එක්දින තරඟ 5ට කඩුලු 15යි – මට ඕනේ මාලිංග වගේ වෙන්න – බුම්රා මාලිංග ගැන කියන කතාව

ඉන්දීය ක්‍රිකට් පිල හමුවේ ශ්‍රීලංකා පිල එක්දින තරගාවලියේදී දරුණු පරාජයකට ලක්වූ අතර 5-0ක් ලෙස තරාවලියේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී පරාජයවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ කනස්සල්ලට පත්වූ බවට කිසිම සැකයක් නැත. ශ්‍රී ලංකාවේදී දඟපන්දු යවන්නන්ට උචිත තණතිලි ලැබෙන බවට විශ්වාසයක් තිබුණද මෙවර එක්දින තරගාවලියේ ඉන්දීය පි‍ලේ වේගපන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණවීම කැපී පෙනුණි.

එක්දින තරග 5 තුළ කඩුලු 15ක් ලබා ගනිමින් තරගාවලියේ වීරයා සම්මානයට පාත්‍ර වූ 23 හැවිරිදි ජස්ප්‍රිට් බුම්රා පිළිබඳව වඩාත් ඉහළ ඇගයීමකින් ඉන්දීය නායක විරාත් කෝලි පැවසුවේ කඩුලු ලබා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට එරෙහිව සිදුකරනු ලැබූ අභියෝගය හේතුවෙනි. තවමත් 23 හැවිරිදි වියේ සිටින බුම්රා ඉන්දීය පි‍ලේ අනාගතයට හොඳ ආයෝජනයක් බවට කිසිම සැකයක් නැත.

පල්‍ලේකැ‍ලේ පැවැති තෙවැනි එක්දින තරගයේදී ලකුණු 27ට කඩුලු 5ක් ලැබූ බුම්රා තමාගේ හොඳම එක්දින පන්දු යැවීම ලෙස වාර්තා කරමින් තරගාවලියේ ජයග්‍රහණයට සෘජුවම දායකත්වය දීමත් කෝලිට අවශ්‍ය වෙලාවට පන්දුවෙන් දැක්වූ දායකත්වයත් නිසා බුම්රා මේ වන විට ඉන්දීය එක්දින පිලට නැතිවම බැරි පන්දු යවන්නකු බවට පත්වී හමාරය.

ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් තරගයේ වීරයා ලෙස තෙවැනි එක්දින තරගයේ නම් වී තරගාවලියේ වීරයා ලෙස ඉන්දීය ජයග්‍රහණයට උරදීම වඩාත් සතුටක් බව බුම්රා තරගාවලියේ නිමාවේදී පැවසීය.

“ඇත්තටම මගේ සිහිනය තමයි ටෙස්ට් පිලට ක්‍රීඩා කිරීම. මට අවස්ථාව ලැබෙන තෙක් බලා සිටිනවා. මගේ පන්දු යැවීමට මම හැමවිටම වඩාත් වෙහෙසෙනවා. විශේෂයෙන් මට ලැබෙන විවේක කාලයේදී මම කරන්නේ තරගවලට සූදානම් වීමට එම කාලය යොදා ගැනීමයි. විශේෂයෙන් මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් අයිපීඑල් තරගාවලීන් ක්‍රීඩා කිරීම මට ලොකු අත්දැකීමක් වුණා. අපි මුම්බායි පි‍ලේ එකට ක්‍රීඩා කිරීමේදී මගේ කණ්ඩායම තමයි මාලිංග ක්‍රීඩා කරන්නේ. ඔහුගෙන් මම ගොඩක් දේ නවකයකු ලෙස ඉගෙන ගන්නවා. මට අවශ්‍ය මාලිංග වගේ වඩාත් හොඳ වේග පන්දු යවන්නකු වීමයි.”

යනුවෙන් බුම්රා පවසන්නේ මාලිංග වැනි විශිෂ්ට පන්දු යවන්නකු තුළින් ඉගෙනීමට බොහෝ දේ ඇති බව පෙන්වා දෙමිනි.

මාලිංග මෙන් පන්දු යැවීමේ අසාමාන්‍ය ඉදිරියව්වක් ඇති බුම්රා විශේෂයෙන් යෝකර් පන්දු යවමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැක්වූ අභියෝගය සුළුපටු නැත. විශේෂයෙන් එක්දින තරගයේ අවසන් ඕවරවලදී බුම්රාගේ අගය වඩාත් වැඩි නිසා ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් තුළ පිතිකරුවන් ලොකු පීඩනයකට මැදිවන බව පැහැදිලිය.

එක්දින තරග 21කදී කඩුලු 41ක් ලබා සිටින බුම්රා තරගයක කඩුලු පහක් එකම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේදී ගැනීම ඔහුට අමතක නොවනු ඇත. ඔහුගේ පන්දු යැවීමේ වඩාත් වර්ධනයක් ඇති බව පවසන නායක කෝලි ආසියානු තණතිල්‍ලේ එක්දින තරගයක කඩුලු පහක් ගැනීම විශේෂ දක්ෂතාවක් බව පවසන්නේ දඟ පන්දුවට උචිත තණතිලිවල ඔහුගේ වේග පන්දුවේ අගය වඩාත් කැපී පෙනුණු හෙයිනි.

එක්දින තරගාවලියක මතෛක් වැඩිම කඩුලුලාභියා ලෙස ඉන්දියාවේ අමිත් මිස්රා කඩුලු 18ක් ලෙස වාර්තා කර ඇති අතර දෙවැනියට ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් බාස් කඩුලු 16ක් ලබා ඇත. මොවුන් දෙදෙනාම දඟපන්දු යවන්නන්ය. කඩුලු 15ක් ලබාගත් පන්දු යවන්නන් පස්දෙනා අතර අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව), ග්‍රැහැම් ක්‍රීමර් (සිම්බාබ්වේ), අබ්දුල් රසාක් (බංග්ලාදේශය), අමිත් මිස්රා (ඉන්දියාව) දඟ පන්දු යවන්නත් ලෙස වාර්තා ‍පොතට එක් වී ඇත. පස්වැනියා ලෙස මෙවර වාර්තා ‍පොතට අලුතින් එක් වන්නේ එකම වේග පන්දු යවන්නා ලෙස කඩුලු 15ක් එක්දින තරගාවලියක වාර්තා කළ බුම්රාය. මෙවර තරගාවලියේදී බුම්රා සුවිශේෂ දක්ෂතා දක්වා ඇති බව කෝලි පෙන්වා දෙයි.

මෙවර බුම්රා කඩුලු 15ක් ලැබිමත් සමග අයිසීසී එක්දින වාර්තාකරණයේ ස්ථාන 27ක් ඉදිරියට පැමිණෙමින් සිව්වැනි ස්ථානයට පැමිණීම විශේෂත්වයකි.

2016 ඉන්දියා පි‍ලේ ඔස්ට්‍රේලියා සංචාරයේදී සිඩ්නි පිටියේදී මංගල එක්දින වරම් ලැබූ බුම්රා ඉන්දීය ‘ඒ’ පි‍ලේ දක්ෂතා නිසා ජාතික පිලට වරම් ලැබූවකි. ඔස්ට්‍රේලියා නායක ස්ටීව් ස්මිත්ගේ කඩුල්ල ප්‍රථම එක්දින කඩුල්ල ලෙස ලබා ගනිමින් ඇරඹූ බුම්රාගේ ක්‍රිකට් දිවියේ තව යා යුතු දුර බොහෝය. ඔහු මේ වන විට එක්දින තරග සඳහා වඩාත් යෝග්‍ය බව සනාථ කර ඇත.

පසුගිය වසර එකහමාර තුළ බුම්රාගේ පන්දු යැවීමේ කැපී පෙනෙන දක්ෂතා ඇතිවී ඇති බවත් ඔහුගේ පන්දුවේ වේගය මෙන්ම පන්දුව නියම එල්ලයට එවීම අතින් වඩාත් ඉදිරියෙන් සිටින බවත් පවසන නායක කෝලි යෝකර් පන්දු, මන්දගාමී පන්දු ආදී මිශ්‍රණයක් තුළ පිතිකරුවන් වඩාත් පීඩනයකට මැදි වන බවත් පෙන්වා දෙයි. ඔහු වැනි යොවුන් පන්දු යවන්නකු මේ වන විට දක්වන දක්ෂතා තුළ ඉදිරියේදීත් ප්‍රතිවාදී පිතිකරුවන්ට හිසරදයක් වනු නොඅනුමානය. විශේෂයෙන් ආසියානු තණතිල්‍ලේද වැඩි දෙයක් කළ හැකි බව පෙන්වා ඇති බුම්රා වේග තණතිලිවලදී ක්‍රියාත්මකවීම තවත් වැඩි වන බව නිසැකය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: