ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය බලාත්මකයි..!

ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය බලාත්මක කිරීමට, යුරෝපා කවුන්සිලය පියවරගෙන ඇති බව වාර්තා වනවා. ඒ පිළිබඳ නිවේදනය අද බෙල්ජියමේ බ්‍රසල්ස්හිදී, යුරෝපා කවුන්සිලයේ ප්‍රකාශනයට ඇතුළත් කෙරෙන බවයි වාර්තා වන්නේ.  යුරෝපා සංගමයේ තීරණයක් බලාත්මක වන්නේ, එය නිල වශයෙන් යුරෝපා කවුන්සිලයේ ප්‍රකාශනයට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය ලබාදීමට, යුරෝපා කවුන්සිලය, පසුගිය බ්‍රහස්පතින්දා ඒකමතිකව තීන්දු කළා.  එම තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරෙන යුරෝපා කවුන්සිලයේ නිල ප්‍රකාශනයට ඇතුළත් කෙරෙන බව වාර්තා වනවා.

ඒ අනූව, ජීඑස්පී ප්ලස් බදු සහනය, හෙට සිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලාත්මක කිරීමට නීතිමය ප්‍රතිපාදන සැලසෙනවා.  2005 වසරේ සිට ශ්‍රී ලංකාවට පිරිනමා තිබූ ජීඑස්පී ප්ලස් යුරෝපා බදු සහනය පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ ඉවත් කරනු ලැබුවා.මානව හිමිකම් හා යහපාලනයට අදාළ ගැටලු මුල්කර ගනිමින්.  වත්මන් රජය බලයට පත්වූ පසු එහි ප්‍රමුඛතම කාර්යයක් ලෙස ජීඑස්පී යුරෝපා බදු සහනය, යළි ලබා ගැනීමට පියවර ගත්තා.ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන්.

ශ්‍රී ලංකාවෙන්, යුරෝපයට අපනයනය කෙරෙන භාණ්ඩ වර්ග 1400ක් සදහා සමස්ත බදු මෙමගින් ඉවත් කෙරෙනවා.ඉල්ලුම ඉහළයාම මුල්කරගෙන ජීඑස්පී බදු සහනය ක්‍රියාත්මක වන මුල් වකවානුවේ මෙරට සෘජු රැකියා අවස්ථා විසිදහසක් පමණ නිර්මාණය වනු ඇතැයි, රජය පෙන්වා දෙනවා.

more recommended stories