ඡන්දය දීලා 8356ක්‌ පත් කරගත්තනම් මාසයට කෝටි 72 ගානේ ගෙවන්න වෙනවා..!

මුතු ඇටයක්‌ තරම් කුඩා මේ සිරිලංකාද්වීපයේ, සමස්‌ත ජනගහනය දෙකෝටි තිස්‌පන් ලක්‌ෂයකි. පළාත් නවයක්‌ පුරා පැතිර ගිය දිස්‌ත්‍රික්‌ක විසිහතරක ඇති ආසන එකසිය අනූපහ සඳහා බලය පතුරුවන කොට්‌ඨාස සංඛ්‍යාව හාරදහස්‌ නවසිය විසිහතරකි. මේ වන විට එම වපසරිය සඳහා බලයට පත්ව සිටින මැති ඇමැතිවරු සංඛ්‍යාව පමණක්‌ අටසිය විසිපහකි. ඒa පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ක්‌ සහ පළාත් සභා මන්ත්‍රීවරු 600 ක්‌ ලෙසය. මේ අතරට නව මැතිවරණ ක්‍රමය යටතේ, එක්‌වන පළාත් පාලන ආයතන මන්ත්‍රීන් සංඛ්‍යාව 8346 කි. මේ කුඩා ලංකාව සමෘද්ධිමත් කිරීම පිණිස එවිට නවදහස්‌ එකසිය හැත්තෑ එකක්‌ වූ මන්ත්‍රීවරු පිරිසක්‌ මහජනතාව විසින් තෝරා පත් කරන්නේය.

මෙම පිරිස වෙනුවෙන් කැපවූ කාර්ය මණ්‌ඩලයන් වාහන ඒ වෙනුවෙන් වෙන් කෙරෙන රජයේ ඉන්ධන, වැටුප්, දුරකථන දීමනා, අතිකාල දීමනා, රක්‌ෂණාවරණ, පාර්ලිමේන්තු හෝ පළාත් සභා හෝ නගර සභා හෝ ප්‍රාදේශීය සභා රැස්‌වීමට සහභාගි වීමේදී ලබා දෙන වෙනත් දීමනා හා ආහාර පාන පහසුකම්, විශ්‍රාම වැටුප්, වැන්දඹු අනත් දරුවන් සඳහා ද වූ විශ්‍රාම වැටුප්, දරුවන් ජාතික පාසල් වෙත ඇතුළත් කිරීමේ අයිතිය, ඇතුළුව අනේකවිධ පහසුකම් සලසා ඇත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථානුකූලවය. එහෙත් ඒ වගක්‌ මහජනතාවට දන්වා නැත්තේය. මෙම පහසුකම් සියල්ල භුක්‌ති විඳීම පිණිස මන්ත්‍රී ධුරයක්‌ හොබවනවා විනා, තමන්ගේ ගමේ නගරයේ රටේ දියුණුව වෙනුවෙන්ම කැපව කටයුතු කරන උදවිය ඇත්තේ කොහිද…?

පාරක්‌ තොටක්‌, ගොඩනැඟිල්ලක්‌ ඉදිකරන්නට මුල් වුවද, එම කටයුතු පැවරූ කොන්ත්‍රාත්කරු සමඟ එක්‌ව ලක්‌ෂ ගණන් කොමිස්‌ ගනිමින්, ජනතා සේවය උදෙසා ද බොහෝ අවස්‌ථාවල කොමිස්‌ අල්ලස්‌ ගනිමින් කටයුතු කරන මේ ජනතා නියෝජිතයන් අප වැනි කුඩා රටකට මහා බරක්‌මය. නව සීමා නිර්ණයත් සමඟ හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමය තුළ මෙතෙක්‌ පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්‌වා ඉහළ යැමට නියමිත අතර එය සභිකයන් 3870 කගේ වැඩිවීමකි. පළමු වතාවට සියලු පළාත් පාලන ආයතනවලට අදාළව මැතිවරණය මෙවර පළමු වතාවට පවත්වන බව කියන මැතිවරණ කොමිෂන් සභාව ඒ වෙනුවෙන් රුපියල් කෝටි 350 ක්‌ වැය වෙතැයි අපේක්‌ෂා කරයි. සමානුපාතික ක්‍රමය යටතේ මෙතෙක්‌ පැවැති පළාත් පාලන ආයතන 335 සඳහා පත්ව සිටි සභිකයන් 4486 දෙනාගේ වැටුප් හා දීමනා වෙනුවෙන් රජය මාසයකට වැය කළ මුදල රුපියල් කෝටි 72 කි. වැඩි වන 3870 ක්‌ වන නව සභික සංඛ්‍යාව වෙනුවෙන් අමතරව තවත් රුපියල් කෝටි 84 ක්‌ වැය කළ යුතුව තිබෙන බව පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මේ ආකාර අතිවිශාල මුදලක්‌ වැය කරමින් පළාත් සභාව වෙත එන්නට පොරබදන, අපේක්‌ෂක පිරිස අතර මහජන මුදල් අවභාවිතය, මිනීමැරුම්, මුදල් වංචා, ස්‌ත්‍රී දූෂණ, නීතී විරෝධී මත්පැන් ජාවාරම ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්‌වූවන් සියයකට වැඩි පිරිසක්‌ මෙවරද අපේක්‌ෂක ලැයිස්‌තුවල ඇත්තේය. මෙවර එක්‌ පක්‌ෂයකින් නාම යෝජනා ලබා දුන් නවදහස්‌ තුන්සිය තිස්‌අට දෙනා බැගින් වූ පක්‌ෂ හා පිළිගත් පක්‌ෂවල අපේක්‌ෂකයන්ගෙන් නව දැක්‌මක්‌ රට හදන්නට ගමට සේවයක්‌ කරන්නට සැබෑ කැක්‌කුමක්‌ ඇත්තේ කීයෙන් කීදෙනාටද? ඇතැම් විට එවන් අවංක ෙච්තනාවක්‌ ඇති අපේක්‌ෂකයන්ට මන්ත්‍රී ධුරයක්‌ හිමි නොවන්නට ද ඉඩ ඇත්තේ, අද පවතින දූෂිත ඡන්ද සටන නිසාය.

කලින් කලට සුළු සුළු වෙනස්‌කම් සමඟ ආ මැතිවරණ ක්‍රමය මෙවර පැහැදිලි වෙනසක්‌ සමග පැමිණ තිබේ.

සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස්‌ වී කේවල හා සමානුපාතික මිශ්‍ර ක්‍රමයකට මැතිවරණය පැවැත්වෙනු ඇත. සෑම පළාත් පාලන ආයතනයක්‌ම නිශ්චිත කොට්‌ඨාස ප්‍රමාණයකට බෙදා වෙන් කෙරෙන අතර, විවිධ ජන වර්ග එකට සිටින ප්‍රදේශවල බහු මන්ත්‍රී කොට්‌ඨාස ඇති කෙරේ. කොට්‌ඨාස පදනමින් එක්‌ එක්‌ කොට්‌ඨාශයට තරග කරන අපේක්‌ෂකයන්ගෙන් හා නියෝජනයක්‌ නොලබන ඡන්ද සඳහා අනුපාතිකව සභික ධුර හිමිවන තැනැත්තන් පත්කිරීම සඳහා යෝජනා කරන අමතර තැනැත්තන්ගේ ලැයිස්‌තුව සහ මුළු පළාත් පාලන බලප්‍රදේශය තුළම ඒ ඒ පක්‌ෂ ලබා ගන්නා මුළු ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව කාන්තා නියෝජනය ලැබෙන සියයට විසිපහ ඇතුළත් ලැයිස්‌තුව ලෙස නාම යෝජනා ලැයිස්‌තු දෙකක්‌ මෙවර ඉදිරිපත් කෙරේ. මේ තත්ත්වය මත, එක්‌ අපේක්‌ෂකයකුගේ අඩුපාඩු මත සම්පූර්ණ නාමයෝජනා ලැයිස්‌තුව ප්‍රතික්‌ෂේප වීම වැළකෙන්නේය. දක්‌ෂ ජනාදරයට පත් අපේක්‌ෂකයකුට තම කොට්‌ඨාසය අවම වියදමකින් ජයග්‍රහණය කළ හැකි ද වන්නේය.

එහෙත් මෙම තත්ත්වය මත ඡන්දදායකයාට පෙර මෙන් කැමැතිම පුද්ගලයකු තෝරා යෑවීමට හැකියාවක්‌ නැත්තේය. අපේක්‌ෂක ලැයිස්‌තු අතරින් තමා කැමැති අපේක්‌ෂකයකු තේරීමට ඡන්ද දායකයාට තිබූ අයිතිය හෙවත් මනාපය මෙවර අහිමි කර ඇත්තේය. දේශපාලන පක්‌ෂයකට හෝ ස්‌වාධීන කණ්‌ඩායමකට පමණක්‌ ඡන්දය දීමට ඡන්දදායකයාට සිදුවන අතර එසේ ඡන්දය දුන් පක්‌ෂය හෝ ස්‌වාධීන කණ්‌ඩායම සාමාන්‍ය බහුතර ඡන්ද ප්‍රමාණය ලබා ගතහොත් එම පක්‌ෂය ඉදිරිපත් කළ, අපේක්‌ෂකයන් ජයග්‍රහණය කරනු ඇත. ඒ අනුව කොට්‌ඨාසයට හෝ ගමට වග කියන මන්ත්‍රීවරයෙක්‌ ලැබෙනු ඇත්තේය.

මෙවර ඡන්ද ගණනය සිදුවන්නේ, අදාළ ඡන්ද මධ්‍යස්‌ථානයේ දීමය. එහෙත් යෝග්‍ය පරිදි ගණන් කරන ස්‌ථාන තීරණය කිරීම මැතිවරණ කොමිෂන් සභාව සතු කාර්යයකි. ඒ ඒ දේශපාලන පක්‌ෂ ස්‌වාධීන කණ්‌ඩායම් ලැබූ ඡන්ද සංඛ්‍යාව තීරක අංකයෙන් බෙදා ලැබෙන අගයට සමගාමීව සභික ධුර ලබා දෙන්නේය. මෙවර පළාත් පාලන ඡන්දයේ දී වැදගත්ම සාධකය වී ඇත්තේ තීරක අංකය. එනම් ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාව, සභාවට නියමිත සභික ප්‍රමාණයෙන් බෙදූ විට එන අගයය.

මෙයට පෙර මෙරට තුළ පළාත් පාලන ආයතන වල සිටි කාන්තා සභිකයන් සංඛ්‍යාව අසූහයකි. මෙවර එය අවමය වශයෙන් එක්‌දහස්‌ නවසියය ඉක්‌මවනු ඇත්තේය. යම් සභාවක කාන්තා සභික පුරප්පාඩුවක්‌ ඇති වූ විටක ඒ සඳහා පත් කළ යුතුව ඇත්තේ ද කාන්තාවක්‌මය. ඊට නාම යෝජනා සඳහා ඉදිරිපත් කළ ලැයිස්‌තු දෙකම උපයෝගී කරගත හැකි වෙයි. නව මැතිවරණ ක්‍රමය යටතේ කාන්තා නියෝජනය වැඩි කිරීම පිණිස සෑම පළාත් පාලන ආයතනයකම සංයුතියෙන් 25% ක්‌ කාන්තාවන් වීම අනිවාර්ය කර තිබෙන්නේ ඡන්දයෙන් කාන්තාවන්ට මහජන නියෝජිතයන් ලෙස පත් වීම සඳහා පවත්නා අවකාශය අඩු නිසාය. මෙහිදී අවස්‌ථාව ලබාදිය යුත්තේ ගමේ ජනතාව සමඟ බද්ධ වී ඔවුන්ගේ සුබ සිද්ධිය සඳහා ක්‍රියාකරන හා පුළුල් දැක්‌මක්‌ සහිත අධ්‍යාපන අතින් ඉහළට ගිය කාන්තාවන්ට මිස ඇමැතිවරුන්ගේ හෝ මන්ත්‍රීවරුන්ගේ බිරිඳ, දුව හෝ ඔවුන්ගේ අධාරකරුවන් වන කාන්තාවන්ට නොවිය යුතුය.

එහෙත් මෙවර පළාත් පාලන ආයතන සඳහා බාරදී තිබෙන නාම යෝජනා පත්‍ර නිරීක්‌ෂණයේදී පැහැදිලි වන්නේ කාන්තා නියෝජනය වැඩි කිරීමේදී ප්‍රධාන පක්‌ෂ වැඩි වශයෙන් අනුගමනය කර තිබෙන්නේ පෙර පැවති ඥාති සංග්‍රහය හා හිතවත්කම පදනම් කර ගනිමින් කාන්තාවන්ට අපේක්‌ෂකත්වය ලබාදීමේ ප්‍රතිපත්තිය බවයි. නාම යෝජනා ලැයිස්‌තුවක 10% ක අවම කාන්තා නියෝජනයක්‌ තිබිය යුතුය. උපරිමය පිළිබද සීමවක්‌ දක්‌වා නොමැත. එසේ වුවත් කාන්තාවන්ට පක්‌ෂ මගින් අවස්‌ථාව ලබාදී තිබෙන්නේ අවමය සපිරෙන ආකාරයටය. නාම යෝජනා පත්‍රය ප්‍රත්ක්‌ෂේප වීම වලක්‌වා ගැනීම පිණිස කාන්තා නියෝජනයට අවකශ දුන්නද සැබෑ ලෙසම කාන්තාවන්ට තැනක්‌ දීමේ වුවමනාවක්‌ තාමත් ප්‍රධාන පක්‌ෂ තුළ නොමැත. මහජන නියෝජිතයන් 25 දෙනකුගේ සංයුතියක්‌ ඇති පළාත් පාලන ආයතනයක 10% ක්‌ යනු 2.5 කි. මෙහිදී අවශ්‍ය නම් කාන්තාවන් තිදෙනකුට අවස්‌ථාව දිය හැකි වුවත් ප්‍රධාන පක්‌ෂ කිසිවක්‌ ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන නොගෙන කාන්තාවන් දෙදෙනකුට පමණක්‌ අවස්‌ථාව ලබාදී ඇත. කාන්තා නියෝජන අවස්‌ථාව සුරක්‌ෂිත කිරීමෙන් පමණක්‌ කාන්තාවන්ට සාධාරණයක්‌ ඉෂ්ඨ වන්නේ නැත. සංඛ්‍යාත්ම අගයක්‌ ලෙස ඒ පිළිබඳ සතුටු විය හැකිය. නමුත් කාන්තාවට හෝ රටට හෝ රාජ්‍ය ධනයට සාධරණත්වය ඉටු වූවාද කියන කාරනයේදී ඉතිරි වන්නේ ප්‍රශ්නාර්ථයකි.

කාන්තාවකට දේශපාලන ක්‌ෂේත්‍රයට එක්‌ වීම අතිශයන් දුෂ්කර කාර්යයක්‌ බව නිදහසින් පසු ගෙවුණු වසර 70 ක කාලය තුළ පැවැත් වුණු මැතිවරණ විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි. නිළියක ලෙස ලත් ජනප්‍රියතාවය පදනම් කර ගනිමින් කාන්තාවන් දේශපාලනයට පිවිසි අවස්‌ථා කිහිපයක්‌ද පසුගිය දශක දෙකක පමණ කාලය තුළ දක්‌නට ලැබිණි. මේ හැරුණු කොට දක්‌ෂතාව, අධ්‍යාපනය, වගකීම් ඉටු කිරීම සඳහා ඇති කැපවීම, සමාජ ප්‍රශ්න විසඳීම කෙරෙහි දක්‌වන උනන්දුව වැනි කාරනා පදනම් කර ගනිමින් කාන්තාවන් දේශපාලන ක්‌ෂේත්‍රෙය් ඉදිරියට පැමිණි අවස්‌ථා ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි.

මේ අලුත් මැතිවරණ ක්‍රමයට අනුව සභාපතිවරයාගේ ධුරය ඉතා සවිමත්ය. යළි වෙනසක්‌ සිදුකිරීම පිළිබඳව සිතීමට පවා නොහැකි සේය. යම් අධිකරණ ක්‍රියාමාර්ගයකින් සභිකයකුට තම ධුරය අහිමි වුවහොත් හෝ කාලයාත්‍රා කළහොත් හෝ ඔහු හෝ ඇය කොට්‌ඨාශයක්‌ සඳහා තරග වැදුණේ නම්, පුරප්පාඩුවට පත් කළ යුතුවන්නේ ඊළඟට වැඩි ඡන්ද ලබා සිටින අනෙක්‌ පක්‌ෂයේ අපේක්‌ෂකයාය. යම් පුරප්පාඩුවක්‌ ඇති වූවද අතුරු මැතිවරණයක්‌ පැවැත්විය නොහැකි වන්නේය. නිසි ක්‍රමවේදය වන්නේ, යම් සභික ධුරයක්‌ පුරප්පාඩු වූ විට නාම යෝජනා ලබා දෙන ලැයිස්‌තු දෙකෙහි සිටින කවර හෝ අපේක්‌ෂකයකු නම් කිරීමය. සර්වබලධාරියා වන්නේ දේශපාලන පක්‌ෂයේ ලේකම්වරයා හෝ ස්‌වාධින කණ්‌ඩායමේ නායකයාය. කෙටියෙන්ම කියතොත් වක්‍ර නියමුවා ආසන සංවිධායකවරයාය.

මෙවර පළාත් පාලන මැතිවරණෙය් බරපතළ කාරණය වන්නේ තේරී පත්වන සභික සංඛ්‍යාව දෙගුණයකටද වඩා වැඩි වීමය. පළාත් පාලන ආයතන ලෙස මිල්ලනිය, මස්‌කෙළිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල යන ප්‍රාදේශීය සභා පහත්, පොළොන්නරුව මහ නගර සභාවත් මෑත කාලීනව නව පළාත් පාලන ආයතන ලෙස එක්‌ව ඇත්තේය. එම නව ආයතනවලට පමණක්‌ නොව තිබූ ආයතනවලටද නව සභිකයන් සංඛ්‍යාවක්‌ එක්‌ වීම රාජ්‍ය දේපළ රාජ්‍ය මුදල් වියදම් කිරීමට සිදුවීමක්‌ය. වැටුප් දිරි දීමනා වෙනත් දීමනා ඇතුළු කාර්යාලයීය පහසුකම්, සැපයීමට සිදුවීම පමණක්‌ නොව මෙවර තේරී පත්වන සභිකයන්ට රැස්‌ව සභාව පැවැත්වීම සඳහා ස්‌ථානයක්‌ සොයා ගැනීමද බරපතළ ප්‍රශ්නයක්‌ව ඇත්තේය. වැඩිවන සභික සංඛ්‍යාව සාම්ප්‍රදායික සභා ගර්භයෙන් බැහැරව ඒ ඒ ප්‍රාදේශීය සභාවේ නගර සභාවේ මහ නගර සභාවේ සම්මන්ත්‍රණ ශාලාවල රැස්‌ව සභාව පැවැත්වීමට සිදුවන්නේය. නැති නම්, නව සභා ගර්භ තැනීමට සිදුවන්නේය. එය අප වැනි රටකට කොහෙත්ම සුදුසු දෙයක්‌ද…?

එදා සහ අද පළාත් පාලන ආයතන සංඛ්‍යාවත් සභික සංඛ්‍යාවත් ගණන් කොට බලන කල අප අතරමංව ඇති සැටියක්‌ පෙනෙන්නේය. එදා මහ නගර සභා 23 වෙනුවට අද මහ නගර සභා 24 කි. එදා නගර සභා 41 අදද එපරිදිම 41 කි. එදා ප්‍රාදේශීය සභා 271 වෙනුවට අද ප්‍රාදේශීය සභා 276 කි. එදා මුළු සභික සංඛ්‍යාව 4486 කි. අද (මෙවර සමානුපාතිකයෙන් තේරී පත්වීමට නියමිත) සභික සංඛ්‍යාව 8356 කි.

එම සභිකයන් සභා අසුන වෙත යවන්නේ මෙලක පරමාධිපත්‍ය බලය හිමි මහජනතාව විසිනි. රටේ සම්පත් කාබාසිනියා නොකොට රටට දැයට සමයට වැඩදායී, රටත් නගරයත් ගමත් සමෘද්ධිමත් කිරීමට කැප වෙතැයි අනුමාන හෝ කළ හැකි, පුද්ගලයකු එම අසුන වෙත යෑවීම ජනතාව සතු පූර්ණ වගකීමකි. මෙවර සහභාගිවීමට අවස්‌ථාව උදාවී ඇත්තේ ගමට, ඔබේම නියෝජිතයකු පත්කර ගන්නා නව පළාත් පාලන ඡන්ද විමසීමකටය. මෙම ඡන්ද විමසීමේදී ගනු ලබන තීරණය අනුව ගමේ නගරයේ හෙට දවස තීරණය කෙරෙනු ඇත. එබැවින් නියෝජිතයා සුදුස්‌සෙක්‌ ද යන්න නිවැරදිව හඳුනා ගත යුතුය.

සමන්ති වීරසේකර

Facebook Comments

more recommended stories

%d bloggers like this: