කුණුහරුප කියමින් පිස්සෙක් වගේ ගාමිනි ලොකුගේ පාර්ලිමේන්තුව දෙවනත් කරපු හැටි මෙන්න..! (VIDEO)

රටේ පවතින වර්ෂාව, අධික සුළං හා කුණාටු තත්ත්වය පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි දියවන්නා ඔය ප්‍රදේශයේ දක්නට ලැබිණි. නමුත් එමඟින් පාර්ලිමේන්තු සංකීර්ණයට කිසිදු බලපෑමක් නොවූ අතර සුපුරුදු පරිදි ඊයේ (30දා) දින උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

අයහපත් කාලගුණ තත්ත්වයක් තිබුණද ඊයේ දින පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවැතිණි. එසේ වැඩිපුර පැමිණ සිටියේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ය. ඊට විශේෂ හේතුවක්ද තිබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට ගිය කාරණය අග්‍රාමාත්‍යවරයා විසින් මැතිසබයට පැහැදිලි කරන ලදී.

‘කොමිසමේ සාක්ෂි විභාගයේදී මෙතෙක් අනාවරණය නොවූ කරුණු කිහිපයක් පිළිබඳව කොමිසම හමුවේ කරුණු දැක්වීමට සිදුවුණා. ඒ 2015 වසරේ අප ආණ්ඩුව භාරගන්නා විට රටේ තිබූ මූල්‍ය තත්ත්වයයි.’

‘කරුණු 20ක් සම්බන්ධයෙන් කොමිසම මඟින් පැහැදිලි කිරීම් ඉල්ලා සිටියා. ඉන් පසුව තවත් කරුණු 28ක් සම්බන්ධව තොරතුරු විමසා සිටියා. මම ඒ සියල්ල සම්බන්ධව ලිඛිතව පිළිතුරු ලබාදුන්නා. මේ අතර මා දුන් පිළිතුරු කිහිපයක් ගැන වැඩිදුර කරුණු පැහැදිලි කරගැනීමට අවශ්‍ය බව කොමිසම දන්වා සිටියා. ඒ අනුව නොවැම්බර් මස 20 වැනිදා මම කොමිසම හමුවට ගොස් කරුණු පැහැදිලි කළා’ යනුවෙන් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරන ලද කරුණු ගැන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් දීර්ඝ ලෙස මැතිසබය දැනුවත් කරන ලදී.

ඊට අමතරව පසුගිය ආණ්ඩුවේ පාලකයන්ට අනතුරු ඇඟවීමක් සිදු කිරීමටද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැත.

“දැනට ක්‍රියාත්මක වෙන බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වීමෙන් අනතුරුව 2008-2014 කාලය තුළ සිදු කර ඇති වංචා පිළිබඳව සෙවීමට අප බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මෙම කාලය තුළ පාර්ලිමේන්තුවට නොදන්වා ලබාගත් ණය හා නිකුත් කළ බැඳුම්කර පිළිබඳව පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වෙනවා’ යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී.

මේ සමඟම මැති ඇමැතිවරු ඇතුළු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මේසවලට තට්ටු කරමින් සතුට ප්‍රකාශ කරන්නට වූහ. ඔවුන් සමඟ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද මේසවලට තටිටු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවට සිය ප්‍රශංසාව පළ කිරීම විශේෂත්වයකි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා වේගයෙන් තම මේසයට තට්ටු කරන ආකාරයක් දක්නට ලැබිණ.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදු වූයේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා අතරය.

සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ඊයේ කාරක සභා අවස්ථාවේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට සහභාගි වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස විවේචනයට ලක් කළේය.
විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා ඊට ප්‍රතිචාර දැක්වීම නිසා මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.
පො….. යා සහ පි…සා යන වචන මැතිසබය තුළ රැව්දුන් අතර මෙම බැන ගැනීම් විනාඩි කිහිපයක් තිස්සේම පැවැතුණි.

මැතිසබය තුළ මෙසේ බැන නොගන්නා ලෙසත් මෙසේ බැන ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගන්නා ලෙසත් එම අවස්ථාවේදී මුලසුනේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
‘ඡන්ද පොඩ්ඩක් අරගෙන ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ඇවිල්ලා මෙතැන අභූත චෝදනා එල්ල කරනවා’ යනුවෙන් ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා චෝදනා එල්ල කළේය.

‘හොරකම් කරලා මෙතැනට ඇවිල්ලා කෑගහනවා’ යනුවෙන් ප්‍රතිචාර දැක්වූයේ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය.”අපි හොරකම් කරලා ආවේ නැහැ. ඇමෙරිකානු ඩොලර් මිටි ගණන් හම්බවුණේ කාගේ සේප්පුවේ තිබිලාද’ යනුවෙන් විමසුවේ ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයාය.

‘හොරකම් කරලා කෑගහන්න ලැජ්ජා නැද්ද?’ යැයි විමසුවේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයාය.
‘සමහරුන්ට බෙහෙත් වෙලාවට බොන්නේ නැති වුණාම පිස්සු හැදෙනවා’ ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා ප්‍රතිචාර දැක්වීය.’
‘පි… සා, පි… සා’ යනුවෙන් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කෑගැසීය.

‘මෙයා ෆොන්සේකා නෙවෙයි. පො…. යා, පො…යා’ යනුවෙන් ගාමිණි ලොකුගේ මන්ත්‍රිවරයා කෑගැසුවේය. මීට අමතරව සතුන්ගේ නම් කියමින්ද දෙදෙනා බැනගත්හ.

මෙහිදී දිගින් දිගටම ගාමිණි ලොකුගේ විසින් කුණුහරුප පැවසීම නිසා පාර්ලිමේන්තුව කෙතරම් හෑල්ලුවට ලක් වෙනවාද යන්න මන්ත්‍රීවරුන් අතරේ කතා බහට ලක්විය

ඉන් පසුව දෙදෙනා අතර තදබල ලෙස වචන හුවමාරුවක් සිදු වූ අතර ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස මුලසුනේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා දැනුම් දුන්නේය. මේ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ප්‍රහාරයක් එල්ල කළේය. ඒ කොළඹ නගරය අලංකාර කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ගිය වැඩපිළිවෙළ දැනට සිදුනොකෙරෙන බවත් කැළි කසළ කළමනාකරණය කිරීමටද ගෝඨාභය රාජපක්ෂ මහතා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවද උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කෙළේය.

මෙගා පොලිස් අමාත්‍යාංශයෙන් දැන් සිදුවන්නේ මෙගා ඩීල් බවටද ගම්මන්පිල මන්ත්‍රිවරයා චෝදනා නැඟීය.

‘කැළි කසළ කඳු ගොඩගැහුවේ ගෝඨාභය රාජපක්ෂ, කොළඹ ඉඩම් විකුණුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ. මේ මන්ත්‍රිතුමා එක එක කොන්ත්‍රාත් භාරගෙන අපේ චරිත ඝාතන කරන්න එපා කියලා කියන්න කැමැතියි. කසළ කළමනාකරණය කරලා කොළඹ ලස්සන කළේ වත්මන් ආණ්ඩුවයි’ යනුවෙන් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීය.

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු වන සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එසේ දෙහි කපද්දී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුති කිරීමද විශේෂත්වයකි.

කොළඹ නගරය ලස්සන කිරීම ගැන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මං කෘතඥතාව පළ කරනවා. ඒක හොඳ වැඩක්. එවැනි හොඳ වැඩකට දේශපාලන භේද අවශ්‍ය නැහැ. ඒ ආකාරයෙන් අපිත් කිසිදු භේදයකින් තොරව කොළඹ නගරය ලස්සන කරලා දියුණු කිරීමට කටයුතු කරනවා’ යනුවෙන් විවාදයට එක්වූ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

අසභ්‍ය වචන තිබෙන නිසා දරුවන්ගෙන් ඈත් කර අසන්න..

Facebook Comments

more recommended stories

%d bloggers like this: