දෙවෙනි ඉනිමෙන් විනාශයක් වන බව කියූ ලිපියට දුන්නු උත්තරේ මෙන්න..!

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය හා වසරේ ජනප්‍රියම නිළිය ආදී වූ සම්මාන වලින් පිදුම් ලබා මේ දිනවල අති මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගනිමින් විකාශය වන දෙරණ රූපවාහිනී නාලිකාවේ “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යය තුළින් සිදුවන්නේ විනාශයක් බව අද එක්තරා ලිපියක් තුළින් කරුණු ඉදිරිපත් කර තිබුණි. එම ලිපිය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය අවකාශය තුළ විවිධ අදහස් ඉදිරිපත් වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් මාගේ අදහස ද මෙසේ ඉදිරිපත් කිරීම වැදගත් යැයි සිතුවෙමි.

අන්තර්ජාලයේ පළ කර ඇති “වෙනසකට වඩා විනාශයක් සමාජගත කරන දෙවන ඉනිමේ නොපෙනෙන හානිය මෙන්න..!” නැමැති එම ලිපිය තුළින් එම රචකයා ඉදිරිපත් කර සිටින අදහස වන්නේ මෙම ටෙලි නාට්‍යය තුළින් පාසල් සිසු සිසුවියන්ගේ මනස දූෂණයට ලක් කරන බවය. ඒ සඳහා එම රචකයා විසින් ගෙනහැර දක්වන කරුණු කිහිපයක් මෙසේ උපුටා දක්වමි.

“ඔය නාට්‍යයයේ ගෑණු ළමයි ඉස්කෝලේ එන විදිය… මූණවල් ඔක්කොම මේකප් මූණවල්… ඒ මදිවට නිට් එක ශේප් කරපු අයිබ්‍රෝස්… ඇඟටම හැඩ කරලා මහපු යුනිෆෝර්ම් එක… දිගට උලට වවපු නියපොතු… පිරිමි ළමයින්ගේ ජෙල් කරලා පස්සට පීරපු දිග කොණ්ඩේ…”

“අද යන නාට්‍යය වලින් පාසල් සිසු සිසුවියන්ගේ මනස අමු අමුවෙ දූෂණය කරන හැටි මම මේ නාට්‍යයෙන් දැක්කා… අම්මලා තාත්තලා ඉස්කෝලේ යන ළමයින්ට මඟුල් තීන්දුත් කරලා මේක දෙයියන්ටම ඔප්පුවෙච්ච රටක් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි…”

ඒ අනුව ඉහතින් මා විසින් උපුටා දක්වන ලද්දේ එම ලිපිය තුළ එම රචකයා විසින් සිය මතය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කරුණු කිහිපයකි. ඔහුගේ එම අදහස් සම්බන්ධයෙන් මම මාගේ අදහස මෙසේ පෙළගස්වමි.

ඕනෑම කලා නිර්මාණයක් තුළින් නිරූපණය වන්නේ කල්පිතය හා යථාර්ථය අතර පවතින තත්ත්වයකි. එනම් එය මුළුමනින්ම යථාර්ථයක් වශයෙන් හෝ මුළුමනින්ම කල්පිතයක් වශයෙන් ඉදිරිපත් කිරීම නිර්මාණයක සාර්ථකත්වය සඳහා බලපාන බව මාගේ විශ්වාසයයි. එනම් අදාළ නිර්මාණයේ නිර්මාණාත්මක අවශ්‍යතාව අනුව විවිධ තත්ත්ව වෙනස්කම් වලට ලක් කරමින් නිර්මාණය තුළ භාවිත කිරීම සිදුවේ. ඒ අනුව දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය පිළිබඳව ද විමසීමට ලක්කළ යුත්තේ එම සාධක පිළිබඳව සැලකිල්ලට ගනිමිනි.

එහිදී එම ටෙලි නාට්‍යයේ නිරූපණය වන පාසල් සිසු සිසුවියන්ගේ බාහිර පෙනුම සැබෑ පාසල් සිසුවෙකු තුළින් හෝ සිසුවියක තුළින් නිරූපණය නොවීම නිර්මාණයක දී දැකගත හැකි සාමාන්‍ය තත්ත්වයක් වේ. එහෙත් එම තත්ත්වය ප්‍රෙක්ෂකයාට විශ්වාස කළ නොහැකි අන්දමින් එනම් නිදසුනක් ඇසුරෙන් දක්වන්නේ නම් පාසල් සිසුවෙකුගේ හිසකෙස් වර්ණ ගන්වා හෝ පාසල් සිසුවියකගේ හිසකෙස් ස්ට්‍රේට් කර ඔවුන්ව පාසල් සිසු සිසුවියන් වශයෙන් නිරූපණය කළේ නම් එය ප්‍රේක්ෂකයාගේ විශ්වාස කළ හැකි සීමාව ඉක්මවා යන තත්ත්වයක් බවට පත්වන බැවින් එසේ සිදු කිරීම නිර්මාණයේ අසාර්ථකත්වයට බලපායි. එහෙත් මෙම ටෙලිනාට්‍යය තුළ එවැන්නක් අනුගමනය නොකරමින් නිර්මාණයේ අවශ්‍යතාව අනුව නිරූපණය වන මෙම පාසල් සිසුන්ගේ සහ සිසුවියන්ගේ බාහිර පෙනුම තුළ එය මුළුමනින්ම පාසල් සිසුවෙකු හෝ සිසුවියක් තුළින් නිරූපණය විය යුතු සැබෑ පෙනුම නොවේ යැයි ප්‍රශ්න කිරීම තර්කානුකූල නොවන බව මාගේ අදහසයි.

එසේම මෙම ටෙලි නාට්‍යය තුළින් ඉදිරිපත් වන පාසල් ප්‍රේම වෘත්තාන්ත ඇති වීම පිළිබඳව මාගේ මෙම ලිපියට පදනම් වන ලිපියේ රචකයා ඉදිරිපත් කරන අදහස සම්බන්ධයෙන් ද අදහසක් ඉදිරිපත් කිරීම වැදගත්ය. එහෙත් ඊට පෙර අදාළ ලිපිය තුළ එම රචකයා ඉදිරිපත් කරන අදහස මෙසේ උපුටා දක්වමි.

“සුනිල්ගේ, නිමල්ගේ නපුරු වුණත් මෛත්‍රීගේ මූණවල් තිබ්බ ඒ අහිංසක හුරතල් පෙනුම අද ඔය ළමයි බලන සමල්කලාගේ දෙව්මිලාගේ අනුහස්ලාගේ තියෙනවද…? උන්ගේ මූණවල් වල බේරේන්නේ හද්ද මනමාලකම… ළමයි ඉස්කෝලේ එන මූලිකම දේ ඉගෙන ගන්න එක… ඒක අමතක කරවන දෙවෙනි ඉනිම නාට්‍යය අද ළමයින්ට උලුප්පවලා පෙන්වන්නේ ළමයි අද පාසල් යන්න ඕන කොල්ලෙක් එක්ක කෙල්ලෙක් එක්ක යාළුවෙන්න…”

පාසලේ උසස් පෙළ හදාරණ අවධියේ දී ප්‍රේම සම්බන්ධතා වලට සිසු සිසුවියන් යොමු වීම අනුමත කළ නොහැකි වුවත් එවැනි දෑ අනන්තවත් සිදු වෙමින් තිබේ. එය එක් අතකින් එම අවධියේ දී ඇතිවන හැඟීම් සමඟ සිදුවන ජීව විද්‍යාත්මක තත්ත්වයක් ද වන බැවින් එවැන්නක් එම වයසේ පසුවන සිසුවියකගේ හෝ සිසුවෙකුගේ සිත තුළ ඇති නොවුණේ නම් එය යම්කිසි මානසික රෝගී තත්ත්වයක් ද යන්න සොයා බැලිය යුතුය. ඒ අනුව මෙම නිර්මාණය තුළ තුන් ඈඳුතු පාසල් ප්‍රේමයක් පාසල් වයසේ සිසු සිසුවියන් වෙතින් බලාපොරොත්තු විය හැකි තත්ත්වය ඉක්මවීමෙන් තොරව ඉදිරිපත් වීම මා විසින් විශ්වාස කරන පරිදි මෙම ටෙලි නාට්‍යය නරඹන පාසල් සිසු සිසුවියන් මෙම වයසේ දී ප්‍රේම කිරීමට පෙළඹවීමක් ඇති කිරීම සඳහා හේතුවන තත්ත්වයක් වශයෙන් පෙන්වා දිය නොහැකිය.

එසේම සමාජයේ පවතින යම් කිසි තත්ත්වයක් යම් නිර්මාණයක් තුළින් ඉදිරිපත් වීම එය අනුමත කිරීමක් වශයෙන් අර්ථ දක්වා ගැනීම වැරදිය. එනම් යම්කිසි ක්‍රියාවක් හෝ සිදුවීමක් යම් නිර්මාණයක් තුළ නිරූපණය වූ පමණින් එයින් සිදුවන්නේ එම ක්‍රියාව හෝ සිදුවීම අනුමත කරමින් එය සමාජගත කිරීමක් යැයි වටහා ගැනීම නොකළ යුතුය. මේ පිළිබඳව මා විසින් පසුගිය වසරේ දී ලියා ප්‍රකාශයට පත්කළ “යථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව” නැමැති ලිපිය තුළදී ද අවධානයට යොමු කර තිබේ. මා විසින් එම ලිපිය තුළදී ඉදිරිපත් කරන එම පැහැදිලි කිරීමට අදාළ උපුටනය පහතින් දැක්වේ.

“පුංචි රාළගේ පළමු විවාහයේ දරුවෙකු වන සුදු බණ්ඩා සමඟ මෙහි දී ලිංගික ක‍්‍රියාවක නිරත වන්නේ පුංචි රාළගේ ඊළඟ විවාහයේ බිරිඳ වන ගෝමරීය. එනම් ඇය සුදු බණ්ඩාගේ කුඩම්මාය. සමාජය තුළ කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි සිතෙන මෙවැනි සබඳතාවක් එක් අතකින් වැඩිහිටි කාන්තාවක් ළාබාල පිරිමි ළමයෙකු සමඟ පවත්වන සබඳතාවකි. මෙම රමණයට මූල බීජය ගෝමරීම වේ. මෙය එක් දහස් අටසිය ගණන්වල සිදු වූ කතාවක් වුවත් අද ද මෙවැනි දෑ ඕනෑ තරම් සිදුවෙමින් තිබේ. මොහාන් මෙවැන්නක් සිය නවකථාව තුළ අන්තර්ගත කිරීම යන්නෙහි අරමුණ එය අනුමත කරන්නට යැයි කියා සමාජයට බලපෑම් කිරීමවත් එය වරදක් නොවේය කියා එය සමාජගත කිරීමවත් නොවේ. එක් අතකින් මෙය කියවිය හැකි වන්නේ අනියමින් හෝ සිදුවන සංසිද්ධියක් මොහාන් සිය නිර්මාණයකට ඈඳාගෙන ඇති බවය. නමුත් කිසිසේත්ම මෙවැනි දෑ කිරීම යහපත් යැයි කීම සමාජගත කිරීමක් ලෙස එය අර්ථකතනය නොකළ යුතුය.”

ඒ අනුව මෙම තත්ත්වය ඔස්සේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ පාසල් ප්‍රේමයක් නිරූපණය වීම තුළ ද එවැනි තත්ත්ව අනුමත කිරීමක් හෝ එවැනි දෑ යහපත් යැයි පවසා සමාජගත කිරීමක් හෝ සිදුනොවන බව පැවසිය යුතුය. මන්ද යත් ඕනෑම නිර්මාණයක් තුළ අදාළ නිර්මාණය ගොඩනැඟීම සඳහා නිර්මාණකරුවා විසින් සමාජයේ දක්නට ලැබෙන විවිධ සිදුවීම් සිය නිර්මාණාත්මක අවශ්‍යතාව අනුව භාවිත කරන බැවිනි.

මාගේ මෙම ලිපියට පදනම් වන අදාළ ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්වීම තුළ පළවූ විවිධ අදහස් අතර ඉන්දියානු ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් ද යම් යම් අදහස් ඉදිරිපත් වූ බැවින් ඒ පිළිබඳව ද යමක් මෙහිදී සඳහන් කිරීම වැදගත්ය. එනම් මෙරටේ විකාශය කරන ඉන්දියානු ටෙලි නාට්‍ය තුළ මෙන්ම ඇතැම් කොරියානු ටෙලිනාට්‍ය තුළ ද මෙරටේ සංස්කෘතියට නොගැළපෙන විවිධ දර්ශන ඇතුළත් වේ. ඒ අනුව නිදසුන් වශයෙන් දක්වන්නේ නම් පියා සහ පුතා එකට මධුවිත පානය කරන දර්ශන, බිරිඳ සහ ස්වාමියා එකට මධුවිත පානය කරන දර්ශන මෙන්ම බිරිඳ මධුවිත පානය කර වෙරිමතින් රාත්‍රියේ නිවසට පැමිණෙන දර්ශන පවා මෙම විදේශීය ටෙලි නාට්‍ය තුළ ඉදිරිපත් වේ. එබැවින් ඒවා මෙරටේ දී විකාශය කිරීමේ දී යම් නියාමනයකට ලක්විය යුතු බව මාගේ අදහසයි.

එසේම ටෙලි නාට්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය අවකාශය තුළ මෙසේ සංවාද ඇතිවීම සඳහා විවිධ බ්ලොග්කරුවන් විසින් දක්වන සිය සෘජු අදහස් ඉතා වැදගත් වන බැවින් මාගේ මෙම ලිපියට පදනම් වූ ලිපිය වැනි ලිපි ඉදිරියටත් සමාජ මාධ්‍ය අවකාශය තුළ ප්‍රකාශයට පත්වීම තුළ මෙවැනි සංවාදාත්මක තත්ත්ව නිර්මාණය වී ඒ ඔස්සේ වඩාත් හරවත් අදහස් හා කරුණු පාඨකයා වෙත රැගෙන යාමට අවස්ථාව උදාවන බව ද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: