අලි සම්පතත්, ජන ජීවිතයත් වනසන හොරොව්පතාන අලි සිරකඳවුර..!

ජය ශ්‍රී මහා බෝධියත්, රිටිගල ඇත් අතුරු සෙවනත්, හොරොව්පතාන කපුගොල්ලෑව අලි අනාථාගාරය යන ත්‍රිත්වය එක්‌ කල උතුරු මැද සංචාරක සැලැස්‌මේ අංගයක්‌ ලෙස ඇරඹි, හොරොව්පතාන කපුගොල්ලෑව අලි අනාථාගාරය නිසා, මේ වන විට එම ප්‍රදේශයේ ජන ජීවිතයත්, අලි ඇතුන්ගේ ජීවත් වීමේ අයිතියත් උදුරා ගන්නා තැනක්‌ බවට පත්ව ඇත.

වන ජීවී අමාත්‍යවරයා ලෙස, එස්‌. එම්. චන්ද්‍රසේන මහතා යටතේ ඇරඹි මෙම අනාථාගාරය උදෙසා කපුගොල්ලෑව වනාන්තර ප්‍රදේශයකින් හෙක්‌ටයාර් 3200 ක්‌ ලබා ගත් අතර, එම භූමි භාගය ජාතික උද්‍යානයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර වන ජීවී දෙපාර්තමේන්තුව යටතට පවරා ගන්නා ලදී. යෝජිත සංචාරක සැලැස්‌ම යටතේ වනාන්තරය කොටු කිරීමට ඇරඹි අතර, වනාන්තරයට මෙපිටින් පිහිටි මොරවැව වනාන්තරය සම්පූර්ණයෙන්ම වනසා දමනු ලැබුවේ යෝජිත ව්‍යාපෘතියේ පහසුකම් වර්ධනය කිරීමේ වුවමනාවක්‌ පැවති හෙයිනි.

මෙම අනාථාගාරය ඉදිකිරීමට නියමිත බිම ස්‌වාභාවිකවම වන අලින්ගේ නිජ බිමක්‌ බවට පත්ව තිබූ අතර, අලි මිනිස්‌ ගැටුම වාර්තා නොවූ බිමක්‌ ලෙස පැවතුනි. එයට ප්‍රධාන හේතුව වූයේ එම වනාන්තර කලාපය අලින්ට සියලු පහසුකම් ලබාගත හැකි ලෙස පිහිටා තිබුණ හෙයිනි.

නමුත්, 2014 දී අත්තනෝමතිකව අනාථාගාරය ඉදිකිරීම ඇරඹුණු අතර පසුව මේ බිමෙහි වැඳුම් පිදුම් කරන පැරණි විහාරයක්‌ ඇතුළුව පුරාවිද්‍යාත්මක නටබුන් රාශියක්‌ පැවති හෙයින් එම කොටස ද ඉවත් කළ අතර ඉන් පසු හොරොව්පතාන ජාතික උද්‍යානයේ අලි අනාථාගාරය පිහිටු වීමට ඉතුරු වූයේ හෙක්‌ටයාර 1200 ක්‌ පමණි.

හෙක්‌ටයාර් 1200 ක්‌ තුළ විශාල අලි ප්‍රමාණයක්‌ ගාල් කිරීමට නොහැකි අතර, අනාථාගාරය වටකරමින් ඉදිකෙරෙමින් පැවති අලි වැට නිසා ස්‌වාභාවික වනාන්තරය දෙකඩ වී ස්‌වභාවිකව දිවි ගෙවූ අලි ඇතුන් ගම් වදින ආකාරය නිරීක්‌ෂණය කළ විවිධ සංවිධාන සහ විද්වතුන් අනාථාගාරය වහාම නවතා දමන ලෙස ඉල්ලා වන ජීවී දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ඉදිරිපත් කරන්නට විය.

රට පුරා ප්‍රචණ්‌ඩ ලෙස හැසිරෙන විනාශකාරී අලි ඇතුන් අල්ලා ගෙනැවිත් පුනරුත්ථාපනය කරන මධ්‍යස්‌ථානයක්‌ ලෙස මෙය හුවාදැක්‌වුවද, මෙම අනාථාගාරය නිසාම විශාල අලි ප්‍රමාණයක්‌ අතරමංව මරු වැලඳ ගත්තද, වන ජීවී දෙපාර්තමේන්තුව එම වාර්තා පිළිගැනීමට අකමැති විය. ඔවුන් පැවසුවේ යාං ඔය ව්‍යාපෘතිය නිසා මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි. නමුත් කපුගොල්ලෑව වැවේ පවා කුඩා අලි පැටවුන් පවා මිය ගොස්‌ සිටියේ යාං ඔය ව්‍යාපෘතිය නිසා නොවේ.

තවත් විනාශයකට හේතු වූයේ මෙසේ අල්ලාගෙන අලි අනාථාගාර ගත කරන ලද බොහොමයක්‌ පිරිමි සතුන් තනි අලියන් ලෙස හැසිරෙන සතුන් වූ අතර, මෙම සතුන් අභිජනන කාලයේදී

රැහෙන් පිටකරන ලද සතුන් විය. මෙම සතුන් ශක්‌තිමත් ජාන ඇති ජාන සංසරණය කරන සතුන් වන අතර මොවුන්ගෙන් ගොඩනැඟෙන්නේ ශක්‌තිමත් අලි පරම්පරාවකි. යම් හෙයකින් මෙම පිරිමි අලින්ට වෙනත්

රැලකින් එහි සිටින පිරිමි සතුන් සමඟ සටන් කොට ගැහැනු සතෙකු ලබා ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේ ඇතිවෙන අලි පරම්පරාව දුර්වල වීම වැලැක්‌විය නොහැක.

කැලුම් තුෂාර – තෙත් බිම් උරුමය

Facebook Comments

more recommended stories

%d bloggers like this: