අම්මා ළිඳට වීසි කළ කිරි කැටියකුගේ දිවි බේරා දුන් වීරයා..!

හැම ජීවිතයකටම ජීවිතයක් දෙන්න අම්මා වුවත් අම්මා කෙනකුම දියට විසි කළ ජීවිතයකට යළි පණ දෙන්නට කරන්දෙණියේ පුතකුට පුළුවන් වුණේය. ඒ පුංචි ජීවිතයට මෙලොව ජීවත්වීමේ වාසනාව රැකදෙන්නට හෂිතට පුළුවන් වූයේ ඒ මොහොතේ තම ජීවිතය ගැන සිත සිතා නොසිට වතුරේ ගිලෙන්නට ගිය ඉෂාරාගේ පුංචි පුතුගේ ජීවිතය ගැන පමණක්  ඔහු සිතූ නිසාය.

දහනව හැවිරිදි හෂිත මධුෂාන් කරන්දෙණියේ, කුරුළුකන්ද, අඟුළුවැල්ලේ ඉපැදෙන්නේ සරත් සෝමසිරිගේත් පියවතීගේත් බාල දරුවා ලෙසිනි. පියුමි මදුෂානි හා මල්ෂා කේෂානි ඔහුගේ අක්කලා දෙදෙනාය. මව්පියන් විදෙස්ගතව රැුකියා කරන නිසා හෂිත ආච්චි අම්මා සමග වැඩිපුර විසුවේ අක්කලාගේ ගෙවල්වලය. ගාල්ලේ මඩකුඹුර මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා අවසන් කළ හෂිත මෝටර් කාර්මික ශිල්පි පාඨමාලාවක් හදාරන්නට ගත්තේය.

පසුගිය පෙබරවාරි 01 දා ඔහුගේ ගෙදර සාමාජිකයන්ට පිටිගල රාත‍්‍රී සාදයකට ඇරයුම් ලැබී තිබුණි. බොහෝ ? බෝවී එහි ගොස් එනවාට වඩා කලින් ගොස් එන්නට කට්ටිය කතා කර ගත්තෙන් හෂිත ද සූදානම් වන්නට පෙර නාගන්නට ගියේය. එ් සවස 3.30 ට  පමණය.

“මම නාලා ගෙට එනකොටම අල්ලපු ගෙදර අක්කට කවුදෝ මල්ලි කෙනෙක් හයියෙන් කතා කරනවා ඇහුණා. ඒත් එක්කම එහා ගෙදර අක්කා ඊට උඩහ ගෙදර අක්කට ඒ වගේම කලබලෙන් නම කියලා කතා කළා. මට එතැන මොකද්දෝ කලබලයක් වගේ දැනුණ හින්දා මමත් ඇඳගෙන හිටපු ටවල් එක පිටින්ම පාරට දුවගෙන ඇවිත් ඉෂාරා අක්කගෙන් ඇහුවා කලබලේ මොකද්ද කියලා. ”අර ගෑනි පොඩි එකා ළිඳට දාලා”  කියලා එයා උඩහට දිව්වා. මට එක පාරට ”අර ගෑනි” කවුද කියලා හිතාගන්න බැරිවුණා. ඒත් ඒ පැත්ත බලනකොට මං දැක්කා දිලීෂා ඔළුවෙ අත් ගගහ කන්ද උඩට එනවා. ඉෂාරා අක්කා කියපු අර ගෑනි කවුද කියලා මම හිතා ගත්තා. මට එකපාරටම මතක් වුණේ දිලීෂගෙ පොඩි එකාගෙ මූණ. දිලීෂා කියන්නෙ මගෙම වයසේ කෙනෙක්. එයා පුංචි පුතත් වඩාගෙන අපේ ආච්චි හම්බවෙන්න එනවා. ඒ වෙලාවට මමත් ඒ පුතාව වඩාගෙන, හුරතල් කරලත් තියෙනවා. මම ආපහු ගෙදර දුවගෙන ඇවිත් කොට කලිසමක් ඇඳගෙන දිව්වා. ඇත්තටම මම ඒ සිද්ධිය වෙලා තිබුණ මීටර් 300 ක් විතර දුරින් තිබුණ දිලීෂලාගෙ ළිඳ ළඟට දුවලා ගියෙ එතන වෙලා තියෙන්නෙ මොකද්ද කියලා බලන්න.

ඒ ගොල්ලන්ට තියෙන්නෙ බැඳපු ළිඳක්. ඒක  කොච්චර යටද කියලා මං ඒ වෙලාවෙ දැනගෙන හිටියෙ නෑ. දැන් තමයි දන්නෙ ඒක. මං එතෙන්ට දුවලා යනකොට ඔළුවෙ අත් ගහගෙන කවුද ගෑනු කෙනෙක් හිටියා. මං ආව වේගෙන්ම ළිඳට එබිල බැලූවා. පොඩි දරුවා මුණින් අතට ළිඳේ පාවෙනවා. ඒක දැක්කා විතරයි මට එක පාරටම මොකද්ද වුණා. මට මාව අමතක වුණා. ඉන්නෙ කොහෙද කියලවත් මතකයක් නෑ. ළමයා ගන්න සූදානමක්වත් එහෙම කවුරුවත් ඒ වෙලාවෙ එතැන හිටියේ නෑ. මං වටපිට බැලූවා ළිඳට බහින්න මොනවද තියෙන්නෙ කියලා බලන්න. එහෙම මොකුත් තිබ්බෙ නෑ. ළිඳේ වතුරත් තිබුණා අඩි 8 ක් 9 ක් වගේ යටින්. ඒ ළිඳ එච්චර පළල නෑ. ඒ හින්දා මම මොනවත් නැතුව ළිඳට බහින්න හිතුවා. ළිඳේ එක පැත්තකට පිට තිබ්බා. අනිත් පැත්තට කකුල් දෙක තියලා හිර කරගෙන පිටයි කකුල් දෙකයි උදව්වෙන් මම ළිඳේ පහළට බැස්සා.

වතුරෙ ගෑවෙන තරමට ආවට පස්සේ ඒ ඉරියව්වෙන්ම වතුරෙ හිටපු දරුවා අත්දෙකට ගත්තා. දරුවට සිහියක් නෑ. ඔළුව පාත්වෙන්න හදද්දී මං ඔළුව කෙළින් කළා. උඩ අයට කෑගැහුවා දරුවා ගන්න මොකක් හරි පහළට දාන්න කියලා. ඒ වෙලාවෙ නම් ඔළු ගොඩක් දැක්කා. පනිට්ටුවක් පහළට ආවා. පනිට්ටුව පොඩියි. ඒකට දාන්න බෑ කියලා කෑගහලා වෙන එකක් එවන්න කිව්වා. විනාඩි පහක් විතර ගියා. එහෙම එතන ඉන්න බෑ අමාරුයි. මම කෑගැහුවා කකුල් ලෙස්සලා මාව වැටෙන්න කලින් ළමයව ඉක්මනට ගන්න මොනවා හරි එවන්න කියලා. ඊට පස්සෙ ගෙවල් ගාව රේණුකා නැන්දා පොලේ ගෙනියන රෙදි බෑග් එකක් දැම්මා. ඒක එවලා තිබුණේ බෑග් එකේ අත් දෙකම ලණුවෙන් බැඳලා.  ඉතින් ළමයා බෑග් එක ඇතුළට දාන්නෙ කොහොමද? ආයෙත් කෑගැහුවා එක අතක් විතරක් ගැට  ගහලා එවන්න කියලා. ඔන්න ඒ වතාවෙ තමයි දරුවා බෑග් එකට දාලා උඩට යැව්වෙ. මම අමාරුවෙන් වුණත් දරුවා උඩට ගන්නකල් එහෙම්ම හිටියා. පස්සෙ තමයි මම දැක්කේ කකුල් දෙක තියාගෙන හිටපු ළිං කණ්ඩියෙ මම ඇඟිලිවලින් හාරලා වළක් හදලා තිබුණා. ළමයා උඩට ගත්තම කවුදෝ  හෂිත… හෂිත කියලා කෑගැහුවා. ඉතින් මං කිව්වා ඉක්මනට දරුවා ඉස්පිරිතාලෙ එක්ක යන්න, මං එන්නම් කියලා. ඉතින් එහෙම කියලා උඩ බැලූවම ළිං කට ළඟ කවුරුවත් නෑ. මං ළිඳට බැස්ස විදිහටම පිටෙනුයි කකුල් දෙකෙනුයි උඩට ආවා. සිලින්ඩරේ ළඟටම ඇවිත් මං ආයෙත් වතුරට වැටුණා. ඒ වෙලාවෙ මං වැටුණ ළිඳට දාලා තිබුණ මෝටරේ බටේ අල්ලගෙන උඩට එන්න හැදුවා. ඒත් වතුරට වැටුණා. බයක් නම් හිතුනෙ නෑ. මට හිතුණා කොහොමහරි ළිඳෙන් උඩට එන්න පුළුවන් කියලා. ඒත් මං වතුර උඩ ඉඳගෙන ඒ කිට්ටුව කවුරුහරි ඇති කියලා හිතාගෙන හයියෙන් කතා කළා. ටිකක් වෙලා යද්දී තුන්දෙනෙක් ඇවිත් ළිඳට එබුණා. ඒ ජයරත්න මාමයි, දෝණි නැන්දයි, නිලන්ති අක්කයි. ඒ ගොල්ලො කෝට්ටක් දුන්නා. ඒත් ඒක ළිඳේ අඩියට දැම්මම තව අඩි එකහමාරක් වගේ තමයි වතුරෙන් උඩට තිබුණෙ. ඊට පස්සෙ මහත නැති නයිලෝන් නූලක් එව්වා.

ඒකෙන් එන්න බෑ. අත කැපෙනවා. ඒ අතරෙ පිට තුවාලවෙලා දැවිල්ලයි. ඊට පස්සෙ ළිං කණ්ඩියේ කකුලෙන් හාරපු වළට කෝට්ට ගහලා උඩ කණ්ඩියට හේත්තු කරලා ඒකෙ වාරුවෙන් සිලින්ඩරේ පටන් ගන්න තැනට ආවා.  එතෙන්ට ආවම ඒ ගොල්ලො ලණු කෑලි කීපයක් දාලා අල්ලන්න දුන්නා. ඒකෙ එල්ලිලා එනකොට ඒ අය මාව ඇදලා ගොඩට ගත්තා. ඒ ආව ගමන් මං ඇහුවෙ” දරුවට මොකද කියලයි. දරුවා ඉස්පිරිතාලේ අරන් ගියා කියලා විතරයි ඒ අයත් දැන ගෙන හිටියේ. මං ගෙදර ඇවිත් ලෑස්තිවෙලා අක්කලා එක්ක පාටි එකට ගියා. ඒ ගිහිල්ලත් මං රේණුකා නැන්දට කතා කර කර ඇහුවෙ ඒ බබාට කොහොමද කියලා.

එදාම පොලිසියෙන් කතා කරලා පොලිසියට එන්න කිව්වා. මම පාටි එකේ ඉඳලා ඇවිත් පොලිසියට ගියා. සිද්ධියේ ඔක්කොම විස්තර පොලිසියෙන් ඇහුවා. මං කිව්වා දරුවට අනතුරක් නෑ කියලා මං දැන ගත්තා. මං බලන්නත් ගියා. දෙවෙනි දවසෙත් පොලිසියෙන් එන්න කිව්වා. ලොකු මහත්තයා මං කරපු දේට ප‍්‍රශංසා කළා. මං කළේ වීර ක‍්‍රියාවක් කියලා මට සහතිකයක් දුන්නා. ඒ ළිඳ අඩි 23 ක් ගැඹුරුයි කියලා මම දැනගත්තෙ පොලිසියෙන්. පෙබරවාරි 04 වැනිදා අපේ ඉස්කෝලෙ තිබ්බ නිදහස් උත්සවේදීත් මට එන්න කියලා මම කරපු වැඬේ අගය කරලා සහතිකයක් දුන්නා.

තාත්තා මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නේ. තාත්තත් මගේ වැඬේ හොඳයි කිව්වා. අම්මට කතා කරලා කිව්වෙ. අම්මට දුකයි. එයත් කිව්වෙ දරුවා බේර ගන්න එහෙම කරපු එක හොඳයි කියලා. අපේ ආච්චි අම්මා නම් තාමත් ඉන්නෙ තෝන්තුවෙන් වගේ. මං කරපු වැඬේ හොඳ වුණාට මට අනතුරක් වුණානම් කියලා ආච්චි අම්මට දුකයි.. මොනවා වුණත් අපිට සතෙක්වත් වතුරට වැටිලා ඉන්නවා බලන් ඉන්න බෑ. ළමයා හදන්න බැරිනම් පොලිසියට හරි ගිහින් කියන්න තිබුණා. අම්මා කෙනකුට තමන්ගෙ දරුවට මෙහෙම කරන්න පුළුවන්ද”

හෂිත ඒ ප‍්‍රශ්නය අසන්නේ මේ අම්මාගෙන් විතරක් නොව දරුවන් බර වැඩි කියා ළිඳට, ගඟට, මගට විසිකරන කවුරුත් අම්මාවරුන්ගෙනි. ඇත්තය. මෙලොවට උත්පාද වූ කිසිදු ජීවිතයක් එසේ නැති කිරීමේ අයිතිය කිසිවකුටත් නැත.  ජීවිතය ලොකු, පොඩි කියා නැත, කාගෙත් ජීවිතය එකය. කාටත් ජීවිතය වටී.

මාස 14 වයසැති දරුවා මේ වනවිට ඇල්පිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර ඔහු අනතුරුදායකා තත්ත්වයෙන් මිදී ඇති බව පවසයි. මාස 14 ක් වයසැති දනුක තුෂාන් දරුවා ළිඳට දැමූ සැකකාර මව කරන්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවිය.

බියංකා නානායක්කාර

Facebook Comments

more recommended stories

%d bloggers like this: