ගිනි අවි සයිලන්සරයක් වැඩ කරන හැටි මෙන්න..!

අපි කලින් දවසක කතා කළා ගිනි අවියකින් වෙඩි තියන්නේ කොහොමද කියලා. ඔබ පරිඝනක ක්‍රීඩා සහ ක්‍රියාදාම චිත්‍රපට බලන්න කැමති කෙනෙක් නම් ගිනි අවි සයිලන්සර් ගැනත් දන්නවා ඇති. කාටවත් නෑසෙන විදිහට තුවක්කු වලින් වෙඩි තියන්න සයිලන්සර් මගින් හැකියාව ලබා දෙනවා. අද අපි කතා කරන්නේ සයිලන්සරයක් ක්‍රියා කරන හැටි ගැනයි.

මුලින්ම කියන්න ඕනෙ මේ උපකරණයේ නියම නම විය යුත්තේ සයිලන්සරය (silencer) නෙවෙයි. මොකද තුවක්කුවකින් එන හඬ සම්පූර්ණවම නිහඬ කරවන්න එයට බැහැ. ඒ නිසා මේවා හඳුන්වන නිවැරදි නම ‘හඬ යටපත් කාරක’ (suppresors) විය යුතුයි.

සයිලන්සරයක් වැඩ කරන හැටි ඉගෙන ගන්න කලින් අපි මුලින්ම බලමු ඇයි තුවක්කුවකින් ලොකු ශබ්ධයක් එන්නේ කියලා. තුවක්කුවකින් එන ශබ්ධය සඳහා කරුණු තුනක් බලපානවා. එකක් තමයි කොකා ගස්සන අවස්ථාවේදී තුවක්කුවේ පිටුපස තියෙන මිටිය කොටස වේගයෙන් ඇවිත් උණ්ඩයේ පසු පස ගැටෙන කොට එන ශබ්ධය. තුවක්කුවෙන් උණ්ඩය පිට වෙන්න නම් මේ ක්‍රියාව අත්‍යවශ්‍යයි. ඉතින් අපිට මෙහිදී කුමන ආකාරයකින්වත් මේ ශබ්ධය යටපත් කරන්න බැහැ.

ඊළඟ ශබ්ධය එන්නේ වාත ප්‍රසාරණය නිසායි. උණ්ඩයේ කොපුව තුළ ඇති වෙඩි බෙහෙත් දහනය වුණු ගමන්ම එහි ඇති වන පිපිරුම මගින් මූණිස්සම ඉස්සරහට තල්ලු කර හරිනවා. පිපිරුම නිසා තුවක්කු බටය තුළ උණ්ඩයට පිටුපසින් ඇති වාතය අධිකව රත් වීමට ලක් වෙනවා. වාතය රත් වීම නිසා ඒ වාත කොටස ප්‍රසාරණය වීමටත් ලක් වෙනවා. ඒ වගේම පිපිරුම නිසා ඒ වාත කොටසේ පීඩනය කිලෝ පැස්කල් 20,000ක් වැනි ඉහළ අගයකට ඉහළ නගිනවා. මේ රත් වුණු, සම්පීඩිත වාතය තුවක්කු බටයෙන් පිටතට එන්න උත්සාහ කරනවා. නමුත් එයට පිටතට එන්න පුළුවන් වෙන්නේ උණ්ඩය තුවක්කුවේ කට තුළින් එළියට ගියාට පසුවයි.

හිතන්නකෝ අපි පුම්බපු බැලුමකට එක පාරටම කටුවකින් අනිනවා කියලා. එතකොට ඒ තුළ අධික පීඩනයක් යටතේ තියෙන වාතය එකවර පිටතට එන්න උත්සාහ කරනවා. බැලුම පුපුරන කොට ලොකු ශබ්ධයක් එන්නේ ඒ නිසායි. තුවක්කුවේ දෙවෙනි ශබ්ධය එන්නෙත් ඒ වගේ තමයි. ප්‍රසාරණය වුණු, පීඩනයට ලක්ව ඇති උණුසුම් වාතය, උණ්ඩය තුවක්කු බටයෙන් පිට වෙන කොටම එක පාරටම එළියට එනවා. ඒ නිසා ලොකු ශබ්ධයක් ඇති වෙනවා. සයිලන්සරයක් මගින් අවම කරන්න පුළුවන් වෙන්නේ මේ දෙවැනි ශබ්ධයයි.

හිතන්න අපි බැලුමට කටුවෙන් එකවර අනින්නේ නැතුව, බැලුමේ කට සෙමින් ලිහිල් කරලා වාතයට හෙමින් පිටතට යන්න සැලැස්වුවා කියලා. එතකොට කලින් වගේ ලොකු ශබ්ධයක් එන්නේ නෑ නේද? සයිලන්සරයක් සිදු කරන්නේත් ඒ වගේ දෙයක්. සයිලන්සරය හැඩයෙන් දිග මහත බටයක් වගේ. ඒ තුළ කුඩා කුටීර රැසකුත් තියෙනවා. (පළවෙනි කමෙන්ට් එකේ රූපය බලන්න.) එතකොට තුවක්කු කටින් එළියට එන උණ්ඩයටත්, ඒ පසුපසින් එන සම්පීඩිත වායු කඳටත් සයිලන්සරය ඔස්සේ දිගටම ගමන් කරලා තමයි පිටතට යන්න පුළුවන් වෙන්නේ.

සම්පීඩිත වාත කඳ සයිලන්සරය තුළින් ගමන් කරද්දී එය ඒ තුළ ඇති කුටීර වලටත් විහිදිලා යනවා. කොටිම කිව්වොත් සයිලන්සරය මගින් සිදු කරන්නේ ඒ වාතයට ප්‍රසාරණය වෙන්න ලොකු ඉඩක් ලබා දෙන එකයි. සාමාන්‍ය තුවක්කු බටයක පරිමාව වගේ 20 -30 ගුණයක පරිමාවක් එයට සයිලන්සරයක් සවි කළොත් ලැබෙනවා. එතකොට වායු කඳේ පරිමාව වැඩි වන නිසා එහි පීඩනය පහළ බහිනවා. එහි අවසන් ප්‍රතිඵලය වෙන්නේ සයිලන්සර කටින් පිටවන කොට වාතයේ පීඩනය කිලෝ පැස්කල් 400ක් ප්පමණ වනතුරු අඩු වෙලා නිසා එයින් ඒ හැටි ශබ්ධයක් ඇති වෙන්නේ නැහැ. හරියට බැලුමේ කට ලිහිල් කරලා හෙමින් සැරේ වාතයට එලියට යන්න දුන්නා වගේ.

සයිලන්සරයක් නැති තුවක්කුවකින් වෙඩි තියන කොට ඇති වන හඬ ඩෙසිබල් 160ක් පමණ වෙනවා. එය අපේ කණේ සෛල වලට පවා හානි කළ හැකි තරම් ඉහළ අගයක්. නමුත් සයිලන්සරයක් භාවිතා කිරීම මගින් මේ අගය ඩෙසිබල් 20ක් දක්වා පමණ අඩු කරගන්න පුළුවන්. ඒ හඬ අපිට ඇහෙන්නේ යන්තමින්.

ඒත් අපි කිව්වා තුවක්කුවක හඬට බලපාන ශබ්ධ 3ක් තියෙන බව. තුන් වෙනි ශබ්ධය ඇති වෙන්නේ උණ්ඩය ශබ්ධයේ වේගය (තත්පරයට මීටර් 330ක්.) ඉක්මවා යෑම නිසායි. ඕනෑම වස්තුවක් ශබ්ධයේ වේගය ඉක්මවා ගියහම එහි පිටුපසින් එක් රැස් වන ශබ්ධ තරංග නිසා ලොකු ශබ්ධයක් ඇති වෙනවා. හරියට ජෙට් යානාවක් අපිට ඉහළ අහසේ අපිව පසු කර ගියාට පස්සේ ඇහෙන sonic boom එක වගේ. නමුත් අපි මෙතනදි ඒක හඳුන්වන්නේ ballistic crack එකක් කියලා. අපි මොන තරම් හොඳ සයිලන්සරයක් භාවිතා කළත් අපිට මේ ශබ්ධය අවම කරන්න බැහැ.

නමුත් අද වෙන කොට සමහර සමාගම් වලින් නිශ්පාදනය කරන්න සමත් වෙලා තියෙනවා, ශබ්ධයේ වේගයට වඩා අඩු වේගයෙන් ගමන් කළ හැකි උණ්ඩ. ඒ ආකාරයේ උණ්ඩයක් ඉලක්කය කරා යන්න තරම් වේගවත් වුණාට, ශබ්ධයේ වේගය ඉක්මවා යන්න තරම් වේගවත් නැති නිසා ballistic crack එකක් ඇති වෙන්නේ නැහැ. මේ ආකාරයේ උණ්ඩ යොදාගෙන, ඒ වගේම හොඳ සයිලන්සරයකුත් භාවිතා කළොත් අපිට පුළුවන් වෙඩි තැබීමකදී පිට වන ශබ්ධය සෑහෙන්න අඩු කරගන්න පුළුවන්.

more recommended stories