දුෂ්කරතා බාධක මැදින් ආසියාවම පරදා රන් පදක්කම් දිනූ අපේ ක්‍රීඩිකාව.

මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ආ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ගයන්තිකා අබේරත්න විශේෂය. නාවික හමුදාවේ සේවය කරමින් සිය ක්‍රීඩාවේ නිරත වන ගයන්තිකා,  දුෂ්කර සූරියවැව ප්‍රදේශයෙන් පැමිණි තරුවකි. පසුගියදා ටෙහෙරාත් නුවර දී නිමාව දුටු අටවැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම ලැබූ ගයන්තිකා ශ්‍රී ලංකාව ලැබූ පදක්ම් 4න් එකම රන් පදක්කම්ලාභි ක්‍රීඩිකාව වීමද විශේෂය.

සිය ජයග්‍රහනය පිළිබදව ගයන්තිකා මාධ්‍යයට අදහස් දක්වා තිබුනේ මෙලෙසින් ,

“ඇත්තටම මේ වසර මලල ක්‍රීඩකයන්ට ගොඩක් වැදගත්. ඒ එළැඹෙන ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අප්‍රේල් 4 සිට 15 දක්වා ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් නුවරත් ආසියානු ක්‍රීඩා උළෙල අගෝස්තු 18 සිට සැප්තැම්බර් 2 දක්වා ඉන්දුනීසියාවේදීත් පැවැත්වෙන නිසා මම හිතන්නේ මෙම තරගාවලින්ට සූදානම්වීමේදී වසර මුලදීම ලැබූ මේ රන් පදක්කම මට ලොකු ශක්තියක්.”

“ටෙහෙරාන් සංචාරයට ප්‍රථම ‍පොඩි බාධාවක් සිද්ධ වුණා. ඒ ගුවන් ප්‍රවේශපත්වල ගැටලුවක් නිසා ගුවන්තොටුපළට ගොස් නැවත ඒමට සිදුවීම. කොහොම වුණත් ක්‍රීඩා උළෙලට දිනකට පෙර තමයි අපි ගියේ. මේක කිසිම ගැටලුවක් වුණේ නැත්තේ මීට පෙරත් තරගාවලි සඳහා අවසන් මොහොතේ ගිහින් අත්දැකීම් තිබුණ නිසා. අපි පුහුණුවීම් වෙලා ඉන්න නිසා ඕන තත්ත්වයකට හුරුවිය යුතුයි.”

“ආසියානු ගෘහස්ථ තරගාවලියේ මුලින් සහභාගි වුණේ මීටර් 800 ඉසව්වට. ඒත් මම එයින් සිව්වැනි ස්ථානයට පත් වුණේ. මෙහිදී මෙම තරගය ආරම්භ වී මීටර් 150ක් දිවයාමේදී නැවතත් අත්හිටුවා ආරම්භ කිරීමට තීරණය වුණා. එහිදී මම මුලින් දුවන විට ගොඩක් ඉදිරියට ඇවිත් තිබුණා. විශේෂයෙන් මෙහිදී මීටර් 800ක් දුවන්න තියෙන්නේ මීටර් 1500 දුවන විදිහට ධාවන පථයේ වක්‍රයෙන් ඇරඹෙන්නේ. මේක අලුත් අත්දැකීමක්. කොහොමවුණත් දෙවැනි වර නැවත ඇරඹුමේදී මම ‍පොඩ්ඩක් පසුපස හිටියේ. මුලින් තරම් ඉදිරියට යන්න බැරි වුණා. මේක ඉතින් නිදහසට කරුණක් නෙවේ. ඒත් මීටර් 800න් පස්සේ මම හිතුවා මීටර් 1500 කොහොම හරි පදක්කමක් ලැබෙයි කියා. මට මීටර් 800 දී වුණ සිදුවීම මගේ පුහුණුකරු සජිත් ජයලාල් සර්ට දුරකථනයෙන් කතා කර පැවසූ විට කිව්වේ මීටර් 1500 කොහොමහරි රන් පදක්කමට යන්න කියා. ඒ විශ්වාසය මට ලබාදී තිබුණා. අවසානයේ විනාඩි 4 තත්පර 26.83ක් තරගය අවසානය කළේ කසකස්තානය හා වියට්නාම ක්‍රීඩිකාවන් දෙ‍පොළට ඉදිරියෙන් සිටිමින්. මම මෙම තරගය දුවපු විලාසය අනුව මැදහරියේදී කසකස්තාන ක්‍රීඩිකාවට ඉදිරියට යන්න දුන්නා. පසුව තරග නිමාව ආසන්නයේ මම ඉදිරියට ඇදෙමින් ජයග්‍රාහීව නිම කළා. මගේ ප්‍රධානම ඉසව්ව මීටර් 800. මගේ ලොකුම උත්සාහය තමයි ඉදිරියේ තියෙන ආසියානු ක්‍රීඩා උළෙල කුමන හෝ පදක්කමක් ලැබිම”

මම හිතන්නේ ආසියානු ක්‍රීඩා උළෙලට යෑම සඳහා මෙය හොඳ පෙරහුරුවක් වේවි. චීනයේ හා කසකස්තාන ඉන්දියා ක්‍රීඩිකාවන් තමයි ලොකු තර්ජනයකට ඉන්නේ. කොහොමවුණත් වැඩි අන්තර්ජාතික තරග ප්‍රමාණයකට යෑමට අවකාශ ලැබිමෙන් ප්‍රතිවාදීන් ගැන දැන තරග වැදීමට හැකිවීම නම් ලොකු දෙයක්.”

“කොහොම වුණත් ලබන සතියේ ඉන්දුනීසියාවේ ආසියානු උළෙල  පැවැත්වෙන ක්‍රීඩාංගණය විවෘත කිරීමේදී ආරාධිත තරගාවලියකට යෑමට ඇරයුම් තිබෙනවා. මේකත් හොඳ අවස්ථාවක්. මම ආසියානු උළෙලට පෙර එම ක්‍රීඩාංගණයේදී මීටර් 800 තරගයකට සහභාගිවීමත් හොඳ පෙරහුරුවක්. ඉන් පසුව නැවතත් නුවරඑළියේ සුපුරුදු පුහුණුවීම්වලට යනවා. සහාය පුහුණුකරුවන් තිදෙනෙක්ම යුද හමුදා, නාවික, ගුවන් හමුදාව නියෝජනයෙන් ඉන්නවා. මගෙ සේවා ස්ථානය නාවික හමුදාවේ නාවික හමුදාපති ඇතුළු සියලු නිලධාරීන් හොඳ සහයෝගයක් ලබාදෙනවා. ඒක මට හොඳ රුකුලක්” ගයන්තිකා පැවසුවාය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: