රට පුරා බත් පැකට්‌ මිලත් ඉහළට..!

රට තුළ අත්‍යවශ්‍ය භාණ්‌ඩ සඳහා මිල පාලනයක්‌ ඇත. ඒවා රැගෙන ගොස්‌ රසකර පිස අලෙවි කරනු ලබන හෝටල් සහ ආපන ශාලා ලක්‌ෂ සංඛ්‍යාත ප්‍රමාණයක්‌ රට තුළ ඇතත් සකස්‌ කරන ලද ආහාර වර්ග අලෙවිය සඳහා පාලන මිලක්‌ රට තුළ නැත. වැඩි මිලක්‌ ගෙවා කොළඹදී බොන ප්ලේන්ටියක්‌ ඊට වඩා අඩු මිලක්‌ ගෙවා රටේ ඈත පිටිසර ප්‍රදේශයකදී පානය කළ හැක. මාස කීපයක්‌ ඇතුළත හෝටල් සහ ආපනශාලා හිමියන් විසින් දෙවැනි වරටද බත් පාර්සලයක මිල රු. 10 කින් වැඩිකරනු ලබන්නේ ඉහත සඳහන් තර්කය මත හිඳිමින්ය. එම තීරණයට එරෙහිව කටයුතු කිරීමට රට තුළ පිහිටුවන ලද ‘වගකිව යුතු ආයතනයක්‌ නොමැති බැවින් හෝටල් සහ ආපන ශාලා හිමියන් විසින් ගත් එම තීරණයේ පීඩනය මුළු මනින්ම එල්ලවී ඇත්තේ රටේ සාමාන්‍ය ජනතාව වෙතය. මෙවර බත් පාර්සලයක මිල රුපියල් දහයකින් ඉහළ දැමීම පිණිස වන නිමිත්ත බවට පත්වන්නේ රටේ සුබ සිද්ධිය පිණිස රජය විසින් පොලිතින් තහනමක්‌ පැනවීමය.

එම තහනම පිළිබඳව සහ ඉන් රටට අත්වන යහපත පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරිය විසින් දිගින් දිගින්ටම රට්‌ටු දැනුවත් කොට ඇති බැවින් නැවත ඒ පිළිබඳව වැඩිමනත් කථාබහක අවශ්‍යතාවය ද නැත. මෙම සටහනට ප්‍රස්‌තුතය සපයන්නේ බත් පාර්සලයක මිල ඉහළ යැම බැවින් වැඩි බරක්‌ තැබිය යුත්තේ ඒ පිළිබඳවය. මේ මොහොත වන විට ඒ සඳහා සුදුසුම පුද්ගලයා බවට පත්ව ඇත්තේ ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතාය.

රටේ සාමාන්‍ය ජනතාවගේ පොකැට්‌ටුවට යළිත් වරක්‌ තට්‌ටු කළ බත් පාර්සලයක්‌ රුපියල් දහයකින් ඉහළ දැමීමේ තීරණය සහ එම තීරණයේ හරි වැරැද්ද පිළිබඳ කතා කරමින් ඔහු සිය කතා බහ ආරම්භ කළේ එම ආකාරයෙන්මය.

සරලම තර්කය මෙහි යම් භාණ්‌ඩයක මිල ඉහළ යන්නේ ඒ සඳහා වන නිෂ්පාදන වියදම ඉහළ යැමත් එක්‌කනේ. බත්පැකට්‌ එකක මිල මාස කීපයක්‌ ඇතුලත රුපියල් දහය බැගින් දෙවරක්‌ ඉහළ දමන්න අපි තීරණය කරන්නෙ ඒ තත්ත්වය මත කියල මුලින්ම සඳහන් කරන්න ඕන. හැබැයි ඊට එරෙහිව අවි ඔසවන අය කියයි රජය විසින් පරිසර හිතකාමී තීරණ ගනිද්දී අපි විසින් ගන්න තීරණය සුදුසු නැහැ කියල. ඕනම කෙනෙකුට පේනදෙයක්‌ තමයි රජය විසින් පොලිතින් තහනම් කරල තියෙද්දි එක පාරම අපි මේ වගේ තීරණයක්‌ ගත්තේ රටට එරෙහි පැත්තෙ හිටගෙන කියල. ඒ හින්ද අපේ මතය රටට කියන්න මේක හොඳ අවස්‌ථාවක්‌. මම එහෙම කියන්නේ කාරණා කීපයක්‌ මුල්කරගෙන සහ අපේ පැත්තෙන් ඒ සඳහා සාධාරණ කාරණා කීපයක්‌ පදනම් කරගෙන. මුලින්ම අපේ රටේ පොලිතින් තහනම ගැන කථා වෙන්න ගත්තෙ 2001 වර්ෂයේදි.

නමුත් ඒක කතාවට පමණක්‌ සීමා වුණා. ඊට පස්‌සෙ නැවතත් 2007 වර්ෂයේදි ඒ මාතෘකාව කරළියට එනව. ඒ පාර මොකද වෙන්නෙ. ඒ වන තෙක්‌ ශත 25 ට තිබුණ ලන්ච් ෂීට්‌ එකක්‌ රුපියලක්‌ දක්‌වා මිල ඉහළ යනව. ශත 25 ට තිබුණ ෂොපින්බෑග් එකත් රුපියලට වඩා ඉහළ අගයක්‌ ගන්නව. පරිසර හිතකාමී කියන වචනයට මුවාවෙලා එක්‌තරා පිරිසක්‌ ඒ හරහා අසීමිත මුදලක්‌ උපයනව. එදා ආරම්භ කළ ඒ ව්‍යDපෘතිය ප්‍රායෝගිකව සිද්ධ උනා නම් මෙවර නැවතත් පොලිතින් තහනමක්‌ ගේන්න අවශ්‍ය වෙන්න නැහැනේ. පරීéණාගාර ඇතුළෙ පරීක්‌ෂණ කරල එළියට දාපු ලන්ච් ෂීට්‌ ෂොපින් කවර ඇත්ත මහ පොළොව මත දිරාපත් නොවන පරිසරයට අහිතකර නිෂ්පාදන බවට එදත් පත්වුණා. එදත් වුණේ නීතිය බල්ලට ගිය එක විතරයි. මේ පාර මධ්‍යම පරිසර අධිකාරිය හරහා කරළියට ඇවිත් තියෙන්නෙ 2007 වර්ෂයේ රඟ දක්‌වපු නාඩගමේ දෙවැනි ජවනිකාව රටට පොලිතින් තහනමක්‌ ගෙනාව කියල විශාල ප්‍රචාරයක්‌ යවල අන්තිමට තහනම් කළේ ලන්ච් ෂීට්‌ හා ෂොපින් කවර විතරයි. මොකද මේව අද ලංකාවේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්‌ඩ බවට පත්වෙලා ඉවරයි. දවසකට ලන්ච් ෂීට්‌ ලක්‌ෂ 150 ක්‌ මේ මහ පොළොවට වැටෙනව. ෂොපින් කවර ගත්තම ඊටත් වැඩියි. හිස්‌ යෝගට්‌ කෝප්ප නොදිරන පොලිතින් ඔය ආදී වශයෙන් ගත්තොත් අද වන විට රටම කසළ ගොඩක්‌. එහෙම තත්ත්වයක්‌ තුළ පොලිතින් තහනම මේ මහ පොළව මත සැබෑවක්‌ නම් අපි අත් දෙකම උස්‌සල ඊට එකඟ වෙනවා. මේක මධ්‍යම පරිසර අධිකාරියයි ලොකු ලොකු කොම්පැණිකාරයොයි එකතුවෙලා මාධ්‍ය සංදර්ශන පවත්වල කරපු රඟපෑමක්‌ විතරයි.

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා විසින් ඉහත සඳහන් අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර සිටින්නේ පරිසර හිතකාමී වචනය දඩමීමා කරගනිමින් මෙවරද අසාර්ථක ව්‍යාපෘතියක්‌ ආරම්භ කර ඇති බවය. ඔහු විසින් කරන ලද ප්‍රකාශය වගකීමෙන් යුත් ප්‍රකාශයක්‌දැයි අප විසින් විමසා සිටි අවස්‌ථාවේ ඔහු ඊට ද පිළිතුරක්‌ ලබා දුන්නේය.

“ඔව් වගකීමෙන් තමයි කියන්නෙ. අපි මධ්‍යම පරිසර අධිකාරිට ගිහින් කිව්ව විකල්පයක්‌ ලෙස හඳුන්වා දුන් ලන්ච් ෂීට්‌, ෂොපින් කවර පසට දිරාපත් වෙනවා කියල ප්‍රයෝගිකව ඔප්පු කරලා පෙන්වන්න කියලා. පරිසර හිතකාමී විදිහට ඒවා නිෂ්පාදනය කරන විදිහ කරලා පෙන්නන්න කියලා. ඒවාට උත්තර ඒ අය ළඟ නැහැ. ඔය කියන විකල්ප නිෂ්පාදන ඇත්තටම පරිසර හිතකාමී නම් අපි රුපියල් දහය ගාණේ වුණත් එකක්‌ ගන්න සූදානම්. ඒක බත් පැකට්‌ එකට එකතු නොකොට පාරිභෝගිකයාට බරක්‌ නොවී ඉන්නත් කටයුතු කරන්න පුළුවන්. ඒ අයට කරන්න තියෙන්නෙ සරල දෙයයි. ඔය කියන පරිසර හිතකාමී නිෂ්පාදන පසට මුහු කරලා පොඩි කාලයක්‌ අරන් එහෙම වෙනවද බලලා ඒක සාර්ථක නම් මිල වැඩි කරන්න පුළුවන්. ඒක කරලා පෙන්වන්න. දැන් කරන්නෙ මොකක්‌ද? එහෙම ප්‍රායෝගික අත්හදා බැලීමක්‌ නැතුව පරිසර හිතකාමී කියලා ලේබල් ගහලා යම්කිසි පිරිසක්‌ අසීමිතව ලාභ ලබනවා.”

අපි බත් පැකට්‌ එකක මිල වැඩි කළේ ඔන්න ඔය රැවටීමට එරෙහිව මිසක්‌ සාමාන්‍ය ජනතාවට ඒ හරහා පහර ගහන්න නෙවෙයි. ඒ හරහා අපි කරන්නේ ඒ සම්බන්ධව අපේ විරෝධය රජයට ප්‍රකාශ කරන්න. මේ මිල වැඩි කිරීම් එක්‌ක බත් පැකට්‌ එකක්‌ පාර්සල් කරන්න පොලිතින්වලට විතරක්‌ රුපියල් නවයක්‌ වැය වෙනවා. ඒක පරිසර හිතකාමී නම් ඒ පාඩුව අපිට ගන්න තිබුණා. නමුත් එහෙම තත්ත්වයක්‌ නැහැ.

අසේල සම්පත් විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ රට පුරා හෝටල් සහ ආපනශාලා ලක්‌ෂ තුනහමාරකට අධික සංඛ්‍යාවක්‌ පවතින බවත් රට තුළ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ අඩුපාඩු රැසක්‌ පවතින බවත් ඒවා පිළිබඳ විධිමත් සංගණනයක්‌ හා සොයා බැලීමක්‌ මෙතෙක්‌ කලක්‌ සිදු නොකළ රජය විසින් පරිසරය පමණක්‌ සුවපත් කිරීමට අසාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම විහිළුවක්‌ පමණක්‌ බවත්ය. ඉදිරියේදී විකල්ප පොලිතින් නිෂ්පාදනයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමටද තම සංගමය ඒකමතිකව තීරණය කර ඇති බව සඳහන් කර සිටියේය.

රුවන් ජයවර්ධන

Facebook Comments

more recommended stories

%d bloggers like this: