ගල්ගමු ඇත් රජුගේ සේයාරුව නිවෙස්වල ‘බුදු පහනට’ යටින්…! (PHOTO)

ගල්ගමු ඇත් රජුගේ සේයාරුව නිවෙස්වල ‘බුදු පහනට’ යටින් මේ ජනමාධ්‍ය මගින් අප ඉතා හොඳින් අසා හුරුපුරුදු වදනකි. මෙහි අලි මිනිස් යන්නෙහි ‘අලි‘ යන වදන පෙරටුව යෙදීමෙන් පැහැදිලි වන එක් කරුණක් තිබේ. එනම් මෙම ගැටුම සඳහා වන අලින් ප්‍රමුඛ වන බවකි. එහෙත් අලි මිනිස් ගැටුම යනුවෙන් අප විසින් සිංහලයට නංවා ගන්නා ලද වදන ජාත්‍යන්තරයෙන් අප වෙත හිමි වුවක් මිස අප විසින්ම තනාගත් එකක් නොවේ. එහෙත් අදටත් එහි ජාත්‍යන්තර ව්‍යවහාරය වනුයේ මිනිස් – අලි ගැටුම (Human elephant conflict) යන්නය. ඒ අනුව මෙම විකෘතිය සිදු කරන ලද්දේ කවුරුන්, කවදා කුමන අරමුණකින්ද යන්න පිළිබඳව වෙනම සොයා බැලිය යුතුය.

වන අලින් ගම්වැදී මිනිස් ජීවිත දේපල ආදියට බරපතල හානි පමුණුවන බවද අපි ජනමාධ්‍ය මගින් නිතර අසා දැක ඇත්තෙමු. එමෙන්ම එම හානි පිළිබඳ වීඩියෝ දර්ශන සේම එම වන අලි උවදුරට එරෙහිව දියත් වන ජනතා උද්ඝෝෂණ ද මාධ්‍ය මගින් අපට අතිශය හුරු පුරුදුය. එවිට වන අලියා යන්න මිනිස් ප්‍රජාවට කෙතරම් අහිතකර සත්වයෙකුද යන සිතුවිල්ල යමකුගේ සිතෙහි ඉතා තදින් රෝපණය විය හැකිය. එහෙත් මෙහි සත්‍ය තත්ත්වය නැතහොත් යථාර්ථය ඊට ඉඳුරාම වෙනස්ය. වන අලින් ඉතා සාහසික සහ ප්‍රචණ්ඩකාරී ලෙස ඉවක් බවක් නොමැතිව මිනිස් ජනාවාස ආක්‍රමණය කරන බවක් මතුපිටින් පෙනී ගියද සැබැවින්ම සිදුව ඇත්තේ එහි අනෙක් පැත්තය. එනම් මිනිසුන් විසින් වන අලින්ගේ ස්වභාවික වාසභූමි බරපතල අයුරින් ආක්‍රමණය කිරීමය.

අලියා යනු දැනට මිහිපිට ජීවත් වන විශාලතම සත්වයාය. එමෙන්ම මුළුමනින්ම ශාඛ භක්ෂක අවිහිංසකයෙකි. එහෙත් ඒ සතා හට ආහාර පාන සහ ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ඒවා සොයා ගැනීම පිණිස විශාල වපසරියකින් යුතු භූමි ප්‍රමාණයක්ද අවශ්‍ය වෙයි. එය අලියා සතු සොබාදහමේ උරුමයකි. හිමිකමකි. එහෙත් මීට සියවස් ගණනකට ඉහත වන අලි ඇතුන්ගේ වාසභවනයන් බවට පත් මහා වන රජදහන් අද කමෛන් කුඩා බැදි කුට්ටි බවට පත්වෙමින් තිබේ. ඊට හේතුව මිනිසුන් විසින් වන අලින් සතුව තිබූ සාම්ප්‍රදායික නිජබිම් ශීඝ්‍රාකාරයෙන් අත්පත් කර ගනිමින් තිබිමය. ඒ අනුව වන අලින් ගම් වැදුණාද ? නැතහොත් මිනිසුන් වල් වැදුණාද යන්න පිළිබඳව යළි යළිත් සිතා බැලීමට අප පෙළඹිය යුතුය.

වන අලි ප්‍රහාර නිසා වසරකට මිනිස් ජීවිත හැට හැත්තෑවක් පමණ අහිමි වන බව ඇත්තකි. එය ආසන්න වශයෙන් රිය අනතුරු නිසා වාර්ෂිකව සිදුවන මිනිස් මරණ මෙන් සියයට දෙකක පමණ ප්‍රතිශතයකි. එහෙත් අප විසින් අලි මිනිස් ගැටුම යනුවෙන් හැඳින්වෙන මෙම තත්ත්වය තුළ නොමනා මිනිස් ක්‍රියාකාරකම් නිසා එමෙත් තුන් ගුණයකටත් වඩා වන අලින්ගේ ජීවිත වාර්ෂිකව අහිමි වන බව ඔබ දන්නවාද ? දැනට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන විසි එකක් පමණ වන අතර සමස්ත ශ්‍රී ලංකාවේ වන අලි ගහණය හය දහසකටත් අඩු බවද අප මෙහිදී සැළකිය යුතුය. ඒ අනුව එම ජනගහන සහ වන අලි ගහන අනුපාතයට අනුව මින් ප්‍රබලතම හානිය ව්‍යසනය අත්වී ඇත්තේ කාටදැයි සිතා බැලීම ඔබට භාරය.

වන අලින් නිසා තම ජීවිත, දේපළ සහ වගාවන්ට සිදුවන හානි නිසා බරපතල සංවේගයටත්, ප්‍රකම්පනයටත් පත්වන අප රටේ ගැමි ජනතාව තුළ වන අලින් පිළිබඳ බද්ධ වෛරයක් හටගෙන ඇතැයි බාහිර සමාජයේ බොහෝ දෙනෙක් සිතති. එහෙත් එය පටටපල් බොරුවකි. ඊට හේතුව මෙම මිනිස් අලි ගැටුමේ අලගිය තැන් මුලගිය තැන් සියල්ල ඉතා නිවැරදිව සොයා ගැනීමට තරම් දේශීය ගැමියාගේ විඥාන ශක්තිය ප්‍රබල වීමය.

වන අලින් ගම්වදිනුයේ තම ස්වභාවික පාරම්පරික සහ ෙජෙවමය උරුමයන් පෙරදැරි කරගනිමින් මිස කෘත්‍රිම ලෙස සිදු කෙරෙන කුරිරු, සාහසික ආක්‍රමණයක් ලෙස නොවන බව එම ප්‍රදේශවල ගැමියෝ ඉතා හොඳින් දනිති. එමෙන්ම එම වන අලින් පළවා හැරීම පිණිස තමන් විසින් ගනු ලබන සියලු ක්‍රියාමාර්ග වන අලින් සතු ඒ ස්වභාවික උරුමයන්ට එරෙහි කෘත්‍රිම ක්‍රියාමාර්ග සහ තාවකාලික පැලැස්තර බවද ගැමියෝ දනිති. එම ක්‍රියාමාර්ග හමුවේ ශාඛ භක්ෂක එම අහිංසකයන් කුපිත වන බවද ගම්මු හොඳාකාරව දනිති.

එනිසාම වන අලින් ජීවත්වන ප්‍රදේශ වල ගැමියෝ එම සතුන් කෙරෙහි අතිශය සංවේදී වන්නා සේම ඔවුන් කෙරෙහි කරුණා මෛත්‍රියද දක්වති.

පසුගියදා ඇත්දළ සොරුන් විසින් කුරිරු ලෙස ඝාතනය කළ දළ පූට්ටුවා ඇත් රජුගේ මරණයේ දී ගල්ගමුවේ වැසියන් තම පවු‍ලේ ඥාතියකු මියගිය කලෙක මෙන් හඬා වැටුණේ ඔවුන් මෙම අලි ඇතුන් කෙරෙහි දක්වන ආදරය, කරුණාව, දයානුකම්පාව පෙරදැරිකර ගනිමිනි. එමෙන්ම පසුගිය දෙසැම්බර් 08 වනදා එම ඇත් රජුට පින් පැමිණ වීම පිණිස ගල්ගමුවේ උස්ගල සියඹලංගමුව විහාරස්ථානයේ පැවැති ධර්ම දේනාවේ දී සහ ඊට පසුදින පැවැති සඟගත දක්ෂිනාවේදී තම දරුවකු මියගිය කලෙක මෙන් එම ඇත් රජුගේ ගුණ කියමින් එහි ගැමියන් හඬා වැටෙනු දුටු මා හටද අවස්ථා කිහිපයකදී එම සංවේදී හැඟීම් ආවේග දරාගත නොහැකි වූ බව අවංකවම මෙහි ලියා තැබිය යුතුය. විශේෂයෙන් එම ධර්මදේශනාව සඳහා හේවිසි හොරනෑ හඬ මධ්‍යයේ දේශක ස්වාමීන් වහන්සේ දම් සභා මණ්ඩපයට වැඩම කරන අවස්ථාවේ එහි රැඳී සිටි තරුණ, බාල, මහළු, ස්ත්‍රී, පුරුෂ සෑම අයකුගේම දෙනෙත් කඳුළින් බර වී තිබෙනු සහ ඉන් කොටසක් සංවේගය දරාගත නොහැකිව ඉකිලමින් හඬා වැටෙනු මම හොඳහැටි දැක ගත්තෙමි. මේ අතර මෙම පින්කම මුල්කොට නෙත් එෆ්.එම්. ගුවන් විදුලිය මගින් සහ කොළඹ කෙයිසර් වීදියේ ක්‍රිස්ටල් පැලස් සුපර් මාර්කට් හි එස්.එම්.එල්. ට්‍රේඩර්ස් අධිපති එස්.එම්. ලෙස්ලි සේනාරත්න මහතාගේ මූල්‍ය පරිත්‍යාග වලින් එම හස්තියාගේ වර්ණ ඡායාරූප දෙකක් එහි රැස්ව සිටි පිරිස අතරේ බෙදා හරින ලදි. එහිදී ඊට දායක වූ නෙත් එෆ්.එම්. ගුවන් විදුලියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චරිත් සුද්දචාරී මහතා පවසා සිටියේ එහි රැස්ව සිටි ගැමියන් එම ඡායාරූප දරුවකු වඩා ගන්නාක් මෙන් දෝතින්ම ගත් අතර ඉන් සමහරෙකු එය ළමැදෙහි හොවාගෙන හඬා වැළපුණු බවය.  මෙම කුරිරු ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට පත්ව හිඳින සැකකරුවන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස පසුගිය ජනවාරි09 දා ගල්ගමුව ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා මහව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නිහඬ විරෝධයක් පළ කළහ. ඒ එම සැකකරුවන් එදින මහව මහේස්ත්‍රාත්වරයා හමුවට පත් කරන ලද අවස්ථාවේදීය. එහිදී ඉන් එක් සැකකරුවකුට පමණක් ඇප ලැබුණු අතර සෙසු සැකකරුවන් හත්දෙනා ජනවාරි 23 දා තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

ගල්ගමුවේ ඇත් රජුට පින් පැමිණවීම පිණිස සිදු කරන ලද පින්කමේ දී ප්‍රදේශවාසීන් අතර බෙදාහැර ඇති සෑම ඡායාරූපයක්ම පාහේ අදත් ඔවුන්ගේ නිවෙස්වල ප්‍රදර්ශනය කෙරෙන බව ගල්ගමුව උස්ගල – සියඹලංගමුව ග්‍රාමයේ ප්‍රජා ක්‍රියාකාරිකයකු සේම පරිසරවේදියකු සහ සත්ව හිමිකම් ක්‍රියා ධරයකු වන ක්‍රිශාන්ත නන්දසේන මහතා කියයි. ඔහු පවසනුයේ එම ප්‍රදේශයේ ඇතැමුන් එම ඇත් රජුගේ ඡායාරූපය නිවසේ බුදු පහනට යටින් ප්‍රදර්ශණය කෙරෙන බවය. ඒ සම්බන්ධයෙන් කරුණු විමසූ ක්‍රිශාන්ත මහතාට ඒ ගැමියන් දී ඇත්තේ මෙබඳු පිළිතුරකි.

“අපි හැමදාම බුදුන් වඳිනකොට මෙයාව මතක් වෙන්න තමයි ඔය පින්තූරෙ ඔතනම අලවලා තියෙන්නේ. අපි දැන් බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරන්නේ එකම එක දෙයයි” එසේ පැවැසූ ගැමි ලියක ඉනික්බිතිව පැවැසූ දෙයින් තමන්ටද කඳුළු සඟවාගත නොහැකි වූ බව නන්දසේන මහතා කියයි.

“අපි දැන් ප්‍රාර්ථනා කරන්නේ මීට පස්සේ නම් මෙයාට මේ තිරිසන් මිනිස්සු අතරේ උපදින්න ඉඩක් ලැබෙන්න එපාම කියලයි.”

තිලක් සේනාසිංහ

Facebook Comments

more recommended stories

%d bloggers like this: