කෙසෙල් කොළෙන් කල්තබාගත හැකි ලන්ච්ෂීට්‌ – මාස 3 ක්‌ කල්තබා ගත හැකියි..!

රටටම හිසරදයක්‌ වන ආකාරයට පොලිතීන් කඳු නිර්මාණය වී සුවිශාල පරිසර දූෂණයකට මංපෙත් විවර වූයේ කිසිදු වග විභාගයකින් තොරව කෙරුණු පොලිතීන් අධි භාවිතයයි. අවසානයේ රජයට සිදු වූයේ ෂොපින් බෑග් භාවිතය නීතියෙන්ම තහනම් කිරීමටය. තවත් මාස කීපයකින් එය සක්‍රීයව ක්‍රියාවට නැංවීමට බලධාරීහු සූදානම් වෙති.

මේ හා බැඳුණු අනෙක්‌ පුවත මැවෙන්නේ ලන්ච්ෂීට්‌ නම් කෑම දවටනය සමඟයි. එතැනදීද කිවයුත්තේ සිලිසිලි බෑග් පැමිණීමට පෙර මෙවැනි දෙයක්‌ද නොතිබූ බවකි. ආපන ශාලාවල බත්පත එතුවේ තෙල් කඩදාසියේය. රැකියාව සඳහා නිවසෙන් පිටවෙන විට කෙසෙල් කොළයක එතූ බත්මුලක්‌ රැගෙන ගිය එදා වැඩිහිටියෝ කෑම පැයේ දී එය විවෘත කරද්දී නික්‌මෙන සුවඳින්ම ප්‍රබෝධමත් වූහ. ඩිජිටල් ලොවක සැරිසැරුවත් නව පරපුරද එවන් මිහිරකට පෙම් බඳිනා බව පෙනී යන්නේ තැන තැන බිහිවෙන කෙසෙල් කොළේ හෝ නෙලුම් කොළේ බත් පිරිනමන ආපනශාලා දකින විටයි. එපමණක්‌ද නොව පොල්අතු වහල, කටුමැටි බිත්ති හා පොල්කටු කෝප්ප වැනි දෑ පවා ආහාරයේම කොටසක්‌ සේ ඔවුන්ගේ භෝජන පුරුදු කරා ළංවෙමින් සිටී. ආපන ශාලාවකට ඇදෙන බොහොමයක්‌ දෙනා ප්‍රිය කරන්නේ උණු උණුවේ යමක්‌ මිලදී ගන්නටය.

බොහෝ තැන්වල කොත්තු, ්‍රයිඩ් රයිස්‌ වැනි දෑ ඇනවුමට පසු සාදන්නේ මෙම පාරිභෝගික රුචිය සංසිඳවීමටයි. එය වහාම ලන්ච්ෂීට්‌ එකක දවටා ඇනවුම්කරු අතට පත්වන්නේ කුසට කලින් ඔහුගේ සිත සනහමිනි. ඇතුලේ දැවෙන පොලිතීන් වෙතින් නික්‌මෙන අනේකවිධ රසායනයන් තම ආහාරය හා කුළුපග වන අයුරු, සැනසෙන සිතට නොපෙනීමයි අවාසනාව. පොලිතීන් තහනමක්‌ සමඟ විවිධාකාර ඇසුරුම් විකල්ප ලෙස එළිදැක්‌වූවද, ගිනියම් වූ ආහාරයක්‌ වහාම දැවටීමට ඒවා කෙතරම් යෝග්‍ය වන්නේද යන්න පරීක්‌ෂා කිරීමට විද්වත් ඇස යොමුවිය යුතු වේ. නැතහොත් සිදුවන්නේ තැන තැන රවුම් ගසාවිත් අවසානයේ දී කෙසෙල් කොළය හෝ නෙලුම් කොළය මතම යළි නැවතීමටයි. එවිට හානියද සෑහෙන දුරක්‌ ගොස්‌ හමාරය.

පැරැණි ගීයක්‌ අලුත් රිද්මයකින් ගායනා කරන්නා සේ, කෙසෙල් කොළ ආහාර දවටනයට නව අරුතක්‌ තැවරූ කෘෂි විද්‍යාඥවරියක්‌ සොයාගෙන අප හම්බන්තොට, වැලිගත්තේ, කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ආයතන පරිශ්‍රයට යන විට ඇය සිටියේ කෙසෙල් කොළවලින් ලන්ච්ෂීට්‌ සාදන අන්දම පිරිසකට උගන්වමිනි. නියම වෙලාවට නියම තැනට පැමිණීමෙන් ප්‍රායෝගික පුහුණුවකටද මා වාසනාවන්ත වූවා සේය. “කලකට වහලු කලකට රහ වෙනවාලූ” කීවා සේ පොලිතීන් ලන්ච්ෂීට්‌ තහනමත් සමඟ හැමටම දැන් ඇයව ඕනෑවී තිබේ. මාධ්‍ය ආයතන සම්මුඛ සාකච්ඡා ඉල්ලමින් නිතර දෙවේලේ ඇය පසුපසය. මෙම සොයාගැනීම් පිළිබඳව ඇය පෙරදී සේවය කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වත් එදා නිසි අවධානයක්‌ යොමුකළේ නැත.

නිසි කල් පිරෙන්නටත් පෙර විශ්‍රාම ලැබූ මේ විද්වතිය පිළිගන්නට කොළඹ විශ්ව විද්‍යාලය ඒ වන විටත් පාවඩ එලා උඩුවියන්ද බැඳ තිබුණි. ඒ අනුව ආචාර්ය සුජාතා ස්‌වර්ණලතා වීරසිංහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්‌ ලෙස හම්බන්තොට පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂි තාක්‌ෂණික හා ග්‍රාමීය විද්‍යායතනයේ අද සේවයේ යෙදී සිටී. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඇතෙක්‌ බරට වස්‌තුව පුරවා, හිස්‌ අතින් ආපසු ගිය ඈ ආචාර්ය සුජාතා ස්‌වර්ණලතා වීරසිංහ යි.

“මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ සිටියදී ප්‍රධාන වශයෙන් පර්යේෂණ කෙරුවේ කෙසෙල් පිළිබඳව. කෙසෙල් වර්ග ගණනාවක්‌ මම නිර්දේශ කළා. 2009 දී විතර හිතුව වගාවල අපතේ යන කෙසෙල් කොළවලිනුත් යමක්‌ කරන්න ඕනැ කියල. එහෙම තමයි ලන්ච්ෂීට්‌ හදන්න පෙළඹුණේ”

ඇය විසින්ම උනන්දුවී රුපවාහිනී වැඩසටහන් පවා සංවිධානය කරගෙන මෙම තාක්‌ෂණය ජනගත කළාය. ගොවිතැන ගැන පසුපාදයේ ක්‍රීඩා කරමින්, අද අවන්හල් සංස්‌කෘතිය තම කාර්යභාරය සේ වැළඳගෙන සිටියත්, එතැනදීවත් ඇය නිපදවූ ස්‌වභාවික ලන්ච්ෂීට්‌ එකෙන් කෑම ඔතන්නට කෘෂිකර්මයේ වගකිවයුත්තන්ට අමතක වූවා සේය.
“අද නම් මේවා හැමෝටම ඕනෑවෙලා. ඒක තමයි මෙච්චර පස්‌සෙන් එන්නේ…” ඇය සිනහවෙයි. පුහුණුව ලැබීමට පැමිණියා වූ අයද ඇගේ සිනහවට එකතු වන්නේ හිස සලා ඇගේ ප්‍රකාශය අනුමත කරමිනි.

“කෙසෙල් කොළ කපාගෙන අළු පිසදාල සෝදාගන්න ඕනෑ. ඊළඟට නටන වතුරේ ඔබල ගන්න. තත්පර දෙක තුනයි. දැන් තද අව්වේ පැය දෙක තුනක්‌ හෝ මද පවනේ පැය 5 – 6 ක්‌ වේලාගන්න. දැන් මේවා භාවිත කරන්න පුළුවන්. ශීතකරණයක දාල තියා ගන්නවා නම් මේ ලන්ච්ෂීට්‌ මාස තුනක්‌ වුණත් තියාගන්න පුළුවන්”

පසුගිය ඔක්‌තෝබර් 16 වෙනි දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ප්‍රදර්ශන කුටියකදීද ආචාර්ය සුජාතා විසින් තම ලන්ච්ෂීට්‌ නිර්මාණය ප්‍රදර්ශනය කළාය. ඊට යාබදව පිහිටියේ පනාගොඩ යුද හමුදා කඳවුරේ කුටියකි. මෙම තාක්‌ෂණය දෝතින් පිළිගෙන ඇති ඔවුන් ඉතා කාර්යක්‍ෂම ලන්ච්ෂීට්‌ නිපදවීමක්‌ ප්‍රදර්ශණය කෙරුවේ පූර්ණ ගෞරවය ඇය වෙත ලබා දෙමිනි. අද දවසේ පනාගොඩ කඳවුර තම ලන්ච්ෂීට්‌ අවශ්‍යතාව මුළුමනින්ම මෙම ක්‍රමයට සපුරා ගන්නවාට අමතරව එය වාණිජකරනයටද පියවර ගෙන තිබේ. ඔවුන් සතු ගොවිපොළවල්හි මහා පරිමාණයෙන් කෙසෙල් වගාව ප්‍රසාරණය කිරීමට පියවර ගෙන ඇත්තේ මේ අනුවය. ඇතැම් සමාජ ස්‌ථරයන් පිදිය යුත්තන්ට සලකන්නේ එසේය.

මේ වන විට ඇය විසින් තාක්‌ෂණය ජනගත කිරීම උදෙසා වැඩමුළු 16 ක්‌ පවත්වා තිබේ. සහභාගිවූවන් සමඟ අලෙවි ජාලයක්‌ද පිහිටුවා ඇති අතර එහි සම්බන්ධිකාරක ව්‍යවසායකයා බටඅත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. ඔහු විසින් ලන්ච්ෂීට්‌ නිෂ්පාදන යන්ත්‍රයක්‌ද මේ වන විට නිපදවා අවසන්ය. ඡායා පිටපත් යන්ත්‍රයකට කඩදාසියක්‌ ඇතුල් කරන්නා සේ මෙම යන්ත්‍රයට කෙසෙල් කොළයක්‌ ඇතුල් කෙරෙන අතර තත්පර කීපයක්‌ ඇතුළත එය මනාව තැම්බී, ලන්ච්ෂීට්‌ එකක්‌ බවට පත්වී පිටතට එයි. මීට අමතරව ඔහු විසින් විවිධ ප්‍රදේශවලින් කෙසෙල් කොළ පමණක්‌ නොව දියපර, කැන්ද, හල්මිල්ල වැනි ලොකු කොළ වර්ග පවා මිලදී ගනී. ඒවා කාර්යක්‍ෂමව යන්ත්‍රානුසාරයෙන් ආහාර ඇසුරුම් කොළ බවට පත්කර අලෙවිකරනු ලැබේ. ගාල්ලේ සහ තෙලිඡ්ජවිල කාන්තාවන් දෙදෙනෙක්‌ද ගෘහ කර්මාන්තයක්‌ ලෙස ලන්ච්ෂීට්‌ නිපදවීම අරඹා ඇත්තේ රජයේ ලියාපදිංචියද සමඟය. ඔවුහු තම ලියාපදිංචි අංකය දැක්‌වෙන හැඳින්වීමේ ස්‌ටිකරයක්‌ද සහිතව මේවා අලෙවිකරනු ලැබේ. මෙය දිවයින පුරා ව්‍යාප්ත විය යුතු වැඩසටහනකි.

ප්ලාස්‌ටික්‌ ලන්ච්ෂීට්‌ වලට විකල්ප ඕනෑ යයි කෑකෝ ගසන්නන් තම පරිසරය අවටින්ම විකල්ප පෙළගැසී ඇති බව තේරුම් ගත යුතු කාලය එළැඹ තිබේ. කෙසෙල් කොළ නොමැති නගරයේ පමණක්‌ නොව ගමේ ගොඩේ වුවද, සිල්ලර කඩයක පවා අද ශීතකරණයක්‌ ඇති බැවින් මාස 3 ක්‌ කල් තබාගත හැකි කෙසෙල්කොළ ලන්ච්ෂීට්‌ පැකට්‌ ඒ වෙත පැමිණීම වහ වහා සිදුවිය යුතුය. කෑම පැයේදී කෙසෙල් කොළයක එතූ ලුණු ඇඹුල් ඇති බත් කටකින් කුස සනහන්නට ලැබේ නම් එය කෙතරම් භාග්‍යයක්‌ දැයි දන්නේ ප්ලාස්‌ටික්‌ බත් පැකට්‌ මත යෑපෙන වැඩකරන ජනතාවයි.

“ඉරෙන කෙසෙල් කොළ සව් වලින් අලවල මම වරක්‌ පාවිච්චි කරන පිඟන් වගේ දේවල් හැදුව. ඒවා අලවන්න පොඩි මැෂිමකුත් හදලයි තියෙන්නේ. රුපියල් 1500 කින් විතර එය ඕනෑම කෙනෙකුට හදාගන්නත් පුළුවන්.”

“ඇය විසින් සෑදූ පිඟන්, අතුරුපස කෝප්ප වැනි දෑ අප මවිතයට පත්කරවන සුළුය. වියළි කෙසෙල් කොළ වර්ණය මෝස්‌තර රටා මැවීම සඳහා කොළපාටත් සමඟ ඇය මිශ්‍ර කරයි. එවිට නිපැයුම වඩාත් කලාත්මකය. මේ ස්‌වභාවික නිෂ්පාදන සංචාරක හෝටල් වැනි ස්‌ථානවලට එක්‌ කරනවා ඇත්තේ ඉහළ සුන්දරත්වයකි.

මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටියදී නිර්දේශ කළා කණ්‌ඩුල හා පුලතිසි වශයෙන් කෙසෙල් වර්ග දෙකක්‌. ඒ දෙක කොළ ලබාගැනීමට වඩාත් යෝග්‍යයයි. හේතුව තමයි ඒවායේ කොළ පළල්. පුල්ලි රෝගයට ඔරොත්තු දෙන නිසා කොළ පිරිසිදුයි. අනෙක ගස්‌ මිටි නිසා කොළ කැපීම පහසුයි. සෞඛ්‍ය ප්‍රශ්න නිසා බොහෝ දෙනෙක්‌ ප්‍රතික්‌ෂේප කරන ඇඹුල් කෙසෙලුත් කොළ කැපීම සඳහා වැවීමට සුදුසු වර්ගයක්‌. කොළ මූලිකත්වයෙන් කෙසෙල් වවන අයට ගැළපෙන වගා රටාවකුත් මම නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව හෙක්‌ටයාරයකට ගස්‌ 6000 ක්‌ වවනවා.

අප දන්නා පරතර රටාවට අනුව පෙරදී කෙසෙල් වවනු ලැබුවේ හෙක්‌ටයාරයකට ගස්‌ 1000 බැගිනි. මෙම විද්වතිය ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍රවූයේ එම අගය තුන් ගුණයකින් වැඩිවන රටාවක්‌ හඳුන්වා දුන් බැවිනි. දැන් ඇය කොළ කැපීමට අගය නැවතත් දෙගුණයක්‌ කර 6000 ක්‌ යෝජනා කරයි. කොළ කපන්නට ගස්‌ අතරින් ඇවිද යැමට ඉඩ තිබේවිදැයි අසන්නට සිතුණත් මා එය ඇසුවේ නැත. අපගේ විශ්මය පහකරනු වස්‌ ඇය නැවතත් කතා කරයි.

“මේ ක්‍රමයේදී පේළියක ගස්‌ අතර පරතරය මීටරයයි. පේළි අතර පරතරය එකක්‌ හැර එකක්‌ මීටර් දෙකයි. ඉතිරි පේළි අතරත් මීටරයයි. එතකොට ගස්‌ අතරින් පහසුවෙන් යන්න පුළුවන්”

ඇය පවසන්නේ මෙම ක්‍රමයේ දී සිටුවා මාස 4 සිට සති දෙකකට වරක්‌ කොළයක්‌ කැපිය හැකි බවයි.

“සතියකට සැරයක්‌ කොළයක්‌ එනවා. සති දෙකකට වරක්‌ කපනකොට ගහටත් කොළයක්‌ ඉතුරුයි. ගස පීදෙනකොට කොළ කැපීම නතර කරනවා. කොළ අඩු නිසා පුංචි කෙසෙල් මුවයක්‌ තමයි එන්නේ. ඇවරි 3 ක්‌ බේරෙන්න දීල මුවය කපා අලෙවි කරන්න පුළුවන්. ඇවරි තුනට කවරයක්‌ දාල ලොකු වෙන්න දුන්නහම ඉතා පුෂ්ටිමත් කෙසෙල් ඇවරි තුනක්‌ සහිත පුංචි කෙසෙල් කැනක්‌ අස්‌වැන්න ලෙස ගන්න පුළුවන්. අන්තිමට කඳ අරගෙන කෙඳි හදනවා”

තවත් මාතෘකාවකට ප්‍රවේශයක්‌ සපයා ගනිමින් ඇය මඳක්‌ නිහඬවේ. කෙසෙල් කෙඳි නිස්‌සාරණයට ඇය අතගසා ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තෙලිඡ්ජවිල පර්යේෂණ ස්‌ථානයේ සේවය කරද්දීය. මේ සඳහා යන්ත්‍රයක්‌ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මත දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අංශයට කීප වරක්‌ කියූවද එතරම් යහපත් ප්‍රතිචාරයක්‌ ඇයට නොලැබුණි. ඇය පවසන්නේ යමෙකුට හදිසියේ පහළවෙන සිතුවිල්ලක්‌ ඵල ගැන්වීමට රාජ්‍ය නිලධාරීන්ටත් යම් යම් සීමා මායිම් තිබිය හැකි නිසා එසේ වන්නට ඇති බවයි. ඒ අනුව ඇය යථාර්ථයට මුහුණදී, පුද්ගලික නිර්මාණකරුවෙකු හරහා තම අරමුණ සපුරා ගත්තාය.

“කිරම ප්‍රදේශයේ ඉන්නවා විශ්වකර්ම බාස්‌ උන්නැහේ කියල කෙනෙක්‌. ඔහුට මගේ අවශ්‍යතාව කිව්වා. එක පැත්තකින් කෙසෙල් පතුරු දානකොට යන්ත්‍රයෙන් ඒවායේ වතුර මිරිකා හැරලා අනෙක්‌ පැත්තෙන් කෙඳි එළියට එන විධියට ඔහු එය හදල දුන්න. අදටත් මේ යන්ත්‍රය තෙලිඡ්ජවිල පර්යේෂණ ස්‌ථානයේ තියෙනවා.”

ඇඹිලිපිටියේ පිරිසක්‌ මේ යන්ත්‍රය රැගෙන ගොස්‌ එහි ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කර ඉන්දියාවේ සමාගමක්‌ හරහා එවැනි යන්ත්‍ර නිර්මාණය කරවීමට පියවර ගෙන තිබේ. එම යන්ත්‍ර හතරක්‌ පමණ අද ඇඹිලිපිටිය ආශ්‍රිතව ක්‍රියාත්මකයි. නිපදවන කෙඳි ඔවුහු ඉන්දියාවට අපනයනය කරති.

එළියට එන කෙඳි ක්‌ලෝරින් වතුර වගේ දෙයක දාල විරංජනය කළහම හොඳ සුදුපාට කෙන්දක්‌ ලැබෙනවා. මේවා වේළලා අරගෙන විවිධ නිර්මාණ කරන්න පුළුවන්. මම කෑම මේසයේ තියන්න ටේබල් මැට්‌ස්‌ හැදුව. කෙඳිවලින් ලණු අඹරන්නත් පුළුවන්. වර්ණගැන්වූ කෙඳිවලින් බෑග් ඇතුළු තවත් විසිතුරු දේ ගොඩක්‌ හැදුව හැකියි.”
මැය විසින් කෙසෙල් ගස කප්රුකක්‌ බවට පත්කර ඇත්තා සේ හැඟේ. කෙසෙල් ගහේ තව මොනවත් ඉතුරුවෙලා තියෙනවද මැඩම්… මා සිත තුළ නලියමින් තිබූ පැනය ඇසුවේ පුහුණුවට පැමිණ සිටි තරුණියක් විසිනි. කතානායිකාව නිහතමානීව සිනාසෙයි.
“දැන් ඉතින් ඉතුරුවෙලා තියෙන්නේ කෙසෙල් බොඩයයි, භූගත කඳයි විතරයි. බොඩය කෑමට ගන්න පුළුවන්. දකුණු පළාතේ කීප තැනක මේවා විකුණන්න තියෙනවා. ඒ අය බොඩය කුඩා කෑලිවලට කපලා, අමු පැපොල් කෑලිත් එක්‌ක මිශ්‍රකරලා, පැකට්‌ හදල, ව්‍යංජනයට සුදුසු මිශ්‍රණයක්‌ ලෙස අලෙවි කරනවා”

මෙම ලන්ච්ෂීට්‌ කර්මාන්තය දිරිගැන්වීම පිළිබඳ පුර්ණ ගෞරවය ලබාදිය යුත්තේ කොළඹ විශ්ව විද්‍යාලයටයි. ආචාර්ය සුජාතා සැණකෙළිකාමී ගති පැවතුම්වලින් බැහැරව නිහඬ සේවයක්‌ කරන විද්වතියක්‌ බැවින් එකල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ ඇයට හිමිව තිබුණේ පසුපෙළ ආසනයකි. මේ වන විට රුපියල් ලක්‌ෂයක ව්‍යාපෘති දීමනාවක්‌ පවා සරසවිය මගින් ඇයට ලබාදී ඇත්තේ අදාළ වැඩසටහන්වලට අවශ්‍ය සුළු වියදම් පියවා ගැනීමටයි.

ඕනෑම කෙනෙකුට 071-2092001 හෝ 041-2233738 (නිවස) දරන අංකවලට මා අමතා වැඩිදුර විස්‌තර ලබාගන්න පුළුවන්. දුර පළාත්වලට ඇවිත් පුහුණු පංති පවත්වන්න නම් අමාරුයි. ඒත් දකුණු පළාතෙනම් එන්න වුණත් පුළුවන් වෙයි. ළඟදී කොළඹටත් ගියා සිංහ සමාජයේ කැඳවීමකට. ඊට අමතරව දිනයක්‌ වෙන් කරවාගෙන කණ්‌ඩායම් ගතවෙලා හම්බන්තොටට එනවා නම් සම්පූර්ණ ප්‍රායෝගික පුහුණුවත් නොමිලේම ලබන්න පුළුවන්.”

Facebook Comments

more recommended stories

%d bloggers like this: