රිෂාගේ මවුලවි, කල්ලාරු ඇතා මැරුවේ නැතිලු – වනජීවීයෙන් අලුත් කථාවක්..!

විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළදී වෙඩිතබා මරා දැමූබවට සැකකෙරුණු කල්ලාරු නම් ඇතාගේ මරණයට හේතුව ස්වාභාවික හේතුවක් යැයි වනජීවි දෙපාර්තමේන්තුවේ වනජීවි සංරක්ෂණ සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය තාරක ප‍්‍රසාද් මහතා ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව පසුගිය හයවැනිදා නිගමනය කළේය.

අනුරාධපුර අධිකරණ භූමියේ වෛද්‍ය තාරක ප‍්‍රසාද් මහතා විසින් සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව පොලිසිය අත්අඩංගුවටගත් ඇත්දළ යුගලය හා වනෝද්‍යාන භූමියේ තිබී සොයාගත් හිස ඇතුළු අස්ථි කොටස් එකිනෙක නිවැරදිව සැසදෙන බව නිගමනය කළේය. ඇතාගේ ඇත්දළ හිස් කබළට සිවිකිරීම සිදුකළ අතර එය නියමාකාරයෙන්ම ඊට සම්බන්ධ වන බවත් සොයාගත් අස්ථි කොටස්වල වෙඩි ප‍්‍රහාරයක කිසිදු සලකුණක් නැති බවත් ඒ මහතා එදින පැවසුවේය.


ජනවාරි මස (05) වැනිදා කල්ලාරු නමින් හදුන්වන ඇතාගේ බවට සැකකරන ශරීර කොටස් විශාල ප‍්‍රමාණයක් සිලාවතුර නාඞ්ඩුකුට්ටු මොල්ලිකුලම් ප‍්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සොයා ගත්ත අතර වෛද්‍ය තාරක ප‍්‍රසාද් මහතා ඇතුළු පිරිස එම ස්ථානයට ගොස් අස්ථි කොටස් සොයාගත් භූමිය නිරීක්ෂණය කළහ.

එම ස්ථානය දැඩි පරීක්ෂාවට ලක්කළ වෛද්‍ය තාරක ප‍්‍රසාද් මහතා ඇතාට වෙඩි ප‍්‍රහාරයක් එල්ලවී නැති බව නිගමනය කළේය. එමෙන්ම අකුණු ගැසීමකින් විදුලිය සැර වැදීමක් වැනි හදිසි අනතුරකින් මරණය සිදුවී නොමැති බව තහවුරු කළේය. ඇතා මියගිය ස්ථානය පරීක්ෂාවට ලක්කරද්දී එම ස්ථානයේ පොළොව විශාල වශයෙන් ගිලා බැසීීමක් සිදුව ඇතිබව තරාක ප‍්‍රසාද් මහතා නිගමනයට එළැඹි අතර ඇතා ස්වාභාවික හේතුවකින් මියගොස් තිබෙන බවට නිගමනය කළේය.

කල්ලාරු ඇතා වයස්ගත වීමෙන් ඇතිවන රෝගාතූර වීමකින් හෝ වෙනත් රෝගයක් වැලදී දින කිහිපයක් එම ස්ථානයේ වැටී දැගලීම නිසා භූමියේ ගිලා බැසීම සිදුව තිබෙන බවත් වෙඩි ප‍්‍රහාරයක් අකුණු සැරක් හෝ විදුලිය සැර වැදීමක් සිදුවූයේ නම් ඇතා ක්ෂණිකවම එම ස්ථානයේ මියයන බවත් එවිට භූමිය මේ අයුරින් ගිලා බැසීමක් සිදුනොවන බව වෛද්‍යවරයා ප‍්‍රකාශ කළේය.

ස්වාභාවිකව මියගිය බවට නිගමනය කරන ඇතා මීට වසර දෙකකට පමණ ඉහත දී මියයන්නට ඇති බවට සැකකරන අතර දැනට අත්අඩංගුවේ පසුවන මවුලවීවරයා ඇතුළු සැකකරුවන් හෝ වෙනත් පිරිසක් වනෝද්‍යාන භූමියේ සැරිසරද්දී මියගිය ඇතාගේ සිරුර හමුවී ඇත්දළ යුගලය කපා ගන්නට ඇති බවට පොලිසිය සැක මතුකරයි. කිසියම් අයකුට එම ඇත්දළ යුගලය හමුවූයේ නම් ඒවා වහාම රජයට බාරදිය යුතු බවත් නීතිවිරෝධි අන්දමින් ඇත් දළ ළඟ තබා ගැනීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බව පොලිසිය පැවසුවේය.

සැකකාර මවුලවීවරයා ඇතුළු තිදෙනාව අද (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී. පසුගිය වසරේ දෙසැම්බර් මස (28) වැනිදා තන්තිරිමලය සීමාවේදි සැකකරුවන් තිදෙනකු විසින් අනුරාධපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයා ඇතුළු උපායදුත පොලිස් නිලධාරින් පිරිසකට ඇත් දළ යුගලය රුපියල් පනස් ලක්ෂයකට විකිණීමට යාමේදී පොලිස් අත්අඩංගුවට පත්විය.

එම මවුලවිවරයා  අඩි පහකට ආසන්න උසින් යුත් දළ යුගලය කපාගෙන එය රුපියල් ලක්‍ෂ පනහක මුදලකට උත්සාහ කිරීමේදි නිතීයේ රැහැනට කොටුව තිබුණා.

අනුරාධපුර කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය මගින් පසුගිය 29 දා මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් තිදෙනා ඇත් දළ යුගලයත් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ඇත් දළ යුගළයේ බර කිලෝ ග්‍රෑම් පනහකට ආසන්න අතර එහි එක්‌ දළයක්‌ අඩි හතරයි අඟල් දෙකක්‌ උසින් යුතුවේ.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව විල්පත්තුවේ ඇතාගේ බවට සැලකෙන සිරුරු කොටස් මන්නාරම සිලාවතුර ප්‍රදේශයෙන් හමු වී ඇතැයි වාර්තාවේ.

අනුරාධපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස්මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක නවරත්න අබේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (12531) එල්.පී.එන්.සී. සෝමතිලක, පොලිස් කොස්තාපල් (47799) පේ‍්‍රමජයන්ත, අඩවි ආරක්ෂක එච්.ආර්.ඞී.එස්. සේනානායක යන මහත්වරුන් පරීක්ෂණයට සහභාගීවූහ.

බුද්ධික විජේසූරිය – අනුරාධපුර

Facebook Comments

more recommended stories

%d bloggers like this: