අධ්‍යාපනයේ අගය කියා දුන්නු හයේ පන්තියට පැමිණි 84 වියැති ශිෂ්‍යයා.

මේ පාසල පිහිටා තිබුණේ කෙන්යාවේ දකුණු නයිරෝබියා නගරයේ සිට පැයක වාහන ගමනකින් ළගා විය යුතු න්ංගාන් කඳු වැටියේයි.

පාසල පැවතියේ ඉතා දිළිඳු තත්ත්වයකයි. කුඩා මඩු කීපයක්‌ පමණයි පාසලට තිබුණේ. ළමයි පැමිණියේ ඉතා සීමා සහිතවයි. පාසලට පැමිණීමට ඇතැම් සිසුන්ට සැතපුම් 10 ක දුරක්‌ කඳුවැටිය වටා ඇවිද යා යුතුව තිබුණා. එතරම් දුරක ගමනක්‌. දුෂ්කර වටා පිටාවකයි පාසල පිහිටා තිබුණේ. එහි මුල් ගුරුතුමිය වූයේ ඡේන් ඔබින්චු Jane Obinchu මහත්මියයි.

මේ වන විට ජීවිතය ගොඩනගා ගන්නට ඉගෙනීම තරම් වැදගත් දෙයක්‌ නැති තරම් යෑයි යන හැගීම නොදියුණු රටවල මිනිසුන්ගේ සිත් තුළ පවා ඇති වී තිබුණා. කුමක්‌ හෝ දෙයක්‌ ගැන නිවැරදි ලෙස වගා කිරීම, පෝර යොදන හැටි, සත්ව පාලනය, ඒ වගේම ලියුම් කඩදාසියක්‌ ලියාගන්නට හා ආපු ලියමනක්‌ කියවා ගන්නට අකුරු ටිකක්‌ දැනගැනීම හොඳ බවයි ඔවුන්ගේ හිත්වලට තදින් කා වැදී තිබුණේ. ඒ නිසයි අර තරම් දුර කතර ගෙවා ළමයි මේ පාසලට පැමිණියේ.

දිනක්‌ අපූරු සිදුවීමක්‌ පාසලේ සිදුවුණා. එවෙලේ පාසලේ ප්‍රධාන ගුරුතුමිය 6 වැනි පන්තියට උගන්වමින් සිටියේ. උස මහත හැඩි දැඩි සිරුරකින් යුත් මඳක්‌ කුදු මහලු මිනිසෙක්‌ පන්තිකාමරයේ දොර ළග සිටගෙන සිටියා. සියලුම ළමයි ඔහු දෙස විමතියෙන් බලා සිටියදී ඔහු ගුරුතුමියට ආචාර කොට වට පිට බැලුවා. ළමයි සිතුවේ ළමයකුගේ සීයා කෙනකු ඇවිත් කියලයි.

එහෙත් ඒ වෙන කෙනෙක්‌ නොව අලුතින් පාසලට ඇතුළු වූ ලොකු ළමයා බව ගුරුතුමිය දැන සිටියා. උසින් මහතින් වයසින් ඔහු පන්තියේ අනිත් ළමයින්ට වඩා සහමුලින්ම වෙනස්‌ වුණා. ගුරුතුමිය කලබල නොවී මඳ සිනාවකින් ඔහු පිළිගෙන ඔහුට ඇවිත් පන්තියේ ඉඳ ගන්නා ලෙස කියා සිටියා. ඔහු කිසිම පැකිලිSමක්‌ නැතුව ගරුතුමියට හිස නමා ආචාර කොට සංසුන් ගමනින් ගොස්‌ තමාට වඩා වසර ගණනකින් බාල ළමයින් අතර ඉඳ ගත්තා.

ගුරුතුමිය පන්තියට අලුතෙන් පැමිණි යාළුවා කවුදැයි සිසුන්ට හඳුන්වා දුන්නා.

“ළමයි මේ තමයි කිම්මානි න්ගන්ගේ මුරුගේ මහත්මයා. Kimmni Ngange Muruge එයා අද හිටන් මෙහි ඇවිත් ඔබලා සමඟ ඉගෙන ගන්නවා. එයා ටිකක්‌ වැඩිමහලුයි. ඒත් ඔහු හොඳයි නේද?”

ළමයි අත්පොලසන් දී මුරුගේ පිළිගත්තා. ඇත්තම කියනවා නම් මුරුගේගේ වයස දැන් අවුරුදු 84 ක්‌ වෙනවා. එයා ඉන්නේ ඉගෙනගන්නා වයසක නොවෙයි. ඒත් මුරුගේට ඉගෙන ගැනීමට තියන ආශාව ඔහුගෙන් ඈත් නොවී ඔහු ළගටම වී සිටියා. ඔහු එයට වයස බාධාවක්‌ කර ගත්තේ නැහැ. ඔහුට ඕනෑ වුණා කියවන්නට ලියන්නට ඉගෙන ගන්න.

ඇත්තටම මුරුගේට මෙසේ පාසලකට පැමිණීමට සිතුනේ 2003 වසරේදී ගුවන්විදුලිය මඟින් ප්‍රචාරය වූ දැන්වීමක්‌ ඇසීමෙන් පසුවයි. එයින් කියෑවුණේ සියලුම කෙන්යානු පුරවැසියන්ට ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමේ අයිතිය කෙන්යානු රජය මඟින් තහවුරු කර ඇති බවයි.

මුරුගේ එකල කෙන්යාව යටත් කරගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් වැදුණු මාඕ ව්‍යාපාරයේ සොල්දාදුවෙක්‌. එතැන් පටන් මුරුගේ ඉගෙනීමේ කටයුතු පටන් ගත්තා. ඔහුට මුලින්ම එය අමාරු වුණා. හරියට පාඩම් හිටියේ නෑ. ඒත් ඔහුගේ පුංචි යාළුවන් ඔහුට නොපැකිල උදව් වෙනු දක්‌නට ලැබුණා.

මුරුගේ නොකඩවා පාසලට ආවා. ඔහුගේ මේ උනන්දුව දුටු මුල් ගුරුතුමිය ජේන්, ඔහු දිරිමත් කරමින් මහත් ඕනෑකමකින් යුතුව ඔහුට උදව් වුණා. මේ අතර 84 හැවිරිදි මුරුගේගේ පාසල් ගමන පුවත්පත් ලෝ පුරා පතළ කර හැරියා.

කරුණු කීපයක්‌ නිසා ඔහුගේ මේ පාසල් ගමන වැදගත් වුණා. එකක්‌ ඔහුගේ වයස. අනික ඔහුගේ මහලු දුබල සිරුර. මේ සියල්ලටම වඩා මරණය අත ළගටම ඇවිත් සිටියදී ඔහු දක්‌වන ඉගෙනීමට ඇති ආශාව බලවත් වුණා. එය ඉගෙනීම තුට්‌ටුවකට මායිම් නොනොට මඟ හරින බාල පරම්පරාවේ ඇතැම් කොටස්‌ ඉගෙන ගැනීමට පෙළඹවීම සඳහා විස්‌මය ජනක ලෙස බලපා හැකි බව ලොවට ඒත්තු ගියා. ඇත්තටම එය හරිම වැදගත් මිහිරිතම සංකල්පයක්‌.

වරක්‌ ජීවිතාන්තය දක්‌වා බන්ධනාගාර ගතව සිටි සිරකරුවකු එහි පැවැත් වූ නව තාක්‍ෂණය පිළිබඳ පාඨමාලාවකට සහභාගි වෙමින් පැවසූ දෙයක්‌ මෙහිදී සිහිපත් කළ හැකියි.

“මොකටද ඔබ මේ තරම් මහන්සි වෙන්නේ. මෙයින් ඔබට ඇති වාසිය මොකක්‌ද?” දිනක්‌ ගුරුවරයා ඔහුගෙන් ඇසුවා.

“මට නෙවි සර් මේ අපේ අනාගත පරපුරටයි” සිරකරු මඳ සිනා ඇතිව කියා සිටියා.

මුරගේත් එසේමයි. ඔහු ඉගෙනීමේ අමිල අගය සමස්‌ත ලෝකයටත්, නව පරපුරටත් වටහා දෙන අගනා පරමාදර්ශයක්‌.

එහෙත් මුරුගේගේ මේ ඉගෙනීමේ සත්කාරියට මහත් බාධාවක්‌ හදිසියෙම කඩා පාත් වුණා. වැඩිමහලු පුද්ගලයකු ප්‍රාථමික පාසලක කුඩා සිසුන් අතර ඉගෙනීමට යන බව තවදුරටත් පුවත්පත්වල පළ වුණා. මෙය අධ්‍යාපන දෙපාර්තමේන්තුව ද දුටුවේ තමා අසීරු තත්ත්වයට පත්කරන ගැටලුවක්‌ ලෙසටයි. මේ තත්ත්වය මඟහැරවීමට පාසල් පිළිබඳ දිස්‌ත්‍රික්‌ අධ්‍යක්‍ෂ කිප්රුටෝ මෙහිදී තීරණය කළේ වහාම මුරුගේ වැඩිහිටි අධ්‍යාපන ආයතනයකට යා යුතු බවයි.

එහෙත් මුරුගේ වෙනත් ආයතනයකට යැමට කැමති වුණේ නෑ. මෙහිදී මුල් ගුරුතුමිය ඔහු ඉවත නොයවා තම පාසලේ ගුරු සහායකයතු ලෙස පත්කර ගැනීමයි.

මේ අතර ප්‍රධාන අධ්‍යාපන මණ්‌ඩලය ද තීරණය කළේ මුරුගේ වැනි වැඩිහිටියකු ප්‍රාථමික පාසලක තබාගත නොහැකි බවය. එමෙන්ම මේ සිදුවීම දැනගත් අනිත් සිසුන්ගේ දෙමාපියන් හා ප්‍රදේශවාසීන් කියා සිටියේ මුරුගේ හා මුල් ගුරුවරිය එක්‌ව තම ප්‍රසිද්ධිය පතා තම දරුවන්ගේ මුදල් යොදවන බවය.

මෙහිදී සිදුවූයේ ජේන් මුල් ගුරුවරිය වෙනත් පාසලකට මාරුකර යෑවීමය. එම පාසල එහි සිට සැතැපුම් 100 ක්‌ පමණ දුරින් පිහිටි එකක්‌ වුණා. ජේන් මාරු වී ගිය පසු පැමිණි අලුත් මුල් ගුරුවරියට ලැබුණේ සතුටුදායක පිළිගැනීමක්‌ නෙවි. සමහර සිසු කණ්‌ඩායම්වලින් නැඟුනේ තදබල විරෝධිතාවකි.

මෙයින් පෙළඹවීමක්‌ ලැබූ මුරුගේ ස්‌වකැමැත්තෙන් නයිරෝබියට ගොස්‌ එහි අධ්‍යාපන මණ්‌ඩලයට ඒ ගැන ඇපෑලක්‌ ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵලය සතුටුදායක එකක්‌ වූ අතර ජේන් නැවත ඒ පාසලට යළිත් පත්කර එවනු ලැබුවා.

මුරුගේ කතාව අධ්‍යක්‍ෂ ජස්‌ටින් ටාඩ්වික්‌ විසින් සිනමා වට නැඟුනේ The Frist Garder නමින්.

six1″චිත්‍රපටය සඳහා පසුතල සැකසීමේදීත් නළු නිළියන් සොයා ගැනීමේදීත් පෙදෙස්‌ වාසීන්ගෙන් ලැබුණේ මහත් සහයෝගයක්‌. ළමයි පුදුම වෙලා බලා හිටියා. ඔවුන් කිසි දිනක රූපවාහිනියක්‌ හෝ චිත්‍රපටියක්‌ දැක තිබුණේ නැහැ. මුල් ගුරුවරිය ලෙස රගපෑවේ බ්‍රිතාන්‍ය ජාතික නිළි Naomic Harris. මුරුගේගේ හැටියට Oliver Litondo යි පෙනී සිටියේ. රටවල් කීපයක සොයා බැලීමෙන් පසුවයි මම ඔහු තෝරාගත්තේ. අපි ළමයින්ට පොරොන්දු වුණා ආපහු ඇවිත් චිත්‍රපටය ඔවුන්ට පෙන්වන බවට. ඇත්තටම ඒ ළමයි තමා කළ දේ ගැන ලොකු ආඩම්බරයකින් හිටියේ. මේ චිත්‍රපටයට වෙනත් අප්‍රිකානු සිනමාවට වෙනස්‌ මගක්‌ ගත් කතාවක්‌ එකතු කළා. මේ අනගි කතා පුවත සිනමාවට නැඟීමට අපට සති පහක්‌ ගත වුණා. වියදම ඩොලර් මිලියන 10 ක්‌”.

මේ සිදුවීම නිසා ජනතාව ඉගෙනගැනීම ගැන අලුතෙන් සිතන්නට හුරු වුණා. 19 වියෑති සිම්සන් කී කතාවයි මේ.

“මට මේ කියන සීයා ගැන අසන්නට ලැබුණා. ඔහුට අනුව ඉගෙනගැනීම සඳහා තාමත් අප ප්‍රමාද නැති බවයි මට වැටහුණේ. මට කියවන්නටත් හුගක්‌ භාෂා ඉගෙන ගන්නටත් ඕනෑ”.

14 වියෑති දැරියක වූ පෝලින් සිපිලොන් කියා සිටින්නේ තමාට නැවත ගමට යන්නට ඕනෑ නැති බවත් තමාට වුවමනා ගුරුවරියක වීමට බවත්ය.

මුරුගේ ප්‍රාථමික පාසලකට ගිය වැඩිමහලුම පුද්ගලයා ලෙස ගිනස්‌ වාර්තා පොතට එක්‌ වී සිටිනවා. එමෙන්ම 2005 දී අධ්‍යාපනයේ ශක්‌තිය හා බලය ගැන දේශනයක්‌, ලෝක නායකයන් ඉදිරියේ පවත්වන්නට ද ආරාධනා ලැබුණා. නව පරම්පරාවට පළමු වතාවට පාසල් යැම ගැන දැඩි පෙළඹවීමක්‌ ඇතිකරන්නට මුරුගේ සමත් වී සිටිනවා.

ඉගෙනීමට ලොල් බැඳි මේ උදාර මිනිසා 2009 වසරේදී පිළිකා රෝගයෙන් නයිරෝබියා රෝහලේ දී අවසන් හුස්‌ම හෙළුවා.

මේ සටහන අවසන් කරන්නට මත්තෙන් නිදහස්‌ සටන්කාමියකු වූ ඔහුගේ මේ කියමනත් කියවා බලන්න,

“මා විසින් කරන ලද සියලු සටන් අභිබවා මා ඉගෙනීමේ අයිතිය සඳහා කරන ලද සටන ඉතා බලවත් බවයි මට හැගී යන්නේ”

Facebook Comments

more recommended stories

%d bloggers like this: