දරු මුනුපුරන් එකොළොස් දෙනකු හමුදාවට දුන් වීර මාතාව.

අවුරුදු නවයකට කලින් අපේ රටේ යුද්ධයක් තිබුණේය. ඒ යුද සමය මේ රටේ මිනිසුන් බියෙන්, ත‍්‍රාසයෙන්, දුකෙන්, තැවිල්ලෙන් තැබූ කාලයක් විය. එදා කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් රට රැක ගන්නට අම්මාවරුන් සිය පුතුන් හමුදාවට බාර කළත් කාටත් වැඩියෙන් හදවත්වල ගිනි ඇවිලූණේ ඔවුන්ගේය. අන් කාටත් වැඩියෙන් ඒ  පුතුන් සිහිකර හැඬුවේ ඔවුන්ය. ඒ ජීවිත සතරවරම් දෙවිවරුන්ට බාර කරමින් පන්සල් පල්ලි ගානේ පුද පූජා කළේත් ඔවුන්මය. සතුරා පරාද කර යුද්ධය දිනද්දී ඒ අම්මාවරුන් කඳුළු මැදින් සතුටු වූයේ පපුවල ගින්දර පත්තු වුණු යුගය අවසන් වූ නිසාය.

හඟුරන්කෙත මෙඬේරපිටියේ රත්නතිලක මුදියන්සේලාගේ ලොකු මැණිකේ අම්මා ද යුද්ධය දිනූ දා එසේ කඳුළු මැදින් සතුටු වූ සුවහසක් අම්මාවරුන් අතරින් විශේෂිත අම්මා කෙනෙකි. ඒ ඇය, ඇගේ දරුවන් නවදෙනාගෙන් පුතුන් පස් දෙනාම  හමුදාවට බාරකොට තිබූ නිසාය. සතුරා පරාද කොට  රට නිදහස් වී යුද්ධය දිනුවා කියා ඇයට එක හිතින් සතුටු වන්නට නම් පුළුවන් වූයේ නැත. ඒ ඇගේ තුරුලේ සිට හමුදාවට ගිය පුතුන්ගෙන්  යුද්ධය දිනූ සතුට සමරන්නට ඇයට ඉතුරු වූයේ පුතුන් හතරදෙනකු වීම නිසාය. හරියටම යුද්ධය දිනන්නට මාසෙකුත් දින දහ අටකට පෙර ඔහු අවසන් සටනේදී දිවිපුදා සිව් මිතුරන්ගේ කරමතින් ගෙදර පැමිණ මෙඬේරපිටිය සුසානයේ සදාකාලික නින්දට වැටුණේය.

රත්නතිලක මුදියන්සේලාගේ ලොකු මැණිකේ  ඉපදී ඇත්තේ 1937 ජූනි මාසයේය. ඒ වනවිට හඟුරන්කෙත කොටුවෙගෙදර සිටි ඇය ඉන්දගොඩ ගෙදර අබේසිංහ බණ්ඩා සමග  විවාහයෙන් පසු මෙඬේරපිටිය ගමට පදිංචියට ගියාය. ඒ 1955  අවුරුද්දේය.

අබේසිංහ බණ්ඩා සමග හරි හරියට  මහ පොළව හා ඔට්ටු වෙමින් එතැන් පටන්  ගොවිතැන් කළ  ලොකු මැණිකේ ජීවිතය ජයගන්නට ඔහුට ශක්තිමත් අත්වැලක් වූවාය. ඒ කාලයේ  පළමු දරුවා ලෙස  පොඩි මැණිකේ ඔවුන්ගේ පවුලට එක් වූවාට පසු උක්කු බණ්ඩා, කුමාරිහාමි, ජයසේකර, අනුලාවතී, ජයසිංහ බණ්ඩා, උපාලි බණඩාර, බිසෝ මැණිකේ, සහ කිරි බණ්ඩා ¥ පුතුන් ද පවුලට එක්වූහ. ඒ අතරතුරේ ඉපැදුණු තවත් දරුවන් දෙදෙනකු ළදරු වියේදීම මෙලොවින් සමුගෙන තිබුණි.

ඒ ලොකු මැණිකේට වැඩකටයුතු අධික කාලයක් විය. දරුවන් සියලූ දෙනාම ගමේම වූ බෝවල  විද්‍යාලයට යැව්වේය. එක්කෙනෙක් දෙන්නෙක් හැර සියලූ දෙනාම පාසලේ අවසානය දක්වා ඉගෙන ගත්හ.

ලොකු මැණිකේ හා අබේසිංහ බණ්ඩා  මහපොළවේ ආදායමෙන් දරු නව දෙනකුට උගන්වා ජීවත් කළේ ඉතා අමාරුවෙනි. හාල්, එළවළු ගොවිතැනින් ලැබුණද හරි හැටි මුදල් නැතිකම ජීවිතයට දුෂ්කරතා ගෙනදුන්නේය. මොන අමාරුකම් මැද්දේ හෝ දරුවන් තරුණ වයසට එද්දී ඔවුන් රහසින් සතුටු වූහ. තේරෙන වයසට එද්දී ඒ කැප කිරීම ළඟ නිහඩව අතපය බැඳගෙන බලා සිටින්නට දරුවන්ටද හිත දුන්නේ නැත.

මෙඬේරපිටිය ගමේ කීප දෙනෙක්ම ඒ වනවිට හමුදා සේවයට එක්වී සිටියහ. පාසල් අධ්‍යාපනය අවසන් කර අවුරුදු 18 ත් සම්පූර්ණ කර සිටි හතරවැනි දරුවා වූ ජයසේකරටත් හමුදාවට බැඳෙන්නට  ඕනෑ වුණේය.

“ඒ 89 අවුරුද්දෙ. පුතා තනියම තමයි තීරණය කරලා තිබුණෙ හමුදාවට බැඳෙනවා කියලා. ඇත්තම කිව්වොත් එදා මම කැමති වුණේ නෑ පුතා හමුදාවට බැඳෙනවට. මොන නැතිබැරිකම් තිබුණත් මට  ඕනවුණේ දරුවො ටික පේනමානෙ ඉන්නවා දකින්න. මං ඇඬුවා, යන්න එපා කියලා. ඒත් පුතා ගියා. එයා ගිහින් අවුරුද්දකට විතර පස්සෙ ලොකු පුතා උක්කු බණ්ඩටත් හමුදාවට යන්න  ඕන වුණා. ඒ වෙලාවෙත් මං ටිකක් විතර විරුද්ධ වුණා. මට තිබුණෙ  බයක් නෙවේ, දුකක්. මං ඉතින් එයා යද්දිත් ඇඬුවා. අයියලා දෙන්නම ගිය හින්දා ඊළඟට හමුදාවට යන්න  ඕන වුණේ පවුලෙ හයවැනියට. ජයසිංහ බණ්ඩට. හැබැයි මාව අඬවන්න වෙන හින්දා කියලා මගෙ අප්පා හමුදාවට ගියෙත් මට හොරෙන්.

පුහුණුවටත් ගිහින් ඉවරවෙලා මට ලියුමක් එව්වා. ඒකෙ තිබ්බෙ ‘අම්මා මං හමුදාවට ගියා. මමත් හමුදාවට යනවා කිව්වා නම් අම්මා අඬනවා. අම්මා අඬන හින්දා තමයි මං නොකියා හොරෙන්ම ආවේ’ කියලා. අනේ ඉතින් එහෙම නොකියා ගියා කියලා නෑ. ඊළඟ නිවාඩුවකට ගෙදර එනකල් මගෙ ඇස්වල කඳුළු. පපුවෙ දුක් ගින්දර කන්දක් තිබ්බෙ.”
ලොකු මැණිකේගේ පපුවේ ඒ ගින්දරට තවත් ගින්දරක් එකතු වුණේය. ඒ ජීවිතයට මහා ශක්තියක් වූ සැමියා හදිසියේම අසනීප වීම නිසාය. මුළු ජීවිත කාලයම සල්ලි හොයන්නට පොළොවත් සමග ඔට්ටුවෙමින් ගොවිතැන් බත් කළ අබේසිංහ බණ්ඩා හිතේ කාන්සියට හේනෙ කුඹුරෙදී නිරන්තරවම බුලත්විටක් හැපුවේය. එකක් ඉවරවද්දි තවත් විටක් මුවේ රඳවාගන්නට තරම් විටට ඇබ්බැහිවී සිටි අබේසිංහ බණ්ඩාට වැළඳී තිබුණේ මුඛ පිළිකාවකි. අවුරුදු දෙකක් තිස්සේ මහනුවර මහ රෝහලෙන් ඔහුට ප‍්‍රතිකාර ගත්තේය

”ඒ වෙනකොට දරුවො අප්පච්චිගෙ ප‍්‍රතිකාර වෙනුවෙන් හරියට මහන්සි වුණා. ඒත් එයා ජීවත් කරගෙන තියාගන්න බැරි වුණා. 92 අවුරුද්දෙ එයා නැතිවුණා. මගෙ අප්පලා රස්සාවට ගියා කියලා, මාව බලාගත්තා කියලා මම එයා කරමින් හිටපු ගොවිතැන නැවැත්තුවේ නෑ. අපිට තිබුණේ රජයෙන් දුන්න ගොඩ ඉඩම් අක්කර තුන්කාලයි, මඩ ඉඩම් අක්කර තුන්කාලයි. මම  ඒවා වගා කෙරෙව්වා. මමත් පුරුදු විදිහට ගිහිල්ලා හේනෙ කුඹුරෙ වැඩ කළා. හිතේ තියෙන දුක් කරදරත් නැතිවෙනවා එහෙම ගහකොළ එක්ක වැඩකරද්දි. එයා නැතිවෙලා අවුරුදු තුනකට පස්සෙ හත්වැනියටත්  ඕන වුණා හමුදාවට යන්න. අයියලා ගිය හින්දා යන්නම  ඕන කියන කතාවෙමයි උපාලි බණ්ඩාර හිටියෙ. එතකොට ටිකක් ටිකක් යුද්ධෙ තිබුණා. අයියලා වගේම රටට මොනවා හරි වැඩක් කරන්න  ඕන කිව්වා.  ඊට අවුරුදු හතරකට පස්සෙ 1999 අවුරුද්දෙ මගෙ ළඟ ඉතුරුවෙලා හිටපු එකම කොල්ලා කිරි බණ්ඩත් හමුදාවට ගියා. එයත් කිව්වෙ අයියලා ගිය හින්දා මමත් යන්නම  ඕන කියලා. ඒ වෙනකොට දුවලා හතරදෙනත් කසාද බැඳලා ගෙදරින් වෙන්වෙලා හිටියෙ. මං ගෙදර තනිවුණා. ඒත් පුතාලා නිවාඩු එනවා. කලාතුරකින් දවසක තමයි පස්දෙනාම නිවාඩු ඇවිත් එකට ඉන්න දවසක් තියෙනවා නම් තිබ්බෙ. නැත්තම්  එක එක්කෙනා ආවෙ. ඔය අතරෙ තමයි සටන් බිමේදි පුතාල දෙන්නෙක් තුවාල වෙන්නේ. ජයසිංහ පුතාගේ කකුලක් නෑ. කකුලක් දාලා තියෙන්නෙ. ජයසේකර පුතාගෙත් වැලිඔයදි කලවට වෙඩි වැදිලා ඇෙඟ්  වෙන තැනකින් මසුයි හමයි අරන් තියලා මහලා තමයි එ්ක හොඳ කරලා තියෙන්නේ.”

පුතුන් යුද බිමදී තුවාල ලැබීම ලොකු මැණිකේට ඉවසිය නොහැකි දුකක් වද්දී ඇයට දරන්නම බැරි දුකක් හිමිවූයේ ඇගේ හත්වැනි පුතු යුද බිම පුදුකුඩුඉරිප්පුහිදී මියයාමෙනි. ඒ යුද්ධයේ නිමාව පෙනි පෙනී ය.

”එදා 2009  පෙබරවාරි 28 මට කතා කරලා කිව්වා පළවැනිදා මං නිවාඩු එනවා අම්මෙ කියලා. අනේ ඉතින් වෙනදා වගේ මාත් කෑමබීම හදාගෙන මග බලාගෙන හිටියා. පළවැනිදා එනවා කිව්වට ඔය එනකොට ඉතින් හැන්දෑ වෙනවා කියලා මං දන්නවා. ඒත් සිය පාරකට වඩා පාර බලන්න ඇති පුතා එනවද කියලා. හැන්දෑ වෙද්දි පුතා වෙනුවට පොලිසියෙන් ආවා. ඒ කිව්ව පණිවිඬේ මට තාමත් විශ්වාස නෑ වගේ. ඒත් පුතා පෙට්ටියක ආවට පස්සෙ ඒක විශ්වාස කරන්න වුණා. පළවැනිදා ගෙදර එනවා කිව්ව පුතා ආවා. ඒත් වෙනදා වගේ හිනා කටක් පුරෝගෙන අම්මෙ කියාගෙන නෙවේ, කතාබහක් නැතුව පෙට්ටියක.”

ඒ මොහොත ලොකු මැණිකේ අම්මාට ජීවත්වන තුරාවට අමතක නොවන මොහොතකි. අදටත් උපාලි බණ්ඩාර පුතු සිහිවන විට ඇගේ පපුව කඩා වැටෙන්නේ, දෙනෙතින් උණු කඳුළු ගලන්නේ ඒ දරු දුක නිසාය.

”අවුරුදු ගාණක් අපේ රටේ යුද්ධයක් තිබ්බා. ඒ කාලේ බත් කනවට වඩා ගින්දරයි කඳුළුයි කෑවෙ. ඒ යුද්දෙ කොහොම හරි මගෙ අප්පලා  දිනුවා. අපේ රට කොටින්ගෙන් බේරගෙන අපිට නිදහසේ හිතේ සැනසීමෙන් ඉන්න රටක් හදලා දුන්න ඇත්තන්ට තිස්තුන් කෝටියක් දෙවි රැුකවරණයි. මට වගේම වීර පුතාලා යුද පිටියෙදි නැතිවෙච්චි තවත් අම්මලා මේ රටේ ඉන්නවා. දුකයි තමයි. ඒත් අපි ආඩම්බර වෙමු අපේ අප්පලා ජීවිත පූජා කළේ මේ රටේ නිදහස වෙනුවෙන් කියලා. අනේ දෙයියනේ ඒ තරම් ජීවිත නැති කරගෙන අතපය නැති කරගෙන හතුරන්ගෙන් බේරගත්ත රට අද ඉන්න කවුරුත් මහන්සිවෙලා රැුකගන්න. මගෙ දරුවන්ගෙ දරුවො, මගෙ මුනුබුරු මිනිබිරියො ඔක්කොම විස්සක් ඉන්නවා. ඒ අයගෙනුත් මුනුබුරෝ හයදෙනෙක් මේ වෙනකොට ඉන්නෙ හමුදාවේ. එයාලටත් යුද්දෙ දිනුවට පස්සෙ හමුදාවට යන්න හිතුණෙ මාමාලා හින්දා. අද වෙනකොට  මගේ දරු හතර දෙනාගෙන් එක්කෙනයි සේවයේ ඉන්නේ. ඒ කිරි බණ්ඩා පුතා. අනිත් අය අවුරුදු 22 ගානේ වැඩ කරලා පැන්ෂන් ගත්තා. මං මගේ දරුවට පුළුවන් තරම් පින් කරනවා.  මීට අවුරුදු හතරකට ඉස්සර දඹදිව ගිය වෙලාවෙත් මං මූලස්ථාන පන්සලෙන් දන් මුරයක් ගෙනාවා. හැමදාම මාර්තු පළවැනිදට මම සල්ලි යවනවා එහාට දන් මුරේට. මම ගෙදර තනියම ඉන්නකොට මට කල්පනා වෙනවා හැම දෙයක් ගැනම. ඒක හිතටත් දුකයි. ඔළුවටත් හොඳ නෑ වගේ. ඒ හින්දා අදටත් මං හේනට, කුඹුරට යනවා. ගොයම් පැළ, එළවළු පැළ අතපත ගාද්දි මට ගොඩක් දේවල් අමතක වෙනවා. හිතට සැනසීමක් දැනෙනවා.”

මේ අම්මා හඟුරන්කෙත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රණවිරු සම්බන්ධීකරණ නිලධාරී පී.වී. බණ්ඩාරට හමුවන්නේ ඔවුන් 2017 වසරේ පැවැත්වූ අස්වැන්න ප‍්‍රාදේශීය සම්මාන උළෙල වෙනුවෙනි. හඟුරන්කෙත ප‍්‍රාදේශීය ලේකම් අමිල නවරත්න මහතාගේ සංකල්පයකට අනුව පවත්වනු ලැබූ ප‍්‍රාදේශීය සම්මාන උළෙලේදී සියලූම වෘත්තිකයන් වසරේ ඇගයීමකට ලක් කරනු ලබන අතර එහිදී ලොකු මැණිකේ අම්මා වීරමාතා සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ රට දැය වෙනුවෙන් පුතුන් පස් දෙනකුත් මුනුබුරන් හයදෙනකුත් හමුදාවට සම්බන්ධ කිරීම වෙනුවෙනි.

”මාව වේදිකාවට ගෙන්නලා ඩියාරෝ මහත්තයා සම්මානයක් දුන්නා. එ මගේ ස්වාමි පුරුෂයත් මතක් කරලා, මම දරුවො පස් දෙනකුත් මුනුබුරෝ හය දෙනකුත් හමුදාවට යවපු වීර මාතාවක් කියලා.”

හඟුරන්කෙත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට හමුවූ මේ අම්මා මෙන් තවත් අම්මලා ්ලංකාවේ තවත් සිටිති. ලොකු මැණිකේ අම්මා මෙන් සම්මාන නොලැබුවත් ඒ අම්මලාද සැබෑම වීරමාතාවෝ බව උදාවන මේ 70 වැනි නිදහස් සමරුවේ විශේෂයෙන් සිහිපත් කිරීම වටියි.

බියංකා නානායක්කාර

Facebook Comments

more recommended stories

%d bloggers like this: