කවුරුවත් නොබලපු ගමේ අබලන් පාර, තනියම හදන හිත හොඳ මිනිහෙක්..!

මිහිපිට උපදින සෑම මිනිසකුගේම යුතුකම වියයුත්තේ තවත් මිනිසකුට හෝ සමස්ත සමාජයට සේවයක් කිරීමයි. නමුත් අප සමාජයේ බහුතරයකට නැත්තේද එයයි. ආත්මාර්ථකාමිත්වය පෙරදැරිකරගෙන ජීවත් වන සමාජයක ආත්මාර්ථකාමීත්වය පරයා යමින් පරාර්ථකාමීත්වය පෙන්වන අපූරු මිනිසකු සොයා  ගල්ගමුව සියඹලෑව ගම්මානයට ගියෙමු.  ගල්ගමුව මොරගොල්ලාගම මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණම හන්දියෙන් වමට ඇති මාර්ගය සියඹලෑව, පාඩිපන්වැව, මැදවච්චිය, සියඹලන්ගමුව හා තඹුත්තේගම යන ගම්මානවලට දිවෙන කිලෝමීටර් 20ක පමණ දිග මාර්ගයකි. මෙම මාර්ගයේ බස්රථ දෙකක් ගමන් කරයි. ඒ දෙකම ලංගම බස්රථ වේ.

මාර්ගයේ පවතින විශාල වළවල් හේතුවෙන් එම බස්රථ ධාවනය කරන රියැදුරන්ද තම ගමන්වාරවල ගමන් කරන්නේ කැමැත්තකින් නොවේ. එයට හේතුව පවතින අලි වළවල්ය. ඉහත කී ගම්මානවලින් ගල්ගමුවට එන පාසල් ළමුන් ගණන දහස් ගණනකි. එමෙන්ම එළවළු පලතුරු මෙන්ම තම කුඹුරේ වී අස්වැන්න රැුගෙන එන්නේද මෙම මාර්ගයේය.

පායන කාලේට මෙම මාර්ගවල ගමන් ගන්නෝ දුහුවිල්ලෙන් වැසී යති. වර්ෂා සමයට වළවල් යටවීම නිසා මාර්ගයේ ගමන් ගන්නන්ට එය නොපෙනීම නිසා සිදුවන අනතුරු විශාලය. ඒ කාලයට පාසල් දරුවන්ගේ සුදෝ සුදු ඇදුම් පැලදුම් මඩවලින් නැහැ වී විනාශ වේ. ඒ නිසා ගොවිතැන් බතින් ජිවත් වන මේ වැසියන්ගේ දරුවන්ට ඇති එකම සුදු ඇදුම නිසා  වැසි දිනට පසු දින පාසල් ගමන නතර වේ.

මේ තත්ත්වය වටහා ගත් ඒ.එච්. කපුවා (60) සුන්දර මිනිසා සියඹලැව ගම්මානයට අයත් කිලෝමීටර් 4ක දුර පවතින අලි වළවල් පස් දමා වැසීම ආරම්භ කර තිබේ. දේශපාලකයින්ගේ කකුල් ළඟ වැද වැටී අවුරුදු ගණන් කන්නලව් කළත් තම ගමට යන මාර්ගය සංවර්ධනය කිරීමට ඔවුන්ගේ හදවතේ ඇති ස්නේහය ප‍්‍රමාණවත් නොවේ. ඡන්ද කාලේට කෑමොර දෙමින් ගමක්  ගමක් ගාණේ ගොස් දෙන පොරොන්දු ඉතා කෙටිකලකින් අමතක වේ.

සමහර මිනිසුන් මෙම පුදුම සහගත සමාජ සේවකයාට ඔච්චමට සිනාසේ. ඔවුන් පවසන්නේ දේශපාලකයින් මෙම මාර්ගය කාපට් කිරීමට සිටියත් මොහුගේ ක‍්‍රියාකලාපය නිසා එය සිදු නොකරන බවකි. එය හතර බිරී කතාවකි.  එය කිසිසේත් පිළිගත නොහැක.  හරිනම් විය යුත්තේ මෙවන් මිනිසුන් අගය කොට මෙම මාර්ගය ප‍්‍රතිසංස්කරණය නොවේදැයි අපට සිතේ.

අප හා අදහස් දැක්වූ ඒ.එච්. කපුවා මහතා :

“මම මේ ගමට ඇවිල්ලා අවුරුදු හතරයි.  අපි ආවේ දිවුල්ගනේ කියන ගමේ ඉදලා. ඒ එනකොටත් මේ පාරේ හොදටම වළවල්. අනික මෙහේ අලි විමානේ.  අමාරු වුණ ලෙඞ්ඩු මේ පාරෙන් ගෙනියනවා. ඉස්කෝලේ ළමයිනුත් විශාල සංඛ්‍යාවක් යනවා. බස් දෙකක් යනවා.  ගොඩාක් දවස්වලට බස්  මග කැඩෙනවා. මම කල්පනා කළා මට පුළුවන් විදිහට මේ පාරේ තියෙන වළවල් වහලා දාන්න. සමහරු මට හිනාවෙනවා. ඒත් මම එකක් කියන්න  ඕනි. දවසක් මම මෙහෙම වළවල් පුරවනකොට මුස්ලිම් ජාතික මහත්තයෙක් වාහනයෙන් බැහැලා ඇවිල්ලා කීවා.  ඔයා තමයි නියම බෞද්ධයා.  මිනිහෙක් පින් කරගන්න පන්සල් යන්න  ඕනි නැහැ. කෝවිල්, පල්ලිම යන්න  ඕනි නැහැ කියලා. මම කරන වැඩෙන් මිනිසුන්ට වෙන සේවය සමහරුන්ට නොතේරුණාට සමාජ අවබෝධයක් ඇති කෙනෙකුට තේරෙනවා. මට ඒ ඇති.

කපුවා මහතාගේ බිරි`ද වන ඒ.එච්. සිරිමලතා මහත්මිය පැවසුවේ මෙවැන්නකි.
සමහර දාට ගිනිකාෂ්ටක අව්වේ මේ මනුස්සයා වැඩ. මම බණිනවා. පට්ට අවුවේ ඉන්න එපා ගෙදර එන්න කියලා. එතකොට කියන්නේ මම කරන දේට අකුල් හෙළන්න එපා. මේ වැඩෙන් එක මනුස්සයකුගේ හරි ජීවිතයක් බේරෙනවා කියලා. මටත් ඒ වේලාවට හරිම ආඩම්බරයක් මගේ මිනිහා ගැන තියෙන්නේ. මොකද මේ සංසාර ගමනෙදි මට පින්වන්තයෙක් ලැබුනා නේද කියලා.

ඩබ්ලිව්. එම්. අසංකකුමාර ගම්වාසියෙක්, ඒ වගේම මෙම මාර්ගයෙන් නිතරම ගමන් ගන්නෙක්. මේ ඔහුගේ අදහස් පෙළයි.

ඇත්තටම මේ ටිකේ යන්න බැරිව හිටියේ. මේ කරන්නේ පින්කමක්. ඒකට අපි එතුමාට ණය ගැතියි. අලි වළවල් වහලා අපේ ගමේ මිනිහට යන්න පුළුවන් විදිහට හදලා දුන්නට. වැස්සක් අවුවක් මේ මාමාට නැහැ. රැුයක් දවාලක් නැහැ. පුළුවන් පුළුවන් විදිහට වැඩ. මම උදේ යනකොටත් වැඩ. හවස එනකොටත් වැඩ. අපිට ඇත්තටම සතුටුයි. එළවළු පලතුරු වෙළෙන්දා, පාසල් ළමුන්, රාජ්‍ය සේවකයින්, සියලූම දෙනා මේ පාරෙන් යනකොට මෙතුමාගේ වැඩ ගැන ප‍්‍රසිද්ධියේ කථා නොකළත් තමුන්ගේ හෘද සාක්ෂියෙන් කියන්නේ කළ සේවය පමණයි.

රුපියල් ශතවලට වහල් වී මුදල් පිටුපස යන මිනිසුන්ට කපුවා මහතාගේ ක‍්‍රියාව ආදර්ශයකි. මේ පුද්ගලයා මේ දේවල් කරන්නේ කිසිම ප‍්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවේ. ඇගැයිය යුත්තේ එයයි. වර්තමානයේ සම්මාන පිට සම්මාන ලැබෙන්නේ සමාජයේ හොරුන්ටය.

පරාර්ථකාමි මිනිසුන් සිදුකරන සේවය කිසිවකු දන්නේ නැත. ඔවුන් කරන සේවය හඩගා කියන්නේද නැත.
අවසාන වශයෙන් රිවිර ඉරිදා සංග‍්‍රහයට මේ අපූර්ව මිනිසා ස්තුතිය පළකිරීමට අමතක නොකළේය. තව තවත් මේ සමාජයට යමක් කිරීමට මේ අව්‍යාජ ගොවියාට ශක්තිය ධෛර්යය ලැබේවා යන්න අපගේද ප‍්‍රාර්ථනයයි.

ඩී.කේ. කීර්තිසිංහ – තලාව

Facebook Comments

more recommended stories

%d bloggers like this: