ජීවිත දෙකක් සුව කරන්න වකුගඩු දන් දී, දිවියෙන් සමුගත් මුන්දලම මහ විදුහලේ ඉංග්‍රීසි ගුරුවරිය..!

මොළයේ නහරයක ඇතිවූ ආබාධිත තත්ත්වයක් හේතු කොටගෙන එයින් ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනය නිසාම යන්ත්‍රවල උපකාරයෙන් ජීවිතයත් මරණයත් අතර දින කීපයක් තිස්සේම සටනක යෙදී සිටි දුම්මලසූරිය – කට්ටිමහන පදිංචි සූරිත් දිලංකා ප්‍රනාන්දු නමැති 29 හැවිරිදි ගුරු මාතාව පසුගියදා කුලියාපිටිය මූලික රෝහලේදී දිවියෙන් සමුගත්තාය.

මෙම මරණය කුලියාපිටිය මූලික රෝහලේ ඉතිහාසයේ අලුත් සිදුවීමක් ලෙස සනිටුහන් විය. ඒ දිලංකා ගුරුතුමියගේ මව හා සැමියාගේ අවසරය පරිදි ඇගේ වකුගඩු තවත් ජීවිත 2ක් සුවපත් කිරීම සඳහා පරිත්‍යාග කිරීමයි.

ශෝකජනක මෙන්ම පින්බර ආදර්ශවත් ක්‍රියාවට බඳුන් වූ මියගිය දිලංකා හලාවත – මුන්දලම සිංහල මහා විද්‍යාලයේ ඉංග්‍රීසි උප ගුරුවරියක ලෙසින් කටයුතු කළ අතරම වසර 2 1/2ක් පමණ වූ පුංචි සිඟිත්තියකගේ මවක්ද වෙයි.

මේ ශෝකජනක මරණය පිළිබඳව අප සමඟ පැවැසූ දිලංකා ගුරුතුමියගේ සැමියා වන අමිල නිරංජන් ප්‍රනාන්දු (33) මහතා –

අපි විවාහ වුණේ මීට වසර 4කට පමණ ඉහතදීයි. මේ දක්වා ඉතා සතුටින් ජීවත් වුණා. මීට වසර 2 1/2කට පමණ ඉහතදී දුව ලැබුණට පසුව ඒ සතුට තවත් වැඩිවුණා. ඇය මුන්දලම සිංහල මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස කටයුතු කළා. කිවයුතු තරම් විශේෂ රෝගයක් ඇයට තිබුණේ නෑ. පසුගිය 28දා පැවැති කට්ටිමහන දේවස්ථානයේ මංගල්‍යය පූජාවෙන් පසුව අපේ ගෙදරට එක් වූ ඥාතීන් සමඟ දවල් ආහාරය ගෙන සවස පිඟන් සෝදන්න ලෑස්ති වූ ඇය වමනය කළා. ඒ සමඟම ක්ලාන්තව ඇදගෙන වැටුණා. අපි වහාම ඇය කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කළා.මූලික පරීක්ෂණවලින් පසු ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ප්‍රතිකාර කොට අනතුරුව කොළඹ ජාතික රෝහලට යවා ස්කෑන් පරීක්ෂණයක් සිදු කොට නැවත රැගෙන ආවා.

ඇය නැවතත් දැඩි සත්කර ඒකකයට ඇතුළත් කළ අතර එතැන් සිට ඇය ජීවත් වූයේ යන්ත්‍රවල ආධාරයෙන්. කොළඹින් ලබාදී තිබූ වාර්තාවල සඳහන් වූයේ ඇගේ මොළයේ නහරයක තැන් කීපයක් පුපුරා ගොස් ඇතිවූ රුධිර වහනය හේතුවෙන් මොළයේ සෛල විනාශ වී ඇති බවයි.මෙය සුවකළ නොහැකි අතර අපට කළ යුතුව ඇත්තේ බලා සිටීම පමණක් බව අවධාරණය වුණා. මහත් කම්පනයටත් වේදනාවටත් පත්ව සිටි අවස්ථාවේදී වෛද්‍යවරු බොහෝ සේ සංවේදී යෝජනාවක් අපට කළා. ඒ අපි කැමැති නම් පමණක් බව සඳහන් කරමින්. ඒ මරණයේ ‍ෙදාරකඩ සිටින ඇගේ ආත්මයට සුවයක් ලබාදීමට. ඇගේ ඉන්ද්‍රියකින් තවත් ජීවිත 2ක් ජීවත්කර වීමටත් හැකි බවයි.

ඒ අනුව ඇගේ මවගේද අනුමතය ඇතිව දිලංකාගේ වකුගඩු පරිත්‍යාග කරලීමට අපි කැමැත්ත දුන්නා. දිලංකා මියගියත් අද ඇගේ ඉන්ද්‍රියන් තවත් දෙදෙනකු ජීවත් කරවමින් ක්‍රියාත්මක වීම අපේ දුක තරමකින් හෝ සමනය වීමක්.

more recommended stories