නොහිතූ අනතුරකට මුහුණ පෑ ගාමිණී ලෙඩ ඇඳේ සිට කතා කරයි..!

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මේ වන විට ඉන්නේ කරාපිටිය රෝහලේ නවය වාට්ටුවේ. ඒ ඔහු නොහිතූ අනතුරකට මුහුණ පෑ නිසා. රංගනයේ සොඳුරු ඉසව්වක සොඳුරු මෙහෙවරක යෙදුණු ඔහුව සොයාගෙන කරාපිටිය රෝහලට අපි ගියේ ඔහුගේ සුවදුක් සොයන්නටයි.

ඔබට කරදරයකට මුහුණ පාන්න සිද්ධ වුණා නේද?

ඔව්නේ. ගාල්ලේදී අනතුරකට මුහුණ දුන්නා.

මොකද්ද ඇත්තටම එදා සිද්ධ වුණේ?

පාටියකට ගිහින් එද්දී මගේ ප්‍රෙෂර් වැඩි වුණා. ඊට පස්සේ මම වැටුණා. ඒ වැටුණ වෙලාවේ මගේ කකුලේ ඇඟිලි පහක් නැමුණා. මාව රෝහල් ගත කරලා එක්ස්රේ ගත්තම ඒ ඇඟිලි මැරිලා නිසා ඇඟිලි පහම කපන්න වුණා.

දැන් දවස් කීයක් වෙනවද රෝහල් ගත වෙලා?

දැන් සති දෙකකට වඩා රෝහල් ගත වෙලා ඉන්නේ.

නොහිතපු දෙයක් නේද සිද්ධ වුණේ?

ඇත්තටම මේ දේ ගැන මට හිතා ගන්න බෑ. මට වුණ දේ මතක් වෙද්දී ඇඬෙන වාර අනන්තයි. ඒත් මම හිත ශක්තිමත් කරගන්නවා.

දැන් වෛද්‍යවරු මොකද කියන්නේ?

දැන්මම ටිකට් කපන එකක් නැහැ. ඇඟිලි බද්ධ කරන්න පුළුවන් කියලත් ඩොක්ටර්ස්ලා කිව්වා. වම් කකුලේ ඇඟිලි පහ තමයි කපලා තියෙන්නේ. එහෙම ඇඟිලි බද්ධයක් කරන්න පුළුවන්ද කියලා බලනවා.

සිදුවුණ අනතුර නිසා රංගන කටයුතුවලිනුත් ටිකක් අෑත් වෙන්න වුණා නේද?

ඇත්තටම මම හිතුවෙවත් නැති දෙයක් සිද්ධ වුණේ. මේ වුණ දේ නිසා රංගන කටයුතුවලින් කාලයක් අෑත් වෙලා ඉන්න සිද්ධ වෙනවා.

මේ අනතුර සිද්ධ වෙන්න කලින් කරමින් හිටපු වැඩත් මඟ නතර වෙයි නේද?

වේදිකා නාට්‍ය නම් හැමදාම වේදිකා ගත වෙන්නේ නැහැ. “කඩවර අඩවිය” කියන ටෙලි නාට්‍යයට තමයි මම පහුගිය ටිකේ සම්බන්ධ වෙලා හිටියේ. ඒකේ දෙවැනි ෂෙඩූල් එකට නම් දින දීලා තිබුණේ නැහැ.

වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා ඇති?

ඔව්. ඔවුන් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

රංගන ශිල්පියෙක් ලෙස ඔබ ගොඩනඟාගත් පරිසරයත් ඔය සහයෝගයට හේතු වෙනවා ඇතිද?

ඇත්තටම ඒකත් බලපානවා ඇති. රංගන ශිල්පියෙක් වුණා වගේම අපි ගුණයහපත් මිනිස්සු. ඒ වගේම පොළොවේ පය ගහලා ජීවත් වෙන නිසා එයාලා ඕන කෙනෙක් සහයෝගය දෙනවා පුළුවන් විදියට.

ක්ෂේත්‍රයේ යාළු මිත්‍රයෝ ඔබගේ සැපදුක් බලන්න ආවද?

ඔව්. රොඩ්නි, සරත් කොතලාවල, සරත් චන්ද්‍රසිරි, තිරිමාදුර, ෆර්නි රෝෂනී, තරංගි වගේ ක්ෂේත්‍රයේ ඇසුරු කරන අය බොහෝ දෙනෙක් ආවා මාව බලන්න. ගොඩක් අය මට උදවු පවා දීලා ගියා.

ඔබ හිත මිතුරෝ හම්බ කරලා තියෙන පාටයි?

මම එහෙම කාටවත් වරදක් කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මගේ හිතමිත්‍රයෝ, ඒ වගේම මට ආදරය කරන ප්‍රේක්ෂකයොත් මාව බලන්න ආවා.

ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඔබට කියන්නත් යමක් ඇති?

මට ඉක්මනට සනීප වෙන්න කියලා ආශීර්වාද කරන්න කියලා තමයි මම හැමෝගෙන්ම ඉල්ලන්නේ.

ඔහුගේ ප්‍රාර්ථනාව ඔබ අනිවාර්යයෙන්ම ඉෂ්ට කරයි කියලා අපිට විශ්වාසයි. ඉක්මනින්ම සුවය ලබා රංගනයේ සොඳුරු ඉඩක සැරි සරන්න ඉක්මණින්ම එක්වෙන්න, හදගැස්මේ අපිත් ඔහුට ආශීර්වාද කරන්න පසුබට වෙන්නේ නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූපය – ඉමදුව ටී. විතානවසම්

Facebook Comments

more recommended stories

%d bloggers like this: