලෙනිස්‌ට්‌ පක්‌ෂය සහ කම්කරු පක්‌ෂයයි. සෝල්බරි ව්‍යවස්‌ථාව අනුව පක්‌ෂ ක්‍රමය මෙරටට හඳුන්වා දීමෙන් පසුව, මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා, එක්‌සත් ජාතික පක්‌ෂය පිහිටුවා ගන්නා ලද්දේ 1946. 09. 06 වැනි දිනය. ලංකා ජාතික සංගමයේ ඇතැම් කොටස්‌ හා එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ සිංහල මහ සභාව එක්‌ව, එක්‌සත් ජාතික පක්‌ෂය පිහිටුවා ගන්නා ලදී.

රාජ්‍ය භාෂාව හා ස්‌වභාෂා මාධ්‍යය

කන්නන්ගර මහතා උනන්දුව දැක්‌වූ තවත් කරුණක්‌ වූයේ, අධ්‍යාපනය හා පරිපාලනය සඳහා ස්‌වභාෂා (සිංහල සහ දෙමළ) යොදා ගැනීමයි. 1944 දී, ඡේ. ආර්. ජයවර්ධන මහතා ඉදිරිපත් කළ, සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාවේ කරුණු 04 ක්‌ අඩංගු විය.

1. සිංහල භාෂාව සියලු පාසල්වල උගැන්වීමේ මාධ්‍ය විය යුතුය.

2. සියලුම ප්‍රසිද්ධ විභාගවලදී සිංහල අනිවාර්ය කළ යුතුය.

3. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කටයුතු සිංහලෙන් කළ යුතුය.

4. වෙනත් භාෂාවලින් පළ වූ තෝරාගත් පොත්පත් සිංහලට පරිවර්තනය කිරීම සඳහා කොමිසමක්‌ පිහිටුවිය යුතුය.

1945. 06. 06 වැනි දින අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා, සංශෝධන සහිතව, සම්මත විය. ඒ අවධියේ විශ්වවිද්‍යාල කොලීජියේ සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව වූ 904 දෙනාගෙන් බෞද්ධයන් වූයේ 318 දෙනෙකි. හින්දූන් 193 දෙනෙකි. ක්‍රිස්‌තු භක්‌තිකයන් 364 දෙනෙකි. මුස්‌ලිම් 25 දෙනෙකි. වෙනත් අය 04 දෙනෙකි. අධිරාජ්‍යවාදීන්ගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ ක්‍රමය අනුව, වරප්‍රසාද ලැබී තිබුණේ බහුතරයට නොව සුළුතරයට බව මෙයින්ම පැහැදිලි වේ.

කන්නන්ගර මහතා යෝජනා කළ නිදහස්‌ අධ්‍යාපන ක්‍රමයේ අත්තිවාරම වූයේ, මිශ්‍ර පාසල් වූ මධ්‍ය විද්‍යාල ක්‍රමය හා ස්‌වභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමත්, 05 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ක්‍රමය හා වැඩිහිටි අධ්‍යාපන ක්‍රමයත්ය.

උපකෘත පාසල් (ආධාර ලබන පාසල්)

ඒ ඒ ආගමික ආයතනවලින් පවත්වාගෙන ගිය උපකෘත පාසල් වෙනුවෙන් රජය වැඩි මුදලක්‌ වියදම් කළත් රජයට ඒවායේ පාලනයට අත පෙවිය නොහැකිය. උපකෘත පාසලක ශිෂ්‍යයන් 15 දෙනකුට එක්‌ ගුරුවරයකු පත් කෙරුණු අතර, රජයේ පාසලක ගුරුවරයකු පත් කෙරුණේ 27 දෙනකු වෙනුවෙනි. ඒ අනුව, රජයේ පාසලක ශිෂ්‍යයකු වෙනුවෙන් වසරකට රුපියල් 140/- ක්‌ වැය කරන විට උපකෘත පාසලක ශිෂ්‍යයකු වෙනුවෙන් රුපියල් 175/- ක්‌ රජය වැය කළාය. උපකෘත පාසල්වල ගුරුවරුන්ට වැටුප් ගෙවන ලද්දේ සුදුසුකම් අනුව නොව, කළමනාකරුගේ පක්‌ෂග්‍රාහීත්වය අනුවය. මේ තත්ත්වය වළක්‌වාලීම සඳහා පියවර ගත් කන්නන්ගර ඇමැතිවරයා, උපකෘත පාසල්වල ගුරු වැටුප් කෙලින්ම රජයෙන් ගෙවීමට ප්‍රතිපාදන සැලසීය. මේ විෂමතාවන් සියල්ල නිවැරදි වූයේ, 1960 අංක 05 දරන උපකෘත පාසල් හා අභ්‍යාස විද්‍යාල (විශේෂ විධිවිධාන) පනත සහ 1961 අංක 08 දරන උපකෘත පාසල් දේපළ පවරා ගැනීමේ පනත සම්මත වීමත් සමඟය. මේ අතින් කන්නන්ගර අරමුණු හා ප්‍රාර්ථනාවන් ඉටුවීමට වසර 15 ක්‌ ම ගත විය. මෙය සිරිමාවෝ බණ්‌ඩාරනායක රජය විසින් ගනු ලැබූ එඩිතර පියවරකි.

මෙම පනත් අනුව, මෙරටේ වසර 05 සිට 14 දක්‌වා වයසේ දරුවන්ට අධ්‍යාපනය දීම රජයේ වගකීමකි. රජයට හැර වෙනත් කිසිවකුට ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පාසල් ආරම්භ කළ නොහැකි ය. මේ අනුව, අද ජාත්‍යන්තර පාසල්, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හෝ ආයෝජන මණ්‌ඩලයේ ලියාපදිංචි කළත්, ඒවා නීති විරෝධී ය.

වතු පාසල්

මෙම අධ්‍යාපන ක්‍රමය, ජාති, ආගම්, කුලභේද අභිබවා ගිය එකක්‌ විය. සෑම දරුවකුටම සිය ආගම ඇදහීමට බාධාවක්‌ එහි නොවී ය. එහෙත් දුප්පත්කම දඩමීමා කරගෙන, අන්‍යාගම්වලට හැරවීම එතුමා පිළිකුල් කළේ ය. ඉන්දියානු සම්භවයක්‌ ඇති වතුකරයේ දෙමළ ජනතාවගේ දරුවන් සඳහා වතු පාලකයන් විසින් පවත්වා ගෙන ගිය පාසල් ද රාජ්‍ය අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කර ගැනීමට එතුමා පියවර ගත්තේ ය. වතුවල වැඩ කරන කුලීකරුවන්ගේ නොදැනුවත්කමින් ප්‍රයෝජනගත් වතු පාලකයෝ, එකී දරුවනට හරියාකර අධ්‍යාපනයක්‌ ලබාදීම ගැන නොවෙහෙසුණේ, එසේ කළහොත්, තම වතු පවත්වා ගෙන යැම සඳහා කුලීකරුවන් නැතිවේය යන බිය නිසා ය. ලංකා වතු හිමියන්ගේ සංගමය සමඟ මෙන්ම, ලංකා ඉන්දියානු කොංග්‍රසය සමඟත් සාකච්ඡා හා සම්මන්ත්‍රණ පැවැත් වූ කන්නන්ගර මහතා, වතුකරයේ පැවති ප්‍රාථමික පාසල් ද ජාතික අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කිරීමට ක්‍රියා කළේ ය. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්‌තරයක්‌ කරන පී. ඒ. ඥානමුත්තු මහතා (..Edමජ්එසදබ aබා එයෑ ෂබාස්‌බ ඡක්‌බඒඑසදබ උදරනැර සබ Sරස ඛ්බන්, 1977). වතු පාසල් සඳහා සාධාරණත්වය හා යුක්‌තිය ඉටු කිරීම පිණිස කටයුතු කළ කන්නන්ගර මහතා, 1947 දී පරාජයට පත්කිරීම නිසා, එම කාර්යය පසුබෑ ආකාරය ගැන මෙසේ කනගාටු වෙයි ( “මෙතරම් ප්‍රගතිශීලී පියවර ගණනාවක්‌ වෙනුවෙන් සටන් කළ කන්නන්ගරයන්ට, වතු කම්කරුවන්ගේ දරුවන්ගේ සුබසිද්ධිය සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීමට තරම් කාලයක්‌ සිය තනතුරෙහි රැඳී සිටීමට නොහැකිවීම, ඇත්ත වශයෙන්ම අවාසනාවකි. එසේ රැඳී සිටීමට ඔහුට හැකියාවක්‌ තිබුණේ වුව ද ඔහුගේ හඬ කතරක නැඟූ හඬක්‌ වීමට ඉඩ නොතිබුණා නොවේ”.

වෙසක්‌ පොහොය නිවාඩුව

මෙරට ජනතාවගෙන් 80% කට වැඩි පිරිසක්‌ බෞද්ධයන් වුවත්, ඔවුන් සැලකුම් ලැබුවේ 20% කටත් අඩු ප්‍රමාණයකින් බව, ඒ ඒ ආගම සඳහා වෙන් කර තිබූ නිවාඩු දින ගණනින්ම ඔප්පු වේ. මේ පිළිබඳ ව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දැඩි උද්ඝෝෂණයක්‌ ගෙනගිය කන්නන්ගර මහතාට, වෙසක්‌ පොහොය දිනය සඳහා අතිරේක නිවාඩු දිනයක්‌ හා පොසොන් පොහොය සඳහා නිවාඩුවක්‌ ද ලබාගැනීමට හැකි විය.

කන්නන්ගර මැතිතුමාගෙන් නිදහස්‌ අධ්‍යාපන ක්‍රමයටත් විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයටත් සිදු වූ අනූපමේය සේවය සලකා, 1942 පැවති ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධි ප්‍රධානෝත්සවයේදී, එතුමාට ආචාර්ය උපාධිය පිරිනමන ලදී. ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම විදුහල්පති මහාචාර්ය ආර්. මාර්ස්‌, සිය සේවය අවසන් වී සමුගන්නා මොහොතේ කන්නන්ගරයන් ගැන කළ සටහන, එතුමාගේ ශිෂ්ටත්වයට කදිම නිදසුනකි. ( “අධ්‍යාපන ඇමැති කන්නන්ගර මහතා පිළිබඳව යමක්‌ පවසනවා නම්, පුරා වසර අටක්‌ම එතුමා යටතේ සේවය කිරීමට ලැබීම ම මට අත් වූ මහා භාග්‍යයක්‌ ලෙස මම සලකමි. තමන් යටතේ සේවය කළ රජයේ නිලධාරීන් සමඟ පැවති සබඳතා අතින් වේවා, ඔවුන් කෙරෙහි දැක්‌වූ දයාව, කාරුණිකභාවය අතින් වේවා, එතුමා අභිබවා ලූ එකම ඇමැතිවරයකු හෝ සිටියේ දැයි මම නොදනිමි. එසේම, තම අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු පරිපාලනයේදී දැක්‌ වූ ප්‍රඥාසම්පන්නභාවය සහ විචක්‌ෂණ බුද්ධිය ඉක්‌මවා යන්නට වෙනත් කිසිම ඇමැතිවරයකුට හැකි වූයේ දැයි මට නම් සැකයි”.

කන්නන්ගර මැතිතුමාගේ තවත් කැපී පෙනුණු ලක්‌ෂණයක්‌ වූයේ, ව්‍යවස්‌ථාදායක සභාවේ මෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ද සෑම රැස්‌වීමකටම, සෑම කමිටු රැස්‌වීමකටම හා සෑම අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමකටම නොකඩවා සහභාගි වී, රැස්‌වීම අවසන් වන තුරු රැඳී සිටීමයි.

එතුමාගේ පැමිණීම 100% ක්‌ විය. එතුමා ගිලන්ව සිටි අවසාන කාලයේදී තමා රටට කළ සේවය පෙන්වා දෙමින්, පාර්ලිමේන්තුවෙන් කිසියම් ආධාරයක්‌ පතා, 1961 ඔක්‌තෝබර් 26 වැනි දින දා තමන්, එවකට කථානායකව සිටි ආර්. එස්‌. පැල්පොළ මහතාට ලියූ ලිපියේ එතුමා මෙසේ සඳහන් කරයි ( “ආයෝජන, නිවාස, ඉඩම් හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් කිසිම පෞද්ගලික ආදායමක්‌ නැතිව, මා වසර ගණනාවක්‌ම ජීවත් වූයේ මගේ මිත්‍රයන්ගේ හා හිතවතුන්ගේ ත්‍යාගශීලීත්වය මත ය. මගේ සෞඛ්‍ය තත්ත්වය රැකගැනීම පිණිස අත්‍යවශ්‍ය වූ දේවල් සඳහා ගෙවිය යුතු බිල්පත් නොගෙවා ගොඩ ගැසී ඇත. මිත්‍රයන්ගෙන් හා නෑදෑයන්ගෙන් මූල්‍යාධාර පැතීමට සිදුවීම, ශත වර්ෂ තුනෙන් එකක පමණ කාලයක්‌ රජයේ ඇමැති තනතුරක්‌ දැරූ මා වැන්නකුගේ ගෞරවයට තරම් නොවන බව ඔබතුමා පිළිගන්නවා ඇතැයි සිතමි. ශත වර්ෂ කාලයක්‌ තරම් අසාමාන්‍ය ලෙස දීර්ඝ කාලයක්‌ කාගේත් පිළිගැනීමට හා ප්‍රශංසාවට පාත්‍ර වෙමින් රජයට සේවය කළ බව මා අවංකව කල්පනා කරන බැවින්, මා දැන් සිටින තත්ත්වය සලකා රජයෙන් ක්‌ෂණික සහනයක්‌ සලසන ලෙස මම ආයාචනා කරමි”.

මේ තත්ත්වය පිළිබඳව, එකල සමස්‌ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය විසින්, පුවත්පත් හා සංදේශ මඟින් පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන්, පාර්ලිමේන්තුව විසින් රුපියල් 10,000/- ක ප්‍රදානයක්‌ සහ මසකට රුපියල් 500/- ක දීමනාවක්‌ අනුමත කරන ලදී. තම අන්තිම මොහොත දක්‌වා එතුමා යෑපුණේ එම දීමනාවෙනි. (ලංකාවේ පාර්ලිමේන්තුව විසින් හිටපු මන්ත්‍රීවරයකුට ගෙවන ලද ප්‍රථම දීමනාව මෙය විය) මේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අති විශාල, අනුපමේය කාර්ය භාරයක්‌ හා සේවයක්‌ ඉටු කළ ශ්‍රේෂ්ඨ ජාතික වීරවරයකුගේ අවසානය එසේ විය.

සවිමන් උරුගොඩවත්ත

Facebook Comments

more recommended stories

%d bloggers like this: