බෙන්තොට හිටපු ප්‍රා. සභාපති රු. මිලියන 250කට විද්ද හැටි මෙන්න..!

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න මහතා විසින් සිදුකරණ ලදැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිල්ලක් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති බවට තොරතුරු වාර්ථා වේ.

2016.02.16 වන දින පයාගල, කරඳගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ල මගින්, හිටපු සභාපතිවරයා සහ ඔහුගේ සහෝදරයා වන කෝසල සිරිමාන්න සමග මාර්ග සංවර්ධන අධිකාරියට අමුද්‍රව්‍ය සැපයීමේදී ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 250කට අධික මුදලක් අයථා ලෙස උපයා ගෙන ඇති බවට කරුණු අනාවරණට කරගෙන තිබේ.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ පැමිණිලි අංක ACC/FC/2016/467 යටතේ එය 2016.04.05 වන දින පොලිස්පත්වරයා වෙත යොමුකර ඇත.

පසුගිය කාලයේ ඉදිකර අවසන් කර ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් සැපයීමේදී සහ දකුණු පළාතේ ඉදිවන දුම්රිය මාර්ගයට කළුගල් සැපයීමේදී කොන්ත්‍රාත්තුව ලබා ගෙන එමගින් මෙලෙස අයථා ලෙස මුදල් උපයා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ සහ ඔහුගේ සොහොයුරාගේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව සහ කොමර්ෂල් බැංකුව යන බැංකුවලද එම දෙදෙනාගේ නම්වලින් සහ වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් කොටස් ‍වෙළඳපොලේ සහ වෙනත් සමාගම්වලද ආයෝජනය කර ඇති බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

හිටපු සභාපතිවරයා අයථා ලෙස උපයා ගත් ඉහත සඳහන් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් පැමිණිල්ල සිදුකළ කාල සීමාව වනවිට බෙන්තොට කෝම්මල අංක 175 දරන ස්ථානයේ හෝටලයක් සහ අලුතින් තවත් නිවසක් ඉදිකරමින් සිට තිබේ.

ගයාන් සිරිමාන්න සහ කෝසල සිරිමාන්න යන දෙදෙනාගේ විවාහ මංගල්‍යය 2014 දී හිල්ටන් හෝටලයේ 4000කට පමණ ආරාධිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් රුපියල් කෝටියක් පමණ වැයකරමින් පවත්වන ලද්දේ අයථා ලෙස ඉපයූ මුදලින් බව සහ 2011 පැවති පළාත් පාලන ඡන්දයට රුපියල් මිලියන 06ක් වැය කර ඇති බව එහි දැක්වේ. තවද සභාපතිවරයා විසින් ටොයෝටා ලෑන්ඩ් කෘසර් රථයක් සහ BMW මෝටර් රථයක්ද අදාල කාල සීමාව තුළ මිලදී ගෙන ඇති බවද අනාවරණය වී ඇත.

දක්ෂිණ මාර්ග සංවර්ධනයට අදාල කොන්ත්‍රාත්තුවල අයථා ක්‍රියා නිසා හිටපු සභාපතිවරයාට මහා මාර්ග අමාත්‍යංශයෙන් ලැබිය යුතු එක්කෝටි හැත්තෑපන් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීම අත්හිටුවා ඇති බවද වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබේ.

සිරිමාන්න මහතා කළ කොන්ත්‍රාත් වෙනුවෙන් මහා මාර්ග අමාත්‍යංශයෙන් ගෙවීමට තිබුණු මුදල අත්හිටුවීමට හේතු විමසාබැලීම සහ සිදුවී ඇති මූල්‍ය විශුද්ධිකරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම පැමිණිල්ල දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් මීට වසරකට පමණ පෙර පොලිස්පත්වරයා වෙත යොමුකර තිබුනද ඒ පිලිබඳව විමර්ශණවල ප්‍රගතිය මෙතෙක් වාර්තා නොවේ.

(lankatruth.com)

Facebook Comments

more recommended stories

%d bloggers like this: