ගෙදර ඉඳන් අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි මෙන්න..! (VIDEO)

වර්තමානයේ විවිධ වෙබ් අඩවි වලින් පළ කරන විවිධ දැන්වීම් අතරින් වැඩි අවධානයට ලක් වෙන දැන්වීමක් තමයි නිවසේ සිටම ‘අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවීම‘ ගැන පළවන දැන්වීම්. මේ වගේ දැන්වීම්වලින් කියැවෙන්නෙ ගෙදර වැඩ කටයුතු කරන අතරේ ගෙදර ඉඳන් ම ආදායම් මාර්ගයක් විදියට අන්තර්ජාලය ඔස්සේ විවිධ ක‍්‍රමවලින් මුදල් උපයන්න පුළුවන් කියලයි. උදාහරණ විදියට ඇඞ්වර්ටිස්ට්මන්ට් ක්ලික් කිරීම, ෂෙයා කිරීම වගේ බොහොම පහසු දේවල් තමයි කරන්න තියනවා කියලා කියන්නෙ. ඒ සඳහා ඉංග‍්‍රීසි දැනුමක් පවා අවශ්‍ය නැහැ කියලා මේ දැන්වීම්කරුවන් කියනවා. නමුත් මේ ක‍්‍රම මගින් මුදල් උපයන්න පටන් ගන්න කලින් යම් කිසි මුදලක් ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කළ යුතුයි කියලත් ඔවුන් කියනවා. අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන්න තමන්ගේ මුදල් ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කළ යුතු වෙන්නෙ නැහැ. එය බොහෝ විට හොර ජාවාරමක් වෙන්න පුළුවන්. ඒ නිසා අන්තර් ජාලයෙන් මුදල් උපයන්න හිතාගෙන ඔබේ මුදල් අනුන්ගේ ගිණුම්වල තැන්පත් කරන්න තරම් අඥාන වෙන්න එපා.

දැන් අපි බලමු අන්තර්ජාලයෙන් ඇත්තටම මුදල් හොයන්නේ කොහොමද කියලා.

01. හැකියාවෙන් මුදල් ඉපැයීම

ඉන් පළමු වැන්න තමයි ඔබෙන් යම්කිසි කාර්යයක් කරගෙන ඒ සඳහා කලින් කතා කර ගෙන ඇති ආකාරයට මුදල් ගෙවීමේ පදනම මත ඔබව සේවය බඳවා ගන්නා ආයතන. ඒ කියන්නෙ ඔබ ටයිපින්වලට දක්ෂ නම් ඔබට කියලා ඔවුන්ගේ ලිපි හෝ වෙනත් ලියකියවිලි ටයිප් කරගෙන පිටු ගණනට මුදල් ගෙවීම් කරනවා. එහෙමත් නැත්නම් ඔබ ග‍්‍රැෆික් ඩිසයිනි වලට දක්ෂ නම් ඔබෙන් එවැනි රාජකාරියක් කරගෙන ඒ සඳහා කතා කර ගත් විදියට මුදල් ගෙවනවා. ඔබ චිත‍්‍ර අඳින්න දක්ෂ නම් ඔබෙන් ඒ කාර්යයන් කරගෙන මුදල් ගෙවනවා. මෙතනදි සිදු වෙන්නෙ අනිත් හැමෝම දන්නෙ නැති ඔබ විසින් දක්ෂකමක් සහිත යම් කාර්යයක් වෙනුවෙන් මුදල් ගෙවීමක්. එය දැන්වීම් ක්ලික් කර මුදල් ලබා ගැනීමට වඩා ඉතාම වගකීමත් සහිත දෙයක්. ලෝකයේ විවිධ රටවල එවැනි සේවා ලබා ගන්නා ප‍්‍රසිද්ධ වෙබ් අඩෙවි තියනවා.

02. නිර්මාණාත්මක ලිපිවලින් මුදල් ඉපැයීම

අනිත් ආකාරය තමයි ෆ‍්‍රීලාන්ස් රයිටිං කියලා හඳුන්වන නිදහස් ලේඛනය. මෙහිදී සිදු වෙන්නෙ විවිධ වෙබ් අඩවි වලට ඔබ විසින් ලියන ලද ලිපි ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබට ආදායමක් ලැබීම. ඒ වගේම ෆ‍්‍රීලාන්ස් රයිටිං වලදි ගෙවීම් සිදු වෙන්නෙ ලිපියේ ඇති වචන ගාණට අනුවයි. සාමාන්‍ය ක‍්‍රමවේදය වෙන්නෙ ලොව පිළිගත් වෙබ් අඩවි වලින් උසස් තත්වයේ ඉංග‍්‍රීසි ලිපියක නම් එක් ඉංග‍්‍රීසි වචනයකට ඩොලර් ශත 50බැගින් ගෙවනවා. නමුත් හැම වෙබ් අඩවියකින්ම එහෙම ගෙවන්නෙ නැහැ. ලිපියේ වටිනාකම අනුවත් ගෙවීම් අඩු වැඩි වෙනවා. ඒ වගේම ඔබ ඉංග‍්‍රීසි භාෂාවට අමතරව තවත් විදේශීය භාෂා දන්නවා නම් ඔබට මෙවැනි ලිපි සැපයීම හෝ ලිපි පරිවර්තනය කිරීමෙන් ඉතා ඉහල ආදායමක් ලබන්න පුළුවන්.

03. පරණ භාණ්ඩ විකුණා මුදල් ඉපැයීම

අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයිය හැකි තවත් ක‍්‍රමයක් තමයි ඔබේ ගෙදර තිබෙන ඔබට අවශ්‍ය නැති භාණ්ඩ විකිණීම. දැන් ඔබට හිතෙයි ඔබට වුවමනා නැති පරණ දේවල් අනිත් අය මිලදී ගනී ද කියන කාරණය. ලෝක ප‍්‍රකට ඊ බේ වෙබ් අඩෙවියේ ආරම්භය සිදු වුණෙත් ඒ විදියට. ඊ බේ නිර්මාතෘ පියරේ ඔමින්යාර් ළඟතිබුණු කැඩුණු ලේසර් පොයින්ටර් එකක් ගැන විස්තරයක් ඔහු අන්තර්ජාලයේ පළ කර තිබුණා. විනෝදාංශයක් විදියට කැඩුණු ලේසර් පොයින්ටර් එකතු කරන්නෙක් ඔහුගෙන් එය මිලදී ගෙන තිබුණෙ විස්තර පළ කර දින දෙකක් ගත වෙන්නත් කලින්. ඉතින් මේ ක‍්‍රමවේදය මගින් ඔබේ ගෙදර තිබෙන ඕනෑම දෙයක් මුදල් බවට පත් කර ගන්න ඔබට බැරි වෙන්නෙ නැහැ. ඔබට වුවමනා නැති වුණත් ලෝකයේ කොහෙ හරි ඉන්න කෙනෙකුට වටිනා දේවල්  ඕන තරම් ඔබේ ගෙදර තිබෙන්න පුළුවන්.

04. බ්ලොග් අඩෙවි මගින් මුදල් ඉපැයීම

ඒ වගේම ඔබ හොඳ නිර්මාණාත්මක ලේඛකයෙක් නම් ඔබට පුළුවන් බ්ලොග් එකක් පටන් ගන්න. ඒ කියන්නෙ ඔබේ ලිපි එකතුවක් සහිත බ්ලොග් අඩෙවියක්. එතකොට ඔබේ ලිපි කියවන්න කැමති අය ඔබේ බ්ලොග් එකට ඇවිල්ලා ඒවා කියවනවා. හැබැයි එහෙම කියෙව්වා කියලා ඔබට මුදල් ලැබෙන්නෙ නැහැ. නමුත් කාලයක් යද්දි ඔබේ බ්ලොග් එක ගොඩක් අය අතර ප‍්‍රසිද්ධ වුණොත් ගොඩක් අය ඔබේ ලිපි කියවන්න බ්ලොග් එකට යන්න එන්න පටන් ගන්නවා. එතකොට දැන්වීම්කරුවන් ඔබේ පසුපස ඇවිත් ඔවුන්ගේ දැන්වීම් ඔබේ බ්ලොග් එකේ පළ කර ගන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් ඔවුන් ඔබට මුදල් ගෙවනවා. මේ විදියටත් බොහොම පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන්න පුළුවන්.

දුලංජලී මුතුවාඩිගේ

more recommended stories