එන්නත් කලින්ම හතුරුසිංහ ක්‍රිකට් පරිපාලනයට කල අනතුරු ඇගවීම මෙන්න..!

“වැඩේ හරි විදිහට වෙන්න ඕන. නැතිනම් දමල ගහල යනවා. මොකද මට රස්‌සාව ගහක්‌ යට හරි කරන්න පුහුණු කරන්න පුළුවන් ළමයි කීප දෙනෙකුව සොයාගෙන.” මෙහෙම කියන්නෙ චන්දික හතුරුසිංහ. මීට මාස කිහිපයකට පෙර චන්දික ඒ කතාව කීවේ බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ධුරය දරන කාලයේදීය.

2019 වනතෙක්‌ බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ධුරයට කොන්ත්‍රාත් අත්සන් කර සිටි හතුරුසිංහ හිටි හැටියේ සිය රාජකාරියට සමුදුන්නේය. එහි යටි අරමුණ ශ්‍රී ලංකාවේ පුරප්පාඩුව තිබෙන ප්‍රධාන පුහුණුකරු ධුරය වෙනුවෙන්ද යන්න දැන් ක්‍ෂේත්‍රයේ මාර්තෘකාවට බඳුන්ව තිබේ.

ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්‌ සහ ධනංජය ද සිල්වාගේ පිති ප්‍රහාරය අනාගත ආයෝජනයක්‌ කළ හැකි බව හතුරුසිංහ පැවසීය. “ශ්‍රී ලංකාවේ ළමයින්ගේ ක්‍රිකට්‌ ඇගෙන්ම තියෙනවා. ලංකාවේ පාසල් ක්‍රිකට්‌ ඉතාම හොඳයි. බංග්ලාදේශයේ එහෙම නැහැ.” යෑයි හතුරුසිංහ පවසා සිටියේ ශ්‍රී ලංකාව ක්‍රිකට්‌ වලින් වට්‌ටන්නට මේ පරම්පරාව සිටින තුරු නොහැකි බව වටහා ගනිමිනි. නමුත් අද ශ්‍රී ලංකාව ක්‍රිකට්‌ වලින් පරාජයන් වලින් හෙම්බත්ව තිබේ.

ග්‍රැහැම් ෆොඅඩ් නික්‌ම යැමෙන් පසු පුහුණුකරු ධුරයට සුදුස්‌සකු තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සොයමින් තිබේ. ලබන ජනවාරි 1 වැනිදාට පෙර ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන් නව පුහුණුකරුවා පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙහෙසෙමින් සිටියි. නමුත් හතුරුසිංහට නිල වශයෙන් ආරාධනා නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පවසයි. කෙසේ වෙතත් හතුරුසිංහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඇස ගසා සිටින බව තතු දත් උදවිය ඔස්‌සේ වාර්තා විය.

2010 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණුකරුවකු ලෙස කටයුතු කළ හතුරුසිංහව හිටි හැටියේ ගෙදර යෑවීමට එකල සිටි ක්‍රිකට්‌ පරිපාලනය කටයුතු කළේය. සංගක්‌කාර සහ මහේලලා හතුරුසිංහව එදා අවශ්‍ය බවට ලිතව ඉල්ලා සිටියද පරිපාලකයන් ගත් තීන්දුවේ වෙනසක්‌ නොතිබුණි. නමුත් ගහක්‌ යට හරි රාජකාරිය කරන්නට හැකි මොහු ඔස්‌ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස්‌ කණ්‌ඩායමේ පුහුණුකරුවා බවට පත්වීම් ලැබීය. අනතුරුව හතුරුසිංහගේ වටිනාකම දැනගත් බංග්ලාදේශය ඔහුව තෝරා ගැනීමත් බංග්ලාදේශ ක්‍රිකට්‌ ඉතිහාසයේ ස්‌වර්ණමය මොහොත උදාවිය.

හතුරුසිංහ මාස හයක්‌ පමණ බංග්ලාදේශ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන අයුරු පැත්තකට වී බලා සිටියේය. අනතුරුව ඔහු බංග්ලාදේශයේ ක්‍රිකට්‌ උඩු යටිකුරු කර දැමුවේය. බී.පී.එල්. පටන් ගන්නේද හතුරුසිංහගේ සහය ඇතිවය. ක්‍රීඩා සමාජ තරගාවලි අලුත් වන්නේද හතුරුසිංහගේ සැලැස්‌මකට අනුවය. අනතුරුව තේරීම් කමිටුවේ බලතලත් හතුරුසිංහට පැවරීමට බංග්ලාදේශ ක්‍රිකට්‌ කටයුතු කරද්දී ඔවුන් ශ්‍රී ලංකාවට වඩා එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණියේය. හතුරුසිංහ වැඩ දමද්දී බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය කළේ අවශ්‍ය දේ “පොම්ප” කිරීම පමණි. නමුත් හදිසියේ හතුරුසිංහ ඉල්ලා අස්‌වීමෙන් බංග්ලාදේශයද තැති ගැන්මකට පත්ව තිබේ.

එක දිගට පරදින්නට හේතුවක්‌ ඇත. පුහුණුකරුවෝ හිසේ ඇම්මට කොට්‌ට මාරු කරන්නට මෙන් මාරු කිරීම පරාජයේ ප්‍රධාන සාධකයක්‌ විය. ක්‍රීඩකයන් දාන් ලෑල්ලේ ඉත්තන් මෙනි. ක්‍රිකට්‌ කළමනාකරු එක විදිහකට හිතද්දී තේරීම් කමිටුව තවත් ක්‍රමයක්‌ අනුගමනය කරයි. පාලකයෝ තවත් පැත්තකය. දෝරේ ගලා යන සැලසුම් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සකස්‌ කළද අවශ්‍ය දේ නොවීමෙන් පරාජයන් වැල දිගු වී තිබේ. එවැනි මොහොතක පුහුණුකරුගේ පත්වීමට හරිම සුදුස්‌සා කවුරුන්ද යන්න ඉතා පරිස්‌සමෙන් කළ යුතු කර්තව්‍යයකි.

හතුරුසිංහ ආවොත් ඔහුට මැජික්‌ පෙන්වන්නට බැරිය. නමුත් ශ්‍රී ලංකා “ඒ” කණ්‌ඩායමේ සහ ටැමිල් යුනියන් කණ්‌ඩායම්වල හතුරුසිංහ පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ. එදා ඔහු හැදූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අද කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨයෝ බවට පත්ව තිබේ. හතුරුසිංහ පැමිණියොත් වැඩේ පහසු වන්නේ එබැවිනි.

නමුත් පරිපාලකයාට ඕන තේරීම් කිරීමටත් අන් අයට අවශ්‍ය විදිහට සැලැස්‌ම සකස්‌ කිරීමටත් හතුරුසිංහ අකමැතිය. ඔහු බංග්ලාදේශයට ගොස්‌ පළමුව කළේ ඔවුන්ගේ ප්‍රධාන තුරුම්පුව වූ ෂකීබ් අල් හසන්ට තරග තහනමක්‌ පැනවීමට කටයුතු කිරීමයි. එතැන් සිට බංග්ලාදේශයම හතුරුසිංහගේ මේ ක්‍රියාව ගැන වික්‌ෂිප්ත විය. නමුත් බංග්ලාදේශ ක්‍රිකට්‌ ඔහු ගොඩ දැමුවේ එවැනි උපක්‍රම මගිනි. හතුරුසිංහ හෝ වේවා වෙන ඕනෑම පුහුණුකරුවකු හෝ වේවා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ හදන්නට නම් නැවෙන කොන්දක්‌ නොතිබිය යුතුය. විනය සහ දක්‍ෂතාව ඔස්‌සේ ක්‍රීඩකයන් ඉදිරියට ඇදගෙන යැමේ හැකියාව ඇති පුහුණුකරුවන් අතළොස්‌ස අතර හතුරුසිංහද සුවිශේෂී චරිතයකි. මේ පරාජයන් රැල්ලට තිත තබන්නට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සොයන පුහුණුකරුවා කවුරුන්ද යන්න අපි බලා සිටිමු.

– දිවයින ඇසුරෙනි.

Facebook Comments

more recommended stories

%d bloggers like this: