යාපනයේ ජල ගැලීම් – 1700 ක් ආරක්‍ෂිත ස්ථාන කරා..!

පසුගිය දින කීපය ඇතුළත මිලිමීටර් පන්සීයකට අධික වර්ෂාවක් පතිත වූ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මහජනතාව දුෂ්කර තත්වයකට පත්ව සිටින බව දිස්ත්‍රික් කළමනාකරණ ඒකකය වාර්තා කරන බව ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

‘අරාලි’ සහ වෙනත් කළපු ආශ්‍රිත ප්‍රදේශයන්හි බැමිවලට ඉහළින් ජල මට්ටම් පවතින අතර ඒ සමඟ පුද්ගලයන් 1700 කට අධික පිරිසක් ඔවුන් වාසය කළ ස්ථානවලින් තාවකාලිකව ඉවත් කරනු ලැබ ඇතැයි ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.

“මේ තත්වය යටතේ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ යාපනය ඒකකය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු කොටස් එකමුතු වෙමින් ඉදිරියේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා” නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවතින තත්වය වැඩි දුරටත් විස්තර කළේය.

“හදිසි මෙහෙයුම් මැදිරිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සියලු ඒකක සූදානමින් තැබීමට පියවර ගෙන තිබෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ස්ථාන ගත කරලා තියෙනවා. ඊට අමතරව 2014 ආරම්භ කළ වව්නියා දිස්ත්‍රික්කයේ විශේෂ බඩු භාණ්ඩ සහිත ආපදා කළමනාකරණ ඒකකයත් මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා” ඔහු ඕනෑම හදිසි තත්වයක් සඳහා මුහුණ දීමට ඇති සූදානම පෙන්වා දෙයි.

“පූනෑව යුද හමුදා කඳවුරේ එම භාණ්ඩ සූදානමින් තියෙනවා. ඒ අනුව අපට හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන්”

කෙසේ වුවද, ඊයේ (නොවැම්බර් 11) සවස සහ අද (12) උදේ වරුවේ උතුරු පළාතේ වැසි සහිත කාල ගුණයේ අඩු වීමක් දක්නට ලැබුණ බව යාපනය දිස්ත්‍රික් ඒකකය විසින් වාර්තා කරන ලද බවත් ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.

“එහෙත් කිසියම් වැසි සහිත කාල ගුණයක් ඇති වුනොත් ස්ථාන කීපයක් ජලයෙන් යට වීමේ විභවයක් ඇති බව දිස්ත්‍රික් ඒකකය පවසනවා. එවැනි තත්වයක් යටතේ සහන සැපයීම සඳහා ජාතික සහන සේවා මධ්‍යස්ථානය දැනුවත් කරමින්, අවශ්‍ය වුනොත් ආපදා කටයුතු අමාත්‍යාංශය හරහා එම සහන සැපයීමටත් සූදානමින් සිටිනවා” ඔහු ඉදිරි ක්‍රියාමාර්ගයන් ද විස්තර කළේය.

අයහපත් කාල ගුණය විශේෂයෙන්ම බල පා ඇත්තේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට යයි සඳහන් කළ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි, දැනට ‘බරපතළ තත්වයක් නැතත් හදිසි ආපදාවකට මුහුණ දීමට සියල්ල සූදානම්’ බවත් කියා සිටියි.

 

බීබීසී සිංහල

Facebook Comments

more recommended stories

%d bloggers like this: