පෙබරවාරී 10 වෙනිදා අපි වඩාත් කල්පනාකාරී වෙමු.

මෙවර පළාත් පාලන මැතිවරණය වඩාත් වෙනස් ආකාරයකින් තම ඡන්දය භාවිතා කිරීමට ඔබට ලැබී ඇති අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. කොට්ඨාශ ක්‍රමයට මැතිවරණය පැවැත්වීම තුලින් තමන් ජීවත්වන කොට්ඨාශයට මන්ත්‍රීවරයෙක් තෝරාගැනීමේ අවස්ථාව ඡන්දදායකයෙක් ලෙස ඔබට ලැබී ඇත. මෙය එක් අතිකින් ඉතා හොඳ ප්‍රවණතාවයකි. තමන් දන්නා හඳුනන නගරයේ / ගමේ සිටින හොඳම කෙනා නගර සභාවට නොමැති නම් ප්‍රාදේශීය සභාවට පත්කරගැනීම හැකියාව ලැබීම මෙමගින් සිදුවන වාසියයි. එමෙන්ම අපේක්ෂක අපේක්ෂිකාවන්ට මැතිවරණය උදෙසා දැවැන්ත වියදමක් කිරීමේ අවශ්‍යතාවය මඟ හැරී තමන් ජීවත්වන කොට්ඨාශයේ ජනතාවට තම ප්‍රතිපත්තිය නිවැරදිව පැහැදිලි කරදීමට හැකියාව ලැබී තිබේ.

පෙබරවාරී 10 වෙනිදින මැතිවරණයේදී පහත කරුණු ගැන නිතර සිතා තම වටිනා ඡන්දය භාවිතා කිරීමට ඔබ වඟ බලාගන්න. මගේ පෞද්ගලික දේශපාලන අත්දෑකීම් හා සමාජ දේශපාලන අත්දැකීම් තුලින් පහත කරුණු ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමි.

තෝරාගනු ලබන නායකයාගේ නායකත්ව ගුණාංග කෙතරම් තිබෙද? ඔහු නිරව්‍යාජ මනුස්සයෙක්ද? ඔහු අතීතයේ කුමක් කලේද යන්න සලකා බලන්න.

මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඇති ඔහුට ප්‍රදේශයේ ජනතාව හා පරිසරය සම්බන්ධයෙන් ඇති අවබෝධය. ඔහු කෙතරම් ප්‍රදේශය ගැන සංවේදී පුද්ගලයෙක්ද?

ඔහු ඉදිරිපත් වී ඇති පක්ෂයේ ජාතික වැඩපිළිවෙල හා ඔහු සතුව ඇති ප්‍රදේශය දියුණු කිරීමට ඇති වැඩපිළිවෙල කුමක්ද?

ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපන මට්ටම. මෙහිදී වඩාත් සැලකිල්ලට ගත යුත්තේ ඔහු උගතෙක්දැයි යන්නටත් වඩා කෙතරම් බුද්ධිමතෙක්ද යන්න සලකා බැලිය යුතුය. තමන් සමඟ දේශපාලනයේ යෙදුන හිතවතුන්ට පවා වටිනාකමක් නොදෙන උගත්යැයි සමාජයේ මාධ්‍ය ඔස්සේ පිම්බී ඇති දේශපාලඥයන් මා දැක ඇත්තෙමි.
ඔහු හෝ ඇය මීට පෙර පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයෙක්/ වරියක් ලෙස කටයුතු කර ඇත්නම් පත්වූ පසු ඔහුගේ හෝ ඇයගේ හැසිරීම කෙබදුවීද? එක්වරක් වරද්දගත් ඔබ තව වරක් එකම වැරද්ද කරමින් නුසුදුස්සන් පත්කරගැනීමෙන් වලකින්න.
ඔහු හෝ ඇය සමාජයේ වෙසෙන මිනිසුන්ට කෙතරම් මානුෂික අන්දමින් සලකනවාද යන්න සැලකිල්ලට ගන්න. මේ දේ මම දක්වන්නේ පත්වූ පසු නොමිනිසුන් ලෙස හැසිරෙන නායකයන් මා දැක ඇත්තෙමි.
ඔහු හෝ ඇය කෙතරම් අධ්‍යාත්මික මට්ටමක් ඇති අයෙක්ද යන්න. ඔබට කෙතරම් සවන්දෙන්නෙක්ද. ඔබේ ඉල්ලීමට ගෞරවයෙන් සලකන්නෙක්ද හිතන්න.
ඔහු හෝ ඇය මීට පෙර කෙතරම් අවස්ථාවක් පක්ෂ මාරු කර ඇත්ද යන්න වඩාත් සැලකිල්ලට ගන්න එවැනි අය දැඩි අවස්ථාවාදීන් බව සිතට ගන්න. එවැනි පුද්ගල චරිත ගැන වඩාත් සැලකිල්ලක් දක්වන්න. මෙහිදී යම් පක්ෂය මාරු කිරීමට ඔහුට හෝ ඇයට සාධාරණ හේතුවක් තිබූණේදැයි සොයාබැලීමට වඟබලාගන්න.
ඔහුගේ හෝ ඇයගේ ශ්‍රී ලාංකිකත්වය. රටට පළාතට හා තමන් ජීවත්වන ප්‍රදේශයට ඇති ආදරය ගෞරවය ගැන සිතා බලන්න.
කෙතරම් සදාචාරසම්පන්නද, ප්‍රතිපත්තිගරුකද යන කරුණු කාරණා ගැන සැලකිලිමත් වෙන්න.
කාන්තාවන්ට ඔහු තුල ඇති ගෞරවය කෙබදුද. මේ ගැනත් සැලකිලිමත්වන්න. ස්ත්‍රී දූෂකයෙකු නම්, කාන්තාවන්ට හිරිහැර කරන්නෙක් නම් හෙට දින ඔබ පත්කරගන්නා ඔහු ඔබේම ඥාතියාට, මිතුරියට කරදරයක් කරන්නට පුළුවන.
අධිකරණයකින් කුමන හෝ වැරද්දක් උදෙසා දණ්ඩිත කරනු ලැබූ පුද්ගලයෙක් පත්කර නොගන්න හැමවිටම සැලකිලිමත්වන්න.

අවසාන වශයෙන් ඔබට කිවයුත්තේ ඔබ පත්කරගත යුත්තේ සැබෑ ජනතාවාදී නායකයෙක් මිස ලොක්කෙකු නෙවේ. එමෙන්ම දැනුවත් වූ ඔබ ප්‍රදේශයේ සිටින අන් අයත් හැකි පමණ දැනුවත් කරන්න. රැවුලට, අදින ඇඳුමට, ශරීර වර්ණයට, ලස්සනට ඡන්දය දෙන පිරිසක්ද රටේ සිටින බව අමතක නොකරන්න. එවැනි අය වඩ වඩාත් දැනුවත් කිරීම සමාජයට කරන යහපතකි. එමනිසා වඩාත් සිහිබුද්ධියක් ඇතිව තමන්ගේ කොට්ඨාශයට ගමේ ඉන්න හොඳම කෙනා පත්කරගන්න. ඔහුගේ හෝ ඇයගේ පක්ෂයට වඩා ඔහුගේ ඇයගේ චරිතය ගැන වඩාත් සැලකිලිමත්වීමෙන් ඡන්දය භාවිතා කරන්න. එවිට ඔබට වඩාත් හොඳ නායකත්වයක් තම ප්‍රදේශයට පත්කරගැනීමට හැකිවනවා මෙන්ම පසුතැවීම්ද අනාගතයේ සිදු නොවනු ඇති.

පුලස්ති වන්නිආරච්චි.
ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලේවිකරණ උපදේශක.

Facebook Comments

more recommended stories

%d bloggers like this: