ලංකාවට ජී.එස්.පී. දෙන්න යුරෝපා විදේශ හා වෙළෙඳ සංගමයේ අනුමැතිය ලැබෙයි..!

යුරෝපා විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.
ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමට යුරෝපා විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය අනුමැතිය ලබා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා ගැනීමේ අවසන් කඩුල්ල ලෙස මෙම අනුමැතිය සැළකිය හැකි බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන බදුවලින් සැළකිය යුතු ප්‍රමාණයක් ඉවත් කිරීමට යුරෝපා කොමිසම තීරණයකර තිබේ. යුරෝපා කොමිසම මෙම යෝජනාව කරනුයේ යුරෝපා සංගමය විසින් පිරිනමනු ලබන GSP+ සහනය යටතේය.

මෙම පියවර යටතේ බදු වර්ගීකරණවලට අදාළ 66%ක ප්‍රමාණයක් GSP+ සහනය යළි හිමිවීමේ ඇත්ත නැත්ත සම්පුර්ණයෙන් ඉවත් කෙරෙන අතර ඒ අනුව ඇඟලුම්, ධීවර හා රබර් නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වර්ග රැසක් සඳහා වූ ආනයන බදු ඉවත් කෙරේ.

ලංකාවේ කැපවීම ගැන දැඩි නිරීක්ෂණයක.

කෙසේවුවද මෙම සහනය යළි ලබා දීමෙන් අනතුරුව ද තිරසර සංවර්ධනය, මානව හිමිකම් මෙන්ම යහපාලනය කෙරෙහි වූ ශ්‍රී ලංකාවේ කැපවීම සම්බන්ධයෙන් දැඩිව නිරීක්ෂණය කෙරෙනු ඇත.

මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, තිරසාර සංවර්ධනය, යහපාලනය හා පාරිසරික සුරක්ෂිතතාව, සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සම්මුති ක්‍රියාවට නැංවීමට වත්මන් ශ්‍රී ලංකා රජය දක්වන උනන්දුව සහ කැපවීම GSP+ බදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා කොමිසම යෝජනා කිරීම කෙරෙහි බලැපෑ ප්‍රධාන සාධක වේ.

ඊට අමතරව ළමා ශ්‍රමිකයන්ට එරෙහි ප්‍රඥප්ති, සංහිදියාව සහ වගවීම, සහශ්‍ර සංවර්ධන ඉලක්ක කරා ළගාවීමේ ප්‍රගතිය මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය හා ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව ආදි අන්තර් ජාතික සම්මූතිවලට අදාළ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය යුරෝපා කොමිසම අගය කර ඇත.

GSP+ සහනය හරහා යුරෝපා සංගමයේ වෙළෙඳපොල වෙත යැවෙන සිය අපනයන ඉහළ නංවාගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැළකිය යුතු දායකත්වයක් සැපයෙන අතරම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය මෙන්ම යහපාලනයට අදාළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තමන්ට සහය විය හැකි ආකාරය ද මෙයින් පෙන්නුම් කෙරෙන බව යුරෝපා කොමිසමේ වෙළෙඳ කොමසාරිස් සිසිලියා මැල්ම්ස්ට්‍රොම් පවසන්නීය.

එම ක්ෂේත්‍රයන්හි ප්‍රගතියක් දැකිය හැකි යැයි තමන් විශ්වාස කරන අතරම GSP+ පිළිබඳ සංවාද හා නිරීක්ෂණ අදාළ ප්‍රතිසංස්කරණවලට සහය වනු ඇතැයි ද ඇය කියා සිටී. එසේම ඇය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දන නීති ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිවලට සම්පුර්ණයෙන් අනුකූල විය යුතු බව ද මීට ඇතුළත්වන බවය.
කෙසේවුවද මෙම පියවර ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා ප්‍රතිවිරෝධතා වේ නම් ඉදිරිපත් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවට හා යුරෝපා කොමිසමට මාස හතරක් දක්වා වූ කාලයක් ඇත. යුරෝපා කොමිසමේ මෙම යෝජනාව යුරෝපා කවුන්සිලයේ සහ යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලද විගස ක්‍රියාත්මක කෙරෙනු ඇත.
ජනපතිගෙන් ඉඟියක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ජර්මනියේ සිදුකළ නිල සංචාරයේදී ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මියගෙන් සිදුකළ ප‍්‍රධානම ඉල්ලීම වූයේ GSP+ සහනය නැවත ශී‍්‍ර ලංකාවට ලබාදීමට සහය වන ලෙසයි.

ඒ අනුව එම බදු සහනය ශී‍්‍ර ලංකාවට ලබාදීමට මැදිහත්වන බවට ජර්මන් චාන්සලර්වරිය ජනාධිපතිවරයා වෙත එකඟතාවය පළ කළ අතර අනතුරුව සිදුකළ සියලු නිල සංචාරවලදී යුරෝපා රාජ්‍ය නායකයින් හමුවූ සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයා මේ පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශී‍්‍ර ලංකා නව රජය ජාතික සංහිඳියාව ගොඩනැගීමට, මානව හිමිකම් සුරක්ෂිත කිරීමට මෙන්ම නීතියේ ආධිපත්‍ය සහ යහපාලන මූලධර්ම සුරක්ෂිත කරමින් තිරසර ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් යන ගමන උදෙසා සිය රටවලින් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට එහිදී එම නායකයින් ජනාධිපතිවරයා හමුවේ ප‍්‍රතිඥා දුන්හ.

එම යහපත් ප‍්‍රතිචාර හමුවේ GSP+ සහනය ස්ථීර වශයෙන්ම ශී‍්‍ර ලංකාවට ලැබෙනු ඇති බවට ද ජනාධිපතිවරයා පසුගියදා මහනුවර පැවති උත්සවයකදී ප‍්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ නැව්ගත කරන්නන්ගේ කමිටුවේ සභාපති රොහන්ත මාසකෝරාල මහතා පැවසූයේ “ඇඟළුම් කේෂ්ත්‍රයට සීයට 10 ක පමණ මිල වැඩිවීමක් වුණා එහෙ ගැණුම්කරුවන්ට අපේ තරගකාරිත්වය නැතිවුණා.එතකොට අපිට වෙලෙදපොල නැතිවුණා ඒ කියන්නේ අපේ අපනයනවලට කෙලින්ම බලපෑමක් ඇතිවුණා. අපි විශ්වාස කරන්නෙ අඩුම වශයෙන් ඇගලුම් කේෂ්ත්‍රයට ‍ඩොලර් මිලියන පන්සීයක් වගේ අහිමිවුණා. ඇත්තටම දැන් කියනවා නම් අර යහපාලනයක් කියන එක බලාපොරොත්තු වෙනව ඒගොල්ලන් මේ මේ ප්‍රඥාප්තිය අනුව. එහෙම කලොත් අපි මම හිතන්නේ ප්‍රශ්නයක් නැතිව ඉදිරියට යුරෝපා සංගමයට ඇතුළු වීමේ තීරුබදු රහිතව ඇතුළුවීමේ විශාල ඉඩකඩ දිගටම තියෙයි මම නම් හිතන්නේ ශ්‍රී ලංකාවේ අපනයන තව අවුරුද්දක් යනකොට ඩොලර් බිලියනයකින් විතර වැඩිකරගන්න පුළුවන් වෙයි“

කොන්දේසි පනවා තිබේද?

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ “දැන් සිට මාස එක හමාරකට පාර්ලිමේන්තුව තුළ සංවාදයට ලක්කිරීමෙ අවස්ථාව තමයි තිබෙන්නේ.ඒක තුළින් කටයුතු කරලා අපිට ජීඑස්පී ලබාගන්න එක සිහණයක් නෙවෙයි සැබෑ මට්ටමට පත් වෙලා තියෙනවා කියන එක සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. අපනයන කරනකොට යුරෝපය ලංකාවෙන් ආවයි කියලා දැනග්තාට පසුව අද සීයට විකුණනවා නම් ඒ රටේ සීයට 17ක බද්දක් ගෙවන්න තියෙනවා.දැන් මේක ලබාගත්තාට පසුව අපි හිතන්නේ අප්‍රේල්මාසේ පළවැනිදා සිට ලබාගත්තොත් ලබාගත්තාට පසුව ඒක සීයට 3ට අඩුවෙනවා. ඒ වාසිය නිෂ්පාදන කරුවන් අතර ලබාගැනීම තියෙනවා.“

ජී.එස්. පී. ප්ලස් සහනය ලබා ගැනීමට කොන්දේසි තිබේදැයි එහිදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ කිසිම කොන්දේසියක් නොමැති බවයි.
අප්‍රේල්, මැයි වන විට යුරෝපයේ අලූත් වෙළෙඳපොළට අවසර

“නැවතත් යුරෝපා වෙළෙඳපොළට ඇතුලූ වීම සඳහා ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබුණු බව ඊයේ අපට වාර්තා වුණා. මෙම සහනයත් සමග ඉදිරියේ දී අපට විශාල දියුණුවක් ලබා ගැනීමට හැකි වෙනවා. අප්‍රේල් – මැයි මාස වන විට අපට යුරෝපයේ අලූත් වෙළෙඳපොළට පිවිසීමට හැකියාව ලැබෙනවා“ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ ඊයේ (12) දින ගාල්ල, කරාපිටිය සුනන්දාරාම පුරාණ විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.
ජී.එස්.පී. ප්ලස් සහනය හිමි වන්නේ කාරණා දෙකක් මතයි. පාරිසරික දියුණුවත් සමග සාමාජීය දියුණුව ඇති කරමින් කාන්තාවන්ට, දරුවන්ට හොදින් සලකන, නීතිය ක්‍රියාත්මක වන, ප්‍රජාතන්ත්‍රීය රාමුවක් ක්‍රියාත්මක වනවා නම් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගත හැකියි.
“යුරෝපා සංගමය සිය වෙළෙඳපොළට ඇතුලූ වීමට ඉඩ ලබා දෙන්නේ එම කරුණු ක්‍රියාත්මක කරන රටවල්වලට පමණයි. එම ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලිය ස්ථාපිත කිරීමට අප කටයුතු කළා. නමුත් අවාසනාවකට, ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවට බලනොපාන බවට අප රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විශ්මය දනවන තීන්දුවක් ලබා දුන්නා. එය සිදුවූයේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට අත්සන් තබා තිබියදීයි.“ යැයිද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

“මෙය පාර්ලිමේන්තුව වෙත ගෙන ගොස් වෙනස් කරමු යැයි අප එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියා. නමුත් එය සිදු වුණේ නැහැ. ඉන් අනතුරුව අපේ රටේ පරිසර දූෂණය, කාන්තා හිංසනය, නීතියේ කඩා වැටීම, මාධ්‍ය මර්ධනය ආදිය නිසා ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහන අපට අහිමි වුණා. ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබා ගැනීමට අපේ සම්පූර්ණය සහයෝගය ලබාදෙන බව පැවසුව ද එය සිදු වූයේ නැහැ.“ යැයි අගමැතිවරයා සඳහන් කළේය.

පාඩුවක් නෑ..!

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය වන්නේ යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව GSP+ තීරුබදු සහනය ඉවත් කළද එයින් රටට පාඩුවක් නොවුණ බවයි.
හිටපු ජනපතිවරයා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා, “ඒක හොඳයි (GSP ප්ලස් ලැබීම) ගැටලුවක් නෑ. රටට සෙතක් වෙනවා කියලා හිතෙනවානම් හොඳයි”
ආර්ථික පාඩුව කෝටි 37,500 ක්
ජී.එස්. පී. ප්ලස් ලෙස හඳුන්වන්නේ සංවර්ධනය වෙමින් පවත්නා රට වල අපනයන සඳහා තම වෙළඳපොළ යම් කිසි තේරීමක් හා පාලනයක් සහිතව විවෘත කිරීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල් විසින් හඳුන්වා දුන් පොදු වරණීය ක්‍රමය යි.
මේ යටතේ අනාරක්ෂිත මෙන්ම කුඩා රටවල අපනයන භාණ්ඩ 7200 කට පමණ තම වෙළඳ පොළවලට තීරුබදු රහිතව ප්‍රවේශවීමට ඔවුන් අවස්ථාව ලබාදී තිබේ. සුනාමි ව්‍යසනයෙන් පසුව 2005 වසරේදී ශ්‍රී ලංකාවට මේ වරප්‍රසාදය හිමිවිය.
වසර 03 කාලයක් සඳහා හිමිවු මෙම බදු සහනය 2008 වසරේදී අවසන් වීමෙන් අනතුරුව එය නැවත ලබා ගැනීම සඳහා මානව හිමිකම්, කම්කරු අයිතීන්, පරිසර ආරක්ෂණය හා යහපාලනය යන අංශ යටතේ අන්තර් ජාතික සම්මුතීන් 27ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන ලද ප්‍රගතිය පිළිබඳව විමර්ශනයට යුරෝපා සංගමය තීරණය කළේය.
එහෙත් පසුගිය රජය ඊට සහාය ලබා නොදුන් අතර යුරෝපා සංගමය අදාළ විමර්ශනය සිදුකර අතුරු වාර්තාවක් සහ අවසන් වාර්තාවක් ද නිකුත් කරමින් 2010 අගෝස්තු 15 වැනිදා සිට මෙම බදු සහනය අහිමි කළේය. ඒ අනුව යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් GSP+ බදු සහනය 2007 වසරේදී සීමාකරනු ලැබූ අතර, 2010 වසරේදී එය සම්පූර්ණයෙන්ම අහෝසි කරනු ලැබීය. මෙමගින් ශ්‍රී ලංකාවට අහිමි වූ ආර්ථික පාඩුව රුපියල් කෝටි 37,500 ක් ලෙස ගණන් බලා ඇත.

Facebook Comments

more recommended stories

%d bloggers like this: