“හාමුදුරුවන්ට වෙඩි වැදුණෙ නෑ ඔළුවට කෙටේරියකින් කෙටුවා” – දිඹුලාගල නා හිමි ඝාතන සිද්ධිය

 

දිඹුලාගල හාමුදුරුවන් කී පමණින් මුළු සිරිලක්වාසීන්ම හොඳින්ම දන්නා මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් යෝගාවචර හිමි නමකි. 60 දශකයේ මහා කැලෑ මණ්ඩියක්ව තිබූ දිඹුලාගල බිම් පෙදෙස නැවත අපේ බෞද්ධ උරුමයක් ලෙස පාදා දෙන්නට උන්වහන්සේ අප්‍රමාණ මෙහෙයක් කළහ. වැදිපත්තුවේ වැදි ජනයා ද, මුස්ලිම් පෙදෙස්වල ජනයා ද, අහිංසක දුප්පත් සිංහල ජනයා ද නඟාසිටුවීමට උන්වහන්සේ තම ජීවිත කාලයම ගත කළේ නිස්සරණාධ්‍යාසයෙනි.

‘පොට්ටනි හාමුදුරුවෝ’ යැයි මුලින් ඒ පෙදෙස්වල වැදි ජනතාව හැඳින්වූ මේ හිමියන් විසින් ඔවුනට ඉගෙනුමට පාසල් විවෘත කැරිණි. දඩයමින් දිවි ගෙවූ හැමට බත් හාල්, එළවුළු කෑමට පුරුදු කළේය. එමතු ද නොව ඔවුන් බුද්ධ ශාසනයට ද ඇතුළු කරගත්තේය.

ගොවි බිම් ඇති ක‍ෙළ්ය. හාමුදුරුවන්ගේ මේ ජනපද පිහිටුවීම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට මහත් හිසරදයක් වූයේ මේ අතරය. 1996 මැයි 26 වැනිදා උදෑසන හතට පමණ දිඹුලාගල ආරණ්‍යයට කිට්ටු මැණික් ඇළ ප්‍රදේශයේ තමන් වහන්සේ විසින් බලාහදා ගත් කුඹුරු යායකදී මේ හිමියන් ත්‍රස්ත ප්‍රහාරයකින් අපවත් කැරිණ. ඇත්තටම මේ හිමියන් අපවත් කළේ ත්‍රස්තවාදීන් ද? නොඑසේ නම් වෙනත් අදිසි බලවේගයක්ද?

උතුරු නැ‍ඟෙනහිර බෞද්ධ උරුමය සොයා උන්වහන්සේ පාදයාත්‍රාවෙන් වැඩි ගමන් අපේ මතකයේ තවමත් නින්නාද නඟයි. මහා කැලෑ මණ්ඩි පීරා සෝමාවතිය නැවත සොයාගැනීමේ ගමනටත්, නීලගිරි චෛත්‍යය සොයා යාමටත් කිතලගම නායක හාමුදුරුවෝ මහත් දායකත්වයක් දුන්හ.
මේ ගවේෂණයේදී අපට හමුවන හැම මූලාශ්‍රයක්ම පිරික්සා බලමින් අපි ඒ හිමියන්ගේ අපවත්වීම හා ඉන්පසු කතාව ඔබට ලියන්නට වෙර දරමු.

දිඹුලාගල තැපැල්හල ඉදිරිපිට 1F නි‍ෙවසේ පදිංචි වී.ඒ.පී.නාලකරත්න (ආනන්ද) මහතා පාසල්ගුරුවරයෙකි. දැනට වැලිකන්නේ මෛත්‍රීගම පාසලක ඉගැන්වීම් කටයුතු කරන හෙතෙම දිඹුලාගල නාහිමියන්ගේ 36 වැනි ගෝලයාය. උන්වහන්සේ ඇතිකළ වෙහෙර විහාර අසූ ගණනකි.

ගෝලයන් වහන්සේලාගේ ප්‍රමාණය 1440ක් ඉක්මවයි. මා නාලකරත්න මහතා ද ගෝලයෙක් බව කීවේ එතුමා මුල් කාලයේ දිඹුලාගල හිමියන් ළඟ පැවිදිව සිට දැන් උපැවිදිව සිටින්නකු බැවිනි. පැවිදි කළ නාහිමියන්ගේ ආරක්ෂකයා ලෙස හිටියේ ද එතුමාය.

අපේ නායක හාමුදුරුවෝ මෙහි වඩින්ට පෙර ඉඳලා තියෙන්නෙ පලුගස්දමනෙ කැරකෝප්පුවක. එතැන ඉඳන් උදේට මේ දිඹුලාගල කන්ද අ‍ගේට පේනවා. මුල් කාලෙ ඉඳලම උන්වහන්සේ හරිම ජවසම්පන්නයි. ගිහි කාලෙ විශේෂයෙන් තරුණ කාලෙ කළ කී වැඩ නිසා පොළොන්නරුවෙ මනම්පිටියෙත් ජනප්‍රියයි.

යකාටවත් බය නැති කෙනෙක්. මහණ වෙන්ඩ ආසා වෙලා මහණකම ඉල්ලුවාම ඒ කාලෙ පොළොන්නරුවෙ හිටි හාමුදුරුවන් ‘හා හොඳයි’ කිය කියා හිටිය මිසක් මහණකම දීලා නෑ. ඒ නිසා අපේ නායක හාමුදුරුවෝ තමන්ගේ ගම් පළාත මාතරට ගිහින් විල්පිට ආරණ්‍යයේ වැඩ සිටි උඩුපීල්ලෙගොඩ පුඤ්ඤාලංකාර හිමියන් වෙතින් පැවිද්ද ලබාගෙන නැවත මෙහි වැඩලා තියෙනවා.

ඒ කාලෙ මේ දිඹුලාගල ඉඳලා තියෙන්නෙ ආණ්ඩුවෙන් වැරැදිවලට අල්ලන්ඩ බලා ඉන්නා වරෙන්තුකාරයො විතරයි. හාමුදුරුවො වඩින විට ග‍ඟෙන් මෙගොඩ දෙමළ ගමක් තිබුණා සොරිවිල කියලා. අදත් ඒ ගම තියෙනවා. මනම්පිටිය පාලම ළඟ තමයි ඒ කාලෙ මඩකලපු මායිම සටහන් කරලා තියෙන්නෙ.

හාමුදුරුවො මේ ‘බෝඩ්’ එක ගලවාගෙන ගිහින් ‘පුනානි’වල ගැහුවා. එතැනින් මෙහාට පොළොන්නරු මායිම. එහාට මඩකලපු මායිම කියලා. ඒ පැත්තෙ දෙමළ කට්ටිය හාමුදුරුවන්ට හොරෙන් මේ ‘බෝඩ්’ එක ගලවාගෙන ඇවිත් යළිත් මනම්පිටිය පාලම ළඟ ගහනවා. මේ මායිම් ප්‍රශ්නය හේතුවෙන් අන්තිමට ‘සේවාගම’ නමින් තිබුණ හමුදා ගම්මානයත් සටනට ඇවිත්.

ඒ අය හාමුදුරුවන්ට පක්ෂයි. ඒ ගමේ හිටියෙ ලෝක යුද්ධ කාලෙත් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවෙ හිටපු සිංහල මිනිස්සු. මේ අය කොහොම හරි තමන්ගෙ නියම මායිම තියෙන පුනානිවලටම සීමාව නැවත ගෙනගියා.

හාමුදුරුවො දිඹුලාගලට වඩිනවාට මඩකලපු‍ෙවන් මෙහි පැනලා හිටපු සිංහල වරෙන්තුකාරයො විරුද්ධ වුණා. ඒ අය මෙහෙට ඇවිත් තිබුණෙ දිඹුලාගල නිධන් වදුලු ටික හාරන්ඩ. ඒකට උන්වන්සේ ඉඩ දුන්නෙ නෑ. එහෙත් සොරිවිල කියන ගමේ දෙමළ වැසියෝ හාමුදුරුවන්ව ආරක්ෂා කළා.

හාමුදුරුවො අපවත් වෙනකම්ම ඒ ගමටත් ආදරය කළා. එගම්වැසියො ආරක්ෂා කළා. ඒ වන විට දිඹුලාගල කන්දෙ ගල්ගුහාවක් තිබුණා. ඒ ගල්ගුහාවෙ තමයි අද දිඹුලාගල බුදු මැදුර පිහිටා තිබෙන්නෙ. මේ ගල්ගුහාවෙ තමන්ගෙ රැහේත් එක්ක ජීවත් වුණේ මිල්ලානා කියන වැදි නායකයා. පසු කාලයක එතුමාව යාපා රජ්ජුරුවො නමින් හැඳින්වෙනවා.
අපේ නායක හාමුදුරුවො උදේ රැයින් නැඟිටලා මනම්පිටියෙ පොළොන්නරුවෙ කඩසාප්පු නිවාස අතරට ගිහින් ‍ලොකු පොට්ටනි දෙකකට හාල්, පොල්, තුනපහ, එළවළු ආදිය රැගෙන කඳු වළල්ල උඩින් දිඹුලාගලට වඩිනවා. එහෙම වැඩලා අර මිල්ලානා හා එයාගෙ වැදි රැහැට කියනවා මේකෙ දඩයම් කරන්ට එපා.

මේ හාල් පොල් උයාගෙන කන්ඩ කියලා. උයන්ඩත් පුරුදු කරවනවා. ඒ අය මස් පුලුස්සලා හාමුදුරුවන්ට දෙනකොට “අපි බුද්ධ පුත්‍රයො. මේවා කන්නෙ නෑ” කියා අර හාල් පොල් එළවළුවලින් රසවත් ආහාර හදලා පෙන්නලා ඒ අය ශිෂ්ටාචාර මිනිස්සු බවට පත්කළා.

මේ දිඹුලාගල ගල වටේට හාමුදුරුවො කරවිල වගා කළා. කුරුතම්පලා හා වෙනත් පලා වර්ග තිබුණා. කරවිල තම්බාගෙන කන්ඩ අපෙ ලොකු හාමුදුරුවෝ පුදුමාකාර කැමැත්තක් දැක්වුවෙ. පස්සෙ මේ වැදි රැහැට ගෙවල් හදලා පවා දුන්නා. ඉස්කෝල දැම්මා. අකුරු කියවන්ඩ ගුරුවරු ගෙනාවා.

පුදුමයි කියන්නෙ මිල්ලානා වැදි රජ්ජුරුවො මස්මාංශ අත්හැරියා. දඩයම් අත්හැරියා. බත් කන්ඩ පුරුදු වුණා. පංච ශීලය රැක්කා. එයාගෙ මායියාත් රැහේ අනෙක් කට්ටියත් එහෙම වුණා. පස්සෙ අර ගෙවල්වලට ගිහින් දිඹුලාගල තිබුණු ගල්ගුහා පවා හාමුදුරුවන්ට දුන්නා. ගොවිබිම්, ජනපද පිහිටුවලා දායකයො ඇතිකරලා සුවිශාල සංවර්ධනයක් මේ පළාතට කරගෙන යනකොට එල්.ටී.ටී.ඊ.ය කලබල වුණා.

ආර්.ප්‍රේමදාස මහත්මයා හාමුදුරුවන්ට බොහොම ආදරය කළා. උන්වහන්සේත් එහෙමයි. දිඹුලාගල පූජා භූමියක් ලෙස ප්‍රකාශ කළේ ප්‍රේමදාස යුගයේ දී. දෙමළ ජනතාවගේ මළගෙයක් වුණත් හාමුදුරුවො හාල් මිටියක් පොල් ටිකක්වත් ඒ ගෙදරට යවනවාමයි. ඒ නිසා ඒ මිනිස්සුත් ලොකු හාමුදුරුවන්ට ආදරෙයි.

සිංහල ජනතාව මෙහි පදිංචි කරවලා ජනපද ඇති කරන කොට විතරක් නොවේ ත්‍රස්ත ප්‍රහාරවලින් අවට ගම්වල ජනතාව සමූහ වශයෙන් මැරෙන කොට හාමුදුරුවො තමයි එතැනට මුලින්ම වඩින්නෙ. උන්වහන්සෙ ඒ වගේ වෙලාවට සමහර තැන්වලට මිනීපෙට්ටි පවා ගෙන ගියා.

ජේ.ආර්.ට නම් හොඳටම බැණපු අවස්ථා තියෙනවා. සමහර ප්‍ර‍ාදේශීය සභාපතිලට කුඩ කැඩෙනකම් ගහපු අවස්ථාත් තියෙනවා. හාමුදුරුවන්ට අසනීප වුණාම බෙහෙත් ගත්තෙ මනම්පිටියෙ හිටපු දෙමළ දොස්තර මහත්මයකුගෙන්. එතුමා හාමුදුරුවන්ට විශ්වාසයි. එක දවසක් දියවැඩියාවට ඉන්ජෙක්ෂන් එකක් ගහලා හාමුදුරුවන්ට බරපතළ ලෙස අසනීප වුණා.

සමහර විට හාමුදුරුවො අපවත් වෙන්නෙ එදා. මෙහෙ හිටපු (නායක හාමුදුරුවන්ගේ තවත් ගෝල රත්නයන් වූ) සීමාලංකාර හිමියන් හා රත්ගම සුනන්දාලංකාර හිමියන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා උන්වහන්සේලා ඒ වෙලාවෙම ප්‍රේමදාස මහත්මයාට කෙසේ හෝ කතා කළා. පැය භාගයක් ගියේ නෑ.

මනම්පිටිය රෝහල් පරිශ්‍රයට හෙලිකොප්ටරයක් ආවා. ඒකෙ නංවාගෙන ලොකු හාමුදුරුවො කොළඹ ඩර්ඩන්ස් රෝහලට ගෙනැවිත් තිබුණා. දින දෙකකට පස්සෙ උන්වහන්සේව හොඳටම සුව වුණා. ප්‍රතිකාර බිල රුපියල් හතළිස්දාහයි. වනවාසී මේ හාමුදුරුවරුන් කොහොම ඒ මුදල හොයාගන්ඩද? ප්‍රේමදාස මහත්මයා තමන්ගෙ සල්ලිවලින් ඒක ගෙවලා තිබුණා.

ලොකු හාමුදුරුවො ගහක් ගලක් වාගෙ මහ තද පපුවක් තිබුණ කෙනෙක්. ඒත් උන්වහන්සේ ප්‍රේමදාස ජනපති මියගිය දවසෙ පොඩි ළමයෙක් වගේ ඉකිගගහ ඇඬුවා මං දැක්කා. දිඹුලාගල විශ්‍රාම ශාලාවක් හැදුවෙත් එතුමා. 1994 දි චන්ද්‍රිකා ජනපතිනිය හිටිහැටියේ එතෙක් හාමුදුරුවන්ට දීලා තිබුණු හමුදා ආරක්ෂාව ඉවත් කරලා පොලිස් භටයන් 4 – 5 දෙනෙක් පමණක් ඉතිරි කළා.

පොලිසියේ වගේ නොවේ හමුදාවේ විනය ඉහළයි. හාමුදුරුවො උදේට ගොවිපළට කැබ් එකෙන් යනකොට ඒ අය කෑම ගනිමින් හිටියත් ඒවා පැත්තක වීසිකරලා හරි දුවලා ගිහින් වාහනයට නඟිනවා. ඒත් පොලිසිය කාලා බීලා එනකම් හාමුදුරුවො ගමන එන්නෙ නැතිව නොවැඩ ඉන්න ඕනෑ. හාමුදුරුවො දරුවන්ට වගේ සැලකුවත් ඒ අය එහෙමයි කටයුතු කළේ.

අපේ ලොකු හාමුදුරුවො වෙලාවට වැඩ කරන කෙනෙක්. 1996 මැයි 26 දා උදේ වෙලාවට හාමුදුරුවො ගොවිපළට වඩින්ඩ සූදානම් වුණා. පොලිසියෙ අය කියලා තියෙනවා ටිකක් ඉන්ඩ හාමුදුරුවනේ කියලා. හාමුදුරුවො ඇහුවෙ නෑ. රියැදුරත් ‍ෙවනදා ඉන්න කෙනා නොවේ හිටියෙ. ටැම්පරි හිටපු කෙනෙක් ඇන්ටන් කියලා. එයා තමයි එදා ආවෙ. ගොවිපළට ගිහින් පැය භාගයක් ගියේ නෑ හාමුදුරුවන්ට වෙඩි තැබුවා කියා ආරංචිය ලැව්ගින්නක් වගේ පැතිරිලා ගියා.

හාමුදුරුවන්ට ඇත්තටම වෙඩි තැබුවේ කවුද? මම ඇසීමි.

ත්‍රස්තවාදීන් හාමුදුරුන්ගෙ වාහනය එන විදිය පිළිබඳව දෙමළ ළමයකුට කියලා සොයා බලලා ඔහුට කියලා තියෙනවා ‘සිග්නල්’ එකක් දෙන්ඩ කියලා. හාමුදුරුවො එදා යන ගමන් බෞද්ධසාර කියලා දන්නා කෙනෙකුත් දාගෙන ගිහින්. ආරංචි වෙච්ච හැටියට ‘L’ හැඩයට ඇම්බුස් දාලා කොටි කුඹුරෙ හිටියෙ.

වාහනය මැණික් ඇළ කුඹුරට ළංවූ ගමන් දෙවැනි ගේට්ටුවේදි වෙඩිවරුසා‍වක් එල්ලවෙලා. පිටුපස්සෙ හිටපු බෞද්ධසාරගෙ ඇහැක් දොට්ට පැනලා වෙඩි වැදිලා. ඇන්ටන් හාමුදුරුවන් ඇදගෙන ඇළට පැනලා යන්ඩ හදද්දී කොටි එයාට වෙඩි තිබ්බා. මෙච්චර වෙඩි වැදිලා වාහනය හිල්වෙලා තිබියදීත් හාමුදුරුවන්ට එක වෙඩිල්ලක් වැදිලා නෑ. බෞද්ධසාර මැරුණෙ ටික වේලාවකට පස්සෙ නිසා මිනිහා සිද්ධිය එතැනට ආපු කෙනකුට දෙන්නකුට කියලා. මිනිහා මුහුණෙ ලේ ගාගෙන මැරිලා වගේ කොටි යනකම් එතැනම හිටියලු.

හාමුදුරුවන්ට වෙඩි තබන්ට බැරි තැන උන් කෙටේරියකින් උන්වහන්සේගේ ඔළුවට කොටලා. “මං මැරෙන්ඩ බය නෑ යකුනේ” කියලා හාමුදුරුවො දෙමළ බසින් උන්ට කිව්වලු අපවත් වෙන්ඩ මොහොතකට කලිනුත්. හාමුදුරුවන්ට වෙඩි නොවැදුණු සිද්ධිය කොටි හොයා බැලුවා.

හාමුදුරුවන්ගේ ඉනේ බලගතු සුර කීපයක් තිබුණා. කොටි ඒ සුර සියල්ලමත් අරන් ගිහින්. හාමුදුරුවො අපවත් වෙච්ච ආරංචියට මුළු රටම කලබල වුණා. මාතරින් කිතලගමින් ලොරි පිටින් ආවා මිනිස්සු. මේ පැත්තෙ දෙමළ ගම් වනසන්ට හිතාගෙන. ඒත් හමුදාව මැදිහත් වී ඒවා වැළකුවා.

ඇත්තටම ‍සොරිවිල ඒ දෙමළ ගමේ මිනිස්සුත් ඇඬුවා. අදත් හඬන අය ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ගම මැදින් ත්‍රස්තයො ආවෙ. මිල්ලානා වැදි නායකයා හාමුදුරුවො අපවත් වෙලා ඉතාම ටික කලක් දුකින් ජීවත් වුණා. එයත් මිය ගියේ අපේ හාමුදුරුවො අපවත් කළ අයට හොඳක් වෙන්ට එපා කියලා.

දිඹුලාගල වත්මන් ආරණ්‍ය සේනාසනාධිපති යෝගාවචර මල්දෙණියේ ජිනාලංකාර නායක හාමුදුරුවන් සොයාගෙන වත්මන් කතාව විමසීමට මම යත්න දරමි. උන්වහන්සේ විස්මකර්ම කැටයම්කරුවෙකි. සියඹලා බුරුත ආදි ලීවලින් තනිවම කෙටු විශාල ප්‍රමාණයේ බුදු පිළිම දොර කැටයම් විහාරය පුරා ඉහිර තිබේ.

උන්වහන්සේගේ විස්කම් වැඩ නිසාම ලොකු හාමුදුරුවන් උන්වහන්සේ ඇමතුවේ ඉංජිනේරු හාමුදුරුවෝ කියාය. දිඹුලාගල ආකාස චෛත්‍යය ද ඒ හිමියන්ගේ කුසලතාවට දෙස් දෙයි. ඉඩහසර බලා මම ඒ කුටියට පිවිස උන්වහන්සේ විමසමි.

“අපේ නායක හාමුදුරුවො නැති වුණාම අප මෙහෙන් යාවි කියලා කොටි හිතන්ඩ ඇති. එහෙම ගියානම් අපට දිඹුලාගලත් නෑ. මං ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගෙන නෑ. හිතට ආපු අදහස් පුළුවන් විදියට ක්‍රියාත්මක කළා. මේ දවස්වල ලොකු හාමුදුරුවන් හීනෙන් කියාපු ඒ අපූරු චෛත්‍යය නිර්මාණය කරමින් ඉන්නෙ. හාමුදුරුවො අපවත් වුණාට පස්සෙ දවස් 13 ක් මේ පැත්තෙ කිසිම දායකයෙක් ආවෙ නෑ. අපට දානෙ නැති වුණා. අපි ජීවත් වුණේ ලුණු කැඳ බීලා.

ලොකු හාමුදුරුවො අපට කියලා දුන්නා අල වලඳන්න. අල නැතිවෙනකොට කොළ වලඳන්න. එහෙම බැරි වුණොත් ලුණු කැඳ වලඳලා හරි ජීවත් වෙන්ඩ. බැරිම වුණොත් බඩගින්නට පොල් කටුවක් බඩට තද කරන් පොළොවේ වැතිරිලා ඉන්ට. අපි ඒ අනුව ඒ දවස් ගත කළා. පස්සෙ ආයිත් දිඹුලාගලට වන්දනා නඩ ආවා. හාමුදුරුවො නැති වුණේ ආරක්ෂාව නැති නිසයි.

ජනාධිපතිතුමා ළඟඳි දිඹුලාගල ආවා. ඇවිත් මා ඉන්නා කුටියට ඉහළින් තියෙන මේ වැසිකිළි කැසිකිළි ගලවලා අලුතින් හදන්ඩ අදාළ අංශවලට නියම කළා. දිඹුලාගල නවෝදයට අත හිත දෙන්ඩ චෛත්‍යයට උදව් කරන්ඩ එතුමා මෙහෙට එව්වෙත් ලොකු හාමුදුරුවන්ගෙ වටිනා සේවය හා ආශිර්වාදයමයි කියලා හිතෙනවා.

ලොකු හාමුදුරුවන්ගේ තවත් පන්සලක් වූ නාමල් පොකුණ රජමහා වෙහෙරේ දැන් වැඩ සිටින්නේ එදා මිල්ලානේ වැදි රජුගේ පුත් කුමරා ලෙස සිට පසුව පැවිදි වූ කෙනෙකැයි අපි ඇසීමු. අප ඒ විහාරය සොයා ගියේ එපවත් තවත් හොඳින් විපරම් කරනු පිණිසය. මිල්ලානේ සිරියාලංකාර හිමියන් දැන් මා අබිමුවය.

මගේ ගිහි කල පියා තමයි මිල්ලානේ වැදි රජු. පසුව යාපා නමින් හැඳින්වුණේ. මස් කකා ජීවත්වූ අපට පංචශීලය කියා දුන්නෙ ලොකු හාමුදුරුවන්. උන්වහන්සේගේ අපවත් වීම මටනම් අදටත් ප්‍රශ්නයක්. උන්වහන්සේට තරහකාරයො හිටියානම් ඒ කොටි. ඒත් ඒ අයට මේ පළාතේ කවුරුත් උදව් කරන එකක් නෑ.

එහෙම දෙයක් කරන්න. කවුද? හාමුදුරුවන්ගේ ආරක්ෂාව ඉවත් කරන්ඩ අණ දුන්නේ. ඒ අය තමයි කාරණාව දන්නෙ. මා ලොකු හාමුදුරුවන්ගේ මඟ පෙන්වීමෙන් පියාගේ ආශිර්වාදයෙන් ශාසනයට ඇතුළු වුණා. මගේ සසර කුසල කර්ම පල දීලයි මට ස්වාමින් වහන්සේ නමක් වෙන්ඩ ලැබුණේ. මේ වගේ මිථ්‍යා ද්‍රෘෂ්ටිගත කට්ටිය බොහොමයක් ලොකු හාමුදුරුවො සුමගට ගත්තා. බුදු මඟ ආලෝකය පෙන්වා දුන්නා.

සොරිවිල කේශාලංකාර හිමියන් ද වැඩ වසන්නේ දිඹුලාගලය. උන්වහන්සේ සොරිවිල දෙමළ ගමේ නායකයාගේ ගිහි කල පුත්‍රයාය.

මං දෙමළ. අපේ ගමටත් ලොකු හාමුදුරුවො වඩිනවා. අපේ පියා සමඟ කිට්ටුයි. දවසක් ඉල්ලුවා මාව මහණ කරන්ඩ. ඇත්තටම මට මේ වගේ පැවිදි ජීවිතයක් ලැබුණේ ඒ මඟ පෙන්වීමෙන්. අපෙ ලොකු හාමුදුරුවො මතු බුදු වේවි…

ඒ හිමියන්ගේ පවුලේ සහෝදරයන් කීපදෙනකුම සිටි බවත් ඔවුන් පසුව ත්‍රස්ත කල්ලිවලට සම්බන්ධ වී හමුදා ප්‍රහාරවලින් මිය ගිය බවත් ඇතැම්හු කියති. ලොකු හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පසු ආරක්ෂක අංශ මේ ගම් පීරා පරීක්ෂණ පැවැත්වූහ. මිල්ලානේ හා සොරිවිල නම් දෙමළ ගම්වල චූදිතයන් කීප දෙනෙකු අල්ලා හිරකැර වසර ගණනාවක් තබා ගත් බව කියැවේ. සමහරෙක් දැන් නිදහස් වී පැමිණ සිටිති. ඔවුන් සොයා ගන්නට ‍ඒ දෙමළ ගම්වලට යන්නට ද මට සිදුවෙයි.

මිල්ලානේ පියදාස ගඩොල් කපා හෝ කාගේ හෝ කුලියක් මලියක් කැර දිටි ගැට ගසා ගන්නෙකි. ඔහු මිල්ලානේ 28 ගෙදර පදිංචිකරුවෙකි. ෂඩේ අම්මා නොහොත් ඔහුගේ බිරිය තෙයිවානි ද මේ හේතුව නිසා ආණ්ඩුවේ බෝඩිමේ බොහෝ කල් සිටියහ.

පියදාස මා අල්ලා ගත්තේ කුලී වැඩ බිමකදීය.

මහත්තයො, අපි කාටවත් කරදරයක් නැති මිනිස්සු. කොටි කියලා අප දන්නෙ නෑ. උන් මේ ගමට ආවා ගියා. ඒ අයට කන්ඩ බොන්ඩ දුන්නා. පාර පෙන්නුවා කියලා චෝදනා ආවෙ. උන් කියන දේ නොකළොත් අපට උන් ගහනවා. තළනවා. පෙළනවා.

ඒවා කළොත් හමුදාවෙන් අපට තළනවා. අපි දෙපැත්තටම නැතිව ජීවත් වුණත් හාමුදුරුවන්ට සමීපයි. උන් වහන්සේ අපේ ගමට උදව් කළා. මළගෙයක් වුණත් පෙට්ටිය පවා අරන් දුන්නා. දානෙට හාල් එව්වා. අප කොහොම ද? උන්වහන්සේ මරන්ඩ ඔත්තු දෙන්නෙ. අවුරුදු ගණනාවක් අපට වධ දීලා කරදර කරලා බැරිම තැන එළියට දැම්මා. මගේ නෝනගෙ මල්ලි තමයි උන්ට එකතු වෙලා හිටියේ. අන්තිමේ එයා රට පැනලා ගියා.

ෂඩේ අම්මා සොයා ගිය මට ඇය ද හමුවිය.

මාත්තයො මගෙ නම තේවානි. ෂඩේ අම්මා කියන්නෙ ගමේ අය හුරතලයට. සී. අයි. ඩී. එකේ දවස් 45 ක් මං නොවිඳිනා දුක් වින්දා. අපේ මල්ලි උන් එක්ක එකතු වෙලා හිටියා කියන කතාව ගම පුරා ගියා. ඒ මදිවට හාමුදුරුවන්ගෙ වාහනය එළවපු ඇන්ටන් මගේ ලොකු දුව බඳින්ඩ හිටියෙ.

අපි ඔත්තු දුන්නා කන්ඩ දුන්නා කියලා අපව අරන් ගියෙ. මගෙ කනේ එක පැත්තකට පෑනක් දාලා ගැහුවා අනෙත් පැත්තෙ කනෙන් එළියට එන්ඩ. ඒත් වාසනාවට ඒක මඟ හිර වුණා. බේත්වත් දැම්මෙ නෑ. මල්ලි හාමුදුරුවො මරන්ඩ යනවා කියලා ළිඳ ළඟදීත් තමුන්ට කීවා නේද?
කියලා ඇහුවාම මා නැහැ කීවා. ඒ වතාවෙ බෝතලයක් අරන් මගේ රහසඟ ප්‍රදේශයට ඔබන්ඩ සූදානම් වුණා. මා ඒ වෙලාවේ බොරුවට කීවා ඔව් මල්ලි ඒක කිව්වෙ ගේ ඇතුළෙදි කියලා. නැත්නම් ඒකත් කරනවා. මගෙ දරුවො බාල දෙන්නා විතරයි ගෙදර තියන්ඩ පුළුවන් වුණේ. ඒ අය ජීවත්වුණේ අහල පහල ගෙවල්වල බැල මෙහෙකම් කරලා. මාස 18 කට පස්සෙ මාව එව්වත් මගෙ මිනිහා අවුරුදු ගණනක් තියාගත්තා.

ෂඩේ අම්මාගේ පුතකු වන සංජීව නම් තරුණයා අපේ කතාව මැදට පැන්නේය.

මහත්තයො, මට දැන් අවුරුදු 27 යි. මං එදා අවුරුදු 9 ක පොඩි කොල්ලෙක්. පොඩි කොල්ලෙක් මොනවා දන්නවා ද? කොටි ඇවිත් මට ටොපි බෝතලයකුයි, චොක්ලට් බෝතලයකුයි දීලා කිව්වා, මල්ලි හාමුදුරුවන්ගෙ කැබ් එක එනකොට අතින් සැලියුට් එකක් දාන්ඩ කියලා.

මං ඒක කළා නොදන්නාකමට. මං හිතුවෙ නෑ මෙතැන මිනීමැරුමක් වෙනවා කියලා. අද මට ඒකෙන් සිද්ධ වෙච්ච දේ මොකක්ද? මහත්තයො මට එළියට එන්න ලැබුණේ අවුරුදු 15 දී. මාව ළමා නිවාසයකට දැම්මා. හැබැයි! අකුරක් ඉගැන්නුවෙ නෑ.

මට ‘අම්මා’ කියලා ලියා ගන්ඩ බෑ. රජයේ රස්සාවක් ගන්ඩ බෑ. සමහරු අදත් හාමුදුරුවො මරන්ඩ උදව් කළ අය කියලා අපව පිළිකුල් කරනවා. පුද්ගලික තැනකවත් මට සලකන්නෙ නෑ. අපි ජීවත්වන්නෙ කොහොම ද? ඔහු මගෙන් අසයි.

ඒත් මේ තරම් වටිනා අමිල මෙහෙයක් කළ සඝ පීතෘනමක් මරා දැම්මේ ඇයි ද යන්න මමත් තවමත් අසමි.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

Facebook Comments

more recommended stories

%d bloggers like this: