ජෙරුසලම් යෝජනාවට එරෙහි වුවත් යුද්ධයේදී ශ්‍රී ලංකාවට උදව් කළේ ඊශ්‍රායලයයි..!

ශ්‍රී ලංකාව ජෙරුසලම් යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කළත් කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව යුද වැදීම සඳහා ප්‍රහාරක යානා සහ වෙනත් උපාංග ලබාදුන්නේ ඊශ්‍රායලය යෑයි ඉහළ පෙළේ ආරක්‌ෂක ආරංචි මාර්ග පැවසීය.

ඊශ්‍රායලය ශ්‍රී ලංකාවට කෆීර් ප්‍රහාරක යානා, ඩෝරා ප්‍රහාරක යාත්‍රා, නියමුවන් රහිත සර්වර් යනා , සුරනිමල සහ නන්දිමිත්‍ර යන යුද නැව් පවා සපයනු ලැබුවා යෑයි හිටපු ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක්‌ පැවසීය.

කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව යුද වැදීම සඳහා හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාට ප්‍රහාරක යානා සැපයීමට කිසිදු රටක්‌ ඉදිරිපත් නොවූ අවස්‌ථාවේ කෆීර් යානා සැපයුවේ ඊශ්‍රායලය බවද හෙතෙම පැවසීය.

අපේ රටට එරෙහි වැඩි පිරිසක් දෙබිඩ්ඩෝ – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් ‍සමරනායක

මැදපෙරදිග ඇතිවී තිබෙන ගැටුම්කාරීත්වය හා පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාර පිළිබඳ අමෙරිකාව, බලවත් ජාතීන් හා අන්තර්ජාතික සංවිධාන අනුගමනය කරන පිළිවෙත ගැනත් ඔවුන් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ක්‍රියා කළ ආකාරයත් විමසමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් ‍සමරනායක මහතා සමඟ කළ සංවාදයකි.

* මැදපෙරදිග ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ ඔබ විග්‍රහ කරන්නේ කෙසේද?

සති කිහිපයක පටන් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව ගාසා තීරයේ හමාස්වරුන්ට එරෙහිව මෙහෙයුමක් අරඹා තියෙනවා. යුදෙව් තරුණයන් තිදෙනකු ඝාතනය වීම පලස්තීන සටන්කාමීන් හෝ වැසියන්ගේ ක්‍රියාවක් බව ඔවුන්ගේ විශ්වාසයයි. ඊට ප්‍රතිචාරයක් ලෙස පලස්තීන ළමයකු පැහැරගත් යුදෙව් පාර්ශවය ඔහු පණපිටින් පුළුස්සා මරා දැම්‍මා. අලුත් තත්ත්වය මෙසේ වුවත් ගාසා තීරයේ ඊශ්‍රායල් මෙහෙයුම් අලුත් නෑ. එසේම මේ එවැනි පළමුවැන්න හෝ අවසානයත් නෙවෙයි.

ඊශ්‍රායල් රාජ්‍ය බිහිවූදා පටන්ම ඔවුන් ක්‍රමයෙන් තම රාජ්‍ය ව්‍යාප්ත කරමින් සිටිනවා. ඊශ්‍රායල් රාජ්‍ය බිහිවුණේ පලස්තීන භූමිය පැහැරගනිමිනුයි. 1967 සයදින යුද්ධයේදී ඔවුන් තවත් ප්‍රදේශ ඊට ඈඳාගත්තා. ඔය කලාපයේ යුදෙව්වන්ට රටක් තිබිය යුතු බව මගේත් ස්ථාවරයයි. ඔවුන් යු‍රෝපයේදී බලවත් පීඩාවටත්, මර්දනයටත් ලක්වුණා.

ඔවුන්ට සේම පලස්තීනුවන්ටත් යුක්තිය ඉෂ්ටවිය යුතුයි. යුදෙව්වන්ට යුක්තිය ඉටුවිය යුත්තේ පලස්තීනුවන්ගේ අයිතීන් සාහසික ලෙස අහිමිකරමින් නෙවෙයි. පලස්තීනය යනුවෙන් රාජ්‍යයක් නිල වශයෙන් තවමත් බිහිවී නෑ. එසේ තිබියදී ඔවුන් අසීරුවෙන් ගොඩනඟාගත් යටිතල පහසුකම් පවා කෘෘර විදිහට ඊශ්‍රායල් ප්‍රහාර නිසා විනාශ වෙනහැටි දකින්න තියෙනවා.

ඊශ්‍රායලය බිහිවුණේ 1947 මැයි 14 වැනිදා. ඉන් අනතුරුව අමෙරිකාව කළේ මැදපෙරදිග කලාපයේ තම අවශ්‍යතා ඉෂ්ටකරගැනීම සඳහා මේ රාජ්‍ය යොදාගැනීමයි. ඒ ඇයි? නූතන කාර්මික ශිෂ්ටාචාරයේ රුධිරය වශයෙන් සලකන්නේ ඛනිජතෙල්. ඛනිජ තෙල් නිධි අතිමහත් බහුතරය එනම් 65%ක් පමණ ගල්ෆ් බොක්ක ආශ්‍රිතව සවුදිඅරාබිය, ඉරානය, ඉරාකය, ක්වේටය. කටාර් ආදි රටවල් සතුව පිහිටා තියෙනවා.

ඉතිරි 35% අමෙරිකාව, රුසියාව සහ ආසියා, අප්‍රිකා රටවල පිහිටා තියෙනවා. අර 65%ත් පාලනය කරන්න තියෙන අවශ්‍යතාවත් සමඟ මෙය සම්බන්ධයි. මැදපෙරදිග කලාපය පාලනය කිරීම ඔවුන් රුධිරය ලෙස සැලකූ හා අතිමහත් ධනස්කන්ධයක් උපයාදෙන ඛනිජතෙල් සම්පත නතුකරගැනීමෙන් කළ හැකි බව 19 වෙනි සියවස අගදී තරම අමෙරිකාව දැනගත්තා.

ඒ නිසා තමයි මැදපෙරදිග කලාපයේ පොලිස්කාරයා හැටියට අසාධාරණයට ලක්වූ ඊශ්‍රායලය යොදාගත්තෙ. කලක් පීඩාවට පත්වූ ජාතියක් තමන්ට යුක්තිය ඉටුකරගැනීම සඳහා තවත් ජාතියක් පීඩාවට පත් කළා. ඒ සඳහා විශාල ලෙස ඔවුන් සන්නද්ධ කරමින් අමෙරිකාව උදව් උපකාර කළා. අවි ලබාදුන්නා පමණක් නෙවෙයි, යුදෙව්වන් විශාල පිරිසක් විද්‍යාඥයන් හැටියට, CIA නිලධාරීන් හැටියට අමෙරිකානු පාලනතන්ත්‍රය හා සම්බන්ධයි. එම ෂියොන්වාදී පිරිස් කලක පිළිලයක් විය හැකි බවටත් මත පළවී තිබෙනවා.

* ඊශ්‍රායලය ක්‍රියාකරමින් සිටින්නේ අන්තර්ජාතික නීතියට පවා පටහැණිවයි. මානව හිමිකම් රැකීම ගැන විශාල කැක්කුමක් ඇතැයි පෙන්වන අමෙරිකාවට හා බටහිර ජාතීන්ට එය නොපෙනෙන්නේ ඇයි?

ගාසා තීරයේ හමාස්වරුන්ට එරෙහිව ක්‍රියාකරන බව කියමින් ඔවුන් මුළුමහත් පලස්තීනුවන්ටම දඬුවම් කරමින් සිටිනවා. එය සාහසික ලෙස අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක්. ඔවුන් අවි බලය යොදවමින් සිටින්නේත් ඉතා අසමානුපාතිකවයි.

ඉතා නවීන අවි ආයුධ ඔවුන් පාවිච්චි කරනවා. ගාසා තීරයේ යම් අවි බලයක් ඇත්තේ හමාස්වරුන්ට පමණයි. ඊශ්‍රායලය මේ අන්දමින් පහරදෙමින් සිටින්නේ තමන්ගේ කියා ආරක්ෂක හමුදාවක් පවා නැති රටකටයි. මේ ප්‍රහාරවලින් විනාශවෙන වැඩිදෙනා සිවිල් වැසියන්. කුඩා දරුවන්, කාන්තාවන් වැඩි වශයෙන් මේ ප්‍රහාරවල ගොදුරු බවට පත්වෙනවා. ඔවුන් ඉතා අසීරුවෙන් ගොඩනඟාගත් ජලය, විදුලිය, මංමාවත් ආදී යටිතල පහසුකම් සියල්ලත් මේ ප්‍රහාර නිසා වැනසෙමින් තියෙනවා.

අන්තර්ජාතික නීතිය මේ අන්දමින් උල්ලංඝනය කරමින් තිබුණත්, ලෝකය ශිෂ්ට සම්පන්න කිරීම ගැන, මානව හිමිකම් හා මානුෂවාදී නීතිය ගැන කතාකරන අමෙරිකාවට, බටහිර රටවලට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට, හියුමන් රයිට්ස් වොච්, ඇම්නස්ටි ඉන්ටනැෂනල් වගේ සංවිධානවලට මේ ගැන ඇත්තේ අවම විරෝධයක්. යම් උස් හඬකින් කතා කරන්නේ හියුමන් රයිට්ස් වොච්, ඇම්නස්ටි ඉන්ටනැෂනල් වගේ සංවිධාන පමණයි. ඒත් ඔවුන් පවා ඉන් එහාට ගත් ක්‍රියාමාර්ගයක් නෑ. මෙය නතර කිරීම සඳහා කළ යෝජනාවකුත් නෑ.

අමෙරිකාව මේ ගැන ඉල්ලීම් කරන්නේ ඊශ්‍රායලයට තමන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාකිරීමට අයිතියක් ඇති බව පෙන්වා දෙමිනුයි. එමඟින් මේ අසමානුපාතික චණ්ඩිකමට සාධාරණයක් හා සුජාතභාවයක් ලබාදෙමින් සිටිනවා. යුරෝපීය රටවල් සටන්විරාමයක් ඇති කිරීම සඳහා උත්සාහ කළත් මූලිකව ඔවුන්ගේ විරෝධයත් නිෂ්ක්‍රීය එකක්.

* ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා මුහුණදී සිටින තත්ත්වයත් සමඟ මෙය සැසඳීමක් කළ හැකි ද?

අපේ රටේ ජනතාවට දැනෙන හා වඩා සමීප උදාහරණයෙන් මේක පැහැදිලි කරන්න පුළුවන්. එල්. ටී. ටී. ඊ. ය කෲර ත්‍රස්තවාදී සංවිධානයක්. ශ්‍රී ලංකාව ‍නම් ස්වෛරී රාජ්‍යයට තම රට වෙළාගත් මේ කෲර ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගැනීමට හමුදාමය ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වුණා.

එමඟින් ත්‍රස්තවාදය මර්දනය කළවිට එක්සත් ජාතීන්ගේ මහලේකම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය, හියුමන් රයිට්ස් වොච්, ඇම්නස්ටි ඉන්ටර්නැෂනල්, බලවත් රටවල් ආදී මේ කවුරුත් අපට චෝදනා කරන්න පටන් ගත්තා. ඔය චෝදනාවල හරය වුණේ ශ්‍රී ලංකාව යුද අපරාධ කළා කියන එකයි. ඊට වගකිවයුත්තන්ට දඬුවම් කළ යුතු බවට ඔවුන් බලපෑම් කරන්න වුණා. අන්තර්ජාතිකව විශාල පීඩනයක් ඇති කළා. ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙනාවා. මේකෙන් පැහැදිලි වෙන්නෙ මේ අයගේ දෙබිඩි පිළිවෙතයි.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සටන් කළේ ‘තම රටේ ඒකීයභාවයට ආරක්ෂාවට තර්ජනයක්වූ, අහිංසක මිනිසුන් හා දේපොළ විනාශ කළ කෲර ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිවයි. 1860 ගණන්වලදී අමෙරිකාවේ ප්‍රාන්ත 13ක් වෙන්වයාමට තීරණය කරද්දි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඔවුන්ට ප්‍රේමකරන්න ගියේ නෑ. ඔහු කළේ තම හමුදාව ඊට එරෙහිව යෙදවීමයි. එහිදී ලක්ෂ ගණනින් මිනිස් ජීවිත නැතිවුණා.

නමුත්, ශ්‍රී ලංකා හමුදාව එල්. ටී. ටී. ඊයට එරෙහිව ක්‍රියා කිරීමේදී වුණේ ඊට වඩා බෙහෙවින්ම අඩු හානියක්. ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙනෙන අමෙරිකාව මේ සියලු සාධාරණ කාරණා අමතක කරනවා. පැහැදිලිවම එය දෙබිඩි පිළිවෙතක්. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් තිස් අවුරුද්දක් තිස්සේ කුඩා දරුවන්, මහල්ලන්, ගැබිනි මව්වරුන්, අතිශයින් කුරිරු ලෙස මරා දමමින් කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ඔවුන් වචනයක් කතා කරන්නේ නෑ.

* මේ දෙබිඩි පිළිවෙතට හේතු කාරණා ලෙස ඔබ දකින්නේ මොනවාද?

අමෙරිකාව, බටහිර ජාතීන් හා ඇතැම් අන්තර්ජාතික සංවිධානත්, රාජ්‍ය නොවන සංවිධානත් මේ අන්දමින් ක්‍රියා කිරීම ගැන කතාකරන ඇතැම් දෙනා දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද ඊට හේතුවී ඇතැයි කියනවා. මට නම් ඊට එකඟ වෙන්න බෑ. මොකද ඔය හැම රටකම දෙමළ ඡන්දවලට වැඩි බලයක් නෑ. අමෙරිකාව මේ යෝජනා ගෙනෙන්නේ දෙමළ ඡන්දවල බලපෑමක් නිසා නෙවෙයිනෙ. ඒ නිසා ඔය ඡන්ද කතාව කියන අය පෙන්නුම් කරන්නෙ තම දැනුමේ දුගී බවයි. ඒක හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ඒක පළමු හෝ දෙවෙනි හේතුව නෙවෙයි. අමෙරිකාවේ එවැනි දෙමළ ඡන්ද පදනමක් නෑ නේද කියන කොට මේ අය කියන්නෙ ජනාධිපති ඔබාමාගේ ඡන්ද ව්‍යාපාරයට දෙමළ ඩයස්පෝරාවේ මුදල් ලැබුණු බවයි. ඒත් ඒක ඔය කියන තරම් සරල නෑ.

එහෙනම් මේ දෙබිඩි පිළිවෙතට හේතු කාරණා ඊට වඩා ගැඹුරුයි. අමෙරිකාව සහ බටහිර යුරෝපයේ බලවත් රටවල් අද ඔවුන් සිටින තැනට ආවෙ තමන්ගේ සම්පත් හෝ ශක්තීන් නිසා නෙවෙයි. අප වැනි රටවල සම්පත් අතිශයින් අසාධාරණ හා කෲර ලෙස සූරාකමින් තමයි ඔවුන් මෙතැනට ඇවිත් ඉන්නෙ. එංගලන්තයට කිව්වෙ හිරු නොබසින අධිරාජ්‍ය කියල, ඒකෙන්ම පෙනෙනවා ඔවුන් යටත්විජිත රටවල මොනතරම් විනාශයක් කරන්න ඇතිද කියලා. අමෙරිකාවත් එහෙමයි.

අද ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ තමන් අද සිටින තත්ත්වය එලෙසම පවත්වා ගැනීම සඳහා මුළු ලෝකයම තමන්ට අවනත වෙළෙඳ පොළක් ලෙස තබා ගැනීමටයි. අද ඍජු අධිරාජ්‍යවාදයක් දකින්න නෑ. රටවල් යටත් කිරීමට ඍජුව අවිබලය යෙදවීමට වඩා අද ඔවුන් කරමින් ඉන්නේ වෙළෙඳ පොළ හා සිය ආධිපත්‍ය පැතිරවීමයි.

අවිබලය යෙදවිය යුතු යැයි සිතන තැන්වලදී එසේ කිරීමටත් ඔවුන් මැළිවී නෑ. 1998 – 99දී සර්බියාවට දින 78ක් තිස්සේ ගුවන් ප්‍රහාර එල්ල වුණා. පාසල් බස් රථ, උන්මත්තකාගාරවලට පවා ඔවුන් ගුවනින් පහර දුන්නා. තානාපති කාර්යාලවලට පවා බෝම්බ දැම්මා. මේ හැම දෙයක්ම කළේ සර්බියානු ආණ්ඩුව ඇල්බේනියානුවන්ව මරල දමනවා. ඔවුන් රැකගන්නයි මේවා කරන්නෙ කියලා පෙන්වමින්. හැබැයි ඒ ඇත්ත වුවමනාව නෙවෙයි. යුක්‍රේනය හෝ තවත් තැන්වල අද සිදුවෙමින් තිබෙන දේවලුත් මේ අනුව තේරුම්ගන්න පුළුවන්.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය කියන රටවල් අද අමෙරිකාවට හා බටහිරට අභියෝගයක් වෙමින් පෙරට එමින් තිබියදී තමන්ට නැතිවෙමින් යන ආධිපත්‍ය රැකගැනීමේ උත්සාහයක ඔවුන් යෙදී සිටිනු අද ලෝක දේශපාලනය දෙස බලනවිට අපට දකින්න තියෙනවා.

සාකච්ඡා කළේ

ධම්මික සෙනෙවිරත්න

Facebook Comments

more recommended stories

%d bloggers like this: