ආදරය කරද්දී කෙල්ලො කොල්ලො කරන ලොකුම වැරදි ටික මෙන්න..!

1 නිතරම වැරදි හොයන එක

හැමතිස්සෙම තමන්ගෙ අඩුපාඩු ගැන පැමිණිලි කරන අයට කවුරුවත් කැමති නෑ. මොකද මේ ලෝකෙ හැමෝම ආසයි අගයකිරීම් අහන්න. හැබැයි හුගක් අය නිතරම තමන්ගෙ පෙම්වතාට පෙම්වතියට අඩුපාඩු කියන්නෙ ඊළග වතාවෙදිවත් හැදෙයිනෙ කියන සිතුවිල්ලෙනුයි. නමුත් ඒක එතරම් හොඳ අදහසක් නෙමෙයි. අඩුපාඩු කියාදෙන ක‍්‍රමයක් තියෙනවා. අඩුපාඩු කියද්දී කතා කළ යුත්තේ හිත රිදෙන විදියට නෙමෙයි. කරුණාවෙන් හොඳ වෙලාවක් කලාවක් බලලා හිමිහිට තේරුම් කරල දෙන්න තරම් ඉවසීමක් අපි කවුරුත් ළග තියෙන්නම  ඕන.

පොඩි පොඩි අඩුපාඩුකම් නම් හිතෙන් අමතක කරලා දාන්නමයි  ඕන. මොකද සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙ නෑනෙ.

2 තමන් ගැන තියෙන අඩු තක්සේරුව

ජීවිතේ හැම දෙයක් ගැනම වගකීම අනෙකාට පවරලා තමන් නිදහස් වෙන පුරුද්ද හරිම නරක එකක්. තමන්ගෙ දියුණුවට වැඩ කරන, තමන්ගෙ දැනුම වැඩිකර ගන්න උත්සාහ කරන, සාර්ථකත්වයට මහන්සි වෙන ගැහැණියක් හෝ පිරිමියෙක් තමන්ගෙ වෙනවට කවුද අකැමැති? තමන්ගේ අනාගත ජීවිතයට බයක් නැතුව එක්කන් යන්න පුලූවන් අන්න ඒ වගේ ගැහැණියක් හෝ පිරිමියෙක් තමයි.

3 ආදරේ අවියක් කරගන්න එක

තමන්ට තියෙන ආදරේ උකස් කරලා පෙම්වතා හෝ පෙම්වතිය ලවා වැඩ කරවා ගන්න එක ඇතැම් අයගේ තියෙන නරක පුරුද්දක්. මට ආදරේ නම් අරක කරන්න, මට ආදරේ නම් මේක කරන්න කියලා ඉල්ලිම් ඉල්ලන්න එපා. විවාහ ජීවිතේදීත් මේවගේ වැරදි කරන අය ඉන්නවා. තමන්ගේ සිරුරට හෝ ලිංගිකත්වයට තියෙන කැමැත්ත තුරුම්පුව කරගැනීම දිගු කාලීන සම්බන්ධයකදී ඉතාම නරකට හිටින පුරුද්දක්.

4 එයාව වෙනස් කරන්නම හදන එක

හැසිරීම්වල පොඩි පොඩි වෙනස්කම් ටිකක් මිසක් ආදරේ කරන්න පටන් ගත්තා කියලා ලොකුවට මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ. ඒක කාන්තාවන්ටත් පිරිමින්ටත් පොදුයි. හුගක් අය පේ‍්‍රම සම්බන්ධතා පටන් ගන්නෙ දැන් ඔහොම උනාට පස්සෙ මට වෙනස් කරගන්න පුලූවන් කියලා හිතාගෙනයි. ඇත්තම කිව්වොත් එහෙම වෙනස් වෙන කට්ටියක් නෙමෙයි මිනිස්සු කියන්නෙ. වෙනස් කරගන්න හිතාගෙන යාලූවෙනවා කියන්නෙ සදාතනික අරගලයක් පටන් ගන්නවා කියන එකයි.

ඔබට විසදුම් දෙකක් තියෙනවා. එක්කො අකැමැති ගතිගුණ තියෙන අය එක්ක යාලූ නොවී ඉන්න. නැත්නම් යාලූවෙන කෙනාගෙ තියෙන ගතිගුණවලට කැමත්තක් ඔබේ හිතේ ඇති කරගන්න.

5 සමාව ඉල්ලලා වැඳවැටේවියි බලාපොරොත්තු වෙන එක

බොහෝ පේ‍්‍රම සම්බන්ධකම්වලදී ගැටුමක් ඇති වුණාම සිද්ධ වෙන්නෙ හැමදාම එක්කෙනෙක්ම සමාව ඉල්ලන එකයි. ඒකෙන් කියැවෙන්නෙ එක්කෙනෙක් හැමතිස්සෙම වැරදිකාරයෙක් කියලද? හපොයි නෑ. හැමතිස්සෙම ගණං උස්සන කෙනාට තද හිතක් තියෙනවා කියන එකයි. සමහර විට අනෙකා නිතරම සමාව ඉල්ලන්නෙ එයාගෙ හිත හොඳකම නිසා වෙන්න පුලූවන්.

සමාවෙන්න කියන්න ලැජ්ජ වෙන්න  ඕන නෑ. ඒ වගේමයි මතක තියාගන්න හැමතිස්සෙම සමාවෙන්න කියලා වැඳ වැටීගෙන කාගෙවත් පස්සෙන් යන්න  ඕනත් නෑ.

6 අදහස් පළ නොකීරීම

හුගක් පවුල් ඇතුලෙ හැමතිස්සෙම තීරණ ගන්නෙ එක්කො තාත්තා. නැත්නම් අම්මා. දෙන්නා කතාවෙලා බර බෙදාගෙන තීන්දු ගන්නවා හරි අඩුයි. මේ නිසා බර දැනෙන්නෙ හැමතිස්සෙම එක්කෙනෙකුට විතරයි. මේකෙ ආරම්භය තියෙන්නෙ ආදරේ කරන්න පටන් ගන්න මුල්ම කාලෙ. හෝටලේකට ගිහින් කන්න  ඕඩර් කරන්නෙ මොනවද කියලා ඇහුවම ඔයා කැමති දෙයක් කියලා කියන කෙනෙකුට නම් ඔබ ආදරේ කරන්නෙ අනිවාර්යයෙන්ම ඔබට කවදා හරි සිද්ද වෙන්නෙ පවුලෙ බරත් තනියම අදින්නයි.

මේ නිසා අදහස් පළ කිරීම හරි ලොකු වටිනාකමක් තියෙන දෙයක් කියලා තේරුම් ගන්න. එක්කෙනෙකුට තේරෙනවට වඩා වැඩි ප‍්‍රමාණයක් දෙන්නෙක් එක් වුණාම අවබෝධ වෙනවා. ඒ මත පළ කිරීමෙන් පවුලේ සංවර්ධනයට ලොකු දායකත්වයක් ලැබෙනවා. කිසිම වෙලාවක අනෙකාගේ මත හෑල්ලූවට ලක් කරන්නත් එපා. හවුලේ ගමනක් යනවා නම් දෙදෙනාටම සමාන වටිනාකමක් තියෙන්න අවශ්‍යයි.

සඳමාලි වර්ණසූරිය

Facebook Comments

more recommended stories

%d bloggers like this: