පෙරේදා ප්‍රකාශයට මහින්දට නඩු – විශ්‍රාම ගියාට පසු මුක්තිය නෑ..! (VIDEO)

කෝටි ගණනක දඩ සහ වන්දි ගෙවීම් සහිතව වසර 3 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විඳින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන රාජ්‍ය නිලධාරීන් දෙදෙනා විසින් කරන ලද වරද සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා කරන ලද ප්‍රකාශ අනුව මහින්ද රාජපක්ෂට එරෙහිව පැහැදිලිවම නඩු පැවරිය හැකි බැවින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට හැකි බව නීතිඥවරුන් ප්‍රකාශ කරනු ලබනවා.

එය සවිස්තරව කරුණු සහිතව මෙසේය.

මහින්ද රාජපක්ෂ විසින් ප්‍රකාශ කෙළේ ලලිත් වීරතුංග නමැති ඔහුගේ ලේකම්වරයා විසින් ක්‍රියාත්මක කරන ලද්දේ ඔහු ජනාධිපති ධූරයේ සිටියදී දෙන ලද උපදෙස් බවයි. මෙය අලුත් මතයක් නොවුනද මහින්ද රාජපක්ෂ විසින් ලලිත් වීරතුංග බේරා ගැනීම සඳහා නඩුවේ දී අධිකරණයට පැමිණ මෙසේ සාක්කි දී තම ලේකම් වරයා බේරා ගැනීමට ගියේ නැත. නමුත් ලලිත් වීරතුංග විසින් නඩුවේ දී මහින්දගේ කතාවම ප්‍රකාශ කර තිබේ. එනම් තමන් ක්‍රියාත්මක කෙළේ එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් දුන් නියෝග බවයි. ලලිත් වීරතුංගගේ එම ප්‍රකාශය විනිසුරුවරයා විසින් ඔහුව නිදහස් කිරීමට සාධකයක් සේ නොසැලකූ අතර ඔහුව වරද කරු කර දඩ සහ සිර දඬුවම් නියම කෙළේය.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ රාජ්‍ය නිලධාරීන් ඉටු කිරීමට බැඳී සිටින ආයතන සංග්‍රහයේ සඳහන් නීතියකි. ඉහල නිලධාරියා නීතියට පටහැනි නියෝගයක් දුන් විට එය ඉටු නොකළ යුතු යැයි එහි පැහැදිලිව සඳහන් කර තිබේ. නීති විරෝධී නියෝග ඉටු කළහොත් වැරදි කරුවා වන්නේ පළමුවෙන්ම තමන් බව ද ආයතන සංග්‍රහයේ සඳහන් වේ.

දැන් පෙරේදා (11) සිට මහින්ද රාජපක්ෂ පවසන්නේ ලලිත් වීරතුංගට නියෝගය දුන්නේ තමන් බවයි. එසේ නම් ලලිත් වීරතුංග විසින් ඉටු කරන ලද්දේ නීති විරෝධී නියෝගයක් බව දැනටමත් අධිකරණය විසින් තීන්දු කිරීමෙන් පසුවත් මහින්ද රාජපක්ෂ පවසන්නේ එම නීති විරෝධී නියෝගය දුන්නේ තමන් බව නොවේද..? මහින්ද රාජපක්ෂ තම නියෝගය නීති විරෝධී නැතැයි කීවාට පළක් නැත. එම නියෝගය ක්‍රියාත්මක කිරීම නීති විරෝධී යැයි දැනටමත් අධිකරණය තීන්දු කර හමාරය. එසේ නම් මහින්ද රාජපක්ෂගේ නියෝගය නීතියට එකඟද නැතිද යන්න තහවුරු කර ගත යුත්තේ අධිකරණය හමුවට ගොසින් මිස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වූ නිසා හෝ ඔහුට එදා තිබූ ‘මුක්තිය’ නිසා හෝ නොවේ.

මහින්දට තිබූ ‘මුක්තිය’ චන්ද්‍රිකාට තිබූ ‘මුක්තියට’ හෝ පෙර සිටි ජනාධිපතිවරුන්ට තිබූ ‘මුක්තියට’ වෙනස් අලුත් දෙයක් නොවේ. ජනාධිපතිවරයෙකුට තිබෙන ‘මුක්තිය’ හෙවත් නඩු පැවරීමට නොහැකි වරප්‍රසාදය තිබෙන්නේ ඔහු ජනාධිපතිධූරය දරණ තුරු පමණි. ජනාධිපති ධූරයෙන් විසි වී ගිය පසු ඔහුට ඇති ‘මුක්තියක්’ නැත. ඇත්තේ ඔලුව බේරා ගැනීමට අවශ්‍ය නම් මුට්ටියක් ඔළුව උඩින් නවා ගැනීම පමණි. ජනාධිපති කම් කරන කාලේ කළ කී දෑ නීතියට පටහැනිව කළා නම් ජනාධිපති කම අහිමි වූ පසුව ඒවාට එරෙහිව නඩු පැවරිය හැකි බව දැනටමත් ඔප්පු වී හමාරය. ඒ මෙසේය…

මහින්දට පෙර සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය තම ධූර කාලයේ දී වෝටර්ස් එ්ජ් භූමිය තම හිතෛෂී රොනී පීරිස්ට වාසි තකා ලබා දීම සඳහා කරන ලද ජල්බරිය විග්‍රහ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ ගැන පැහැදිලි අර්ථ නිරූපණයක් කර තිබේ.

රාජකාරි සහ පෞද්ගලික කාරණා ගැන, මුක්තිය තිබෙන අවස්ථාව ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35. (1)වැනි ව්‍යවස්ථාවේ කියැවෙන අතර, ඒ මුක්තිය නැති වන අවස්ථාව ගැන 35. (2) ව්‍යවස්ථාවේ තිබේ. ඒ අනුව ධුර දරන ජනාධිපතිවරයෙකුට මුක්තිය තිබේ, ධුරය අවසාන වූ පසු ඒ මුක්තිය අවසන් වේ.

2008 ශ්‍රී ලංකා නීති වාර්තා 339 හි දැක්වෙන පරිදි සුගතපාල මෙන්දිස් එදිරිව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, පී.බී. ජයසුන්දර සහ තවත් අය පිළිබඳ නඩුවේ (නඩු අංකය -Fර්‍ 352/2007) තීන්දුවේ එවක අගවිනිසුරු සරත් නන්ද සිල්වා, ශිරාණි තිලකවර්ධන සහ පී.ඒ. රත්නායක විනිසුරුවන්ගේ ඒකමතික එකඟත්වයෙන් තීන්දු කර ඇත්තේ විධායක ජනාධිපතිට ඇති ‘මුක්තියෙන්‘ අදහස් වන්නේ ජනාධිපතිවරයාට වැරදි කිරීම සඳහා එය බලපත්‍රයක් නොවන බවයි. ධූරකාලය නිම වීමෙන් පසු විධායක ජනාධිපතිවරයෙකු ස්වකීය ධූරකාලය තුල සිදුකළ ක්‍රියාවන් සම්බන්ධව නීතිය හමුවේ වගඋත්තර බැඳීමට බැඳී සිටින බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිවම සඳහන් කර ඇත.

එම නඩු කාරියේ දී රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා පවරා ගත් ඉඩම වෝටර්ස් එජ් හෝටලය වෙත ලබාදීම සම්බන්ධයෙන් පුද්ගලිකව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වැරදිකරුවකු කරනු ලැබූ අතර ඇයට ලක්ෂ 30 ක දඩයක්ද ගැසුවේය. චන්ද්‍රිකාගේ ගණුදෙනුව නිසා ලක්ෂ 57 ක ලාභයක් ලැබූ රොනී පීරිස්ට ද ලක්ෂ 20 ක දඩයක් නියම කෙලේය. පැමිණිලි කරුට වන්දි ගෙවීමටද නියෝග කෙරිණ.

අතීතයේ එතරම්ම පැහැදිව තිබේ නම් ලලිත් වීරතුංගට නියෝග දුන්නේ මහින්ද රාජපක්ෂ යැයි ඔහු විසින්ම ප්‍රසිද්ධියේ පිළිගන්නේ නම්, දැනටමත් එය නීති විරෝධී ක්‍රියාවලියක් යැයි අධිකරණය තීන්දු කර ඇති නම්, එම නීති විරෝධී නියෝගය දීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂට එරෙහිව නඩු පැවරිය හැකිය. ඔහුට අද කිසිදු ‘මුක්තියක්’ නැත. එම නිසා යහපාලන රජයක් පවත්වාගෙන යන බව ප්‍රකාශ කරන ජනාධිපති – අගමැති ඇතුලු  දූෂණයට, වංචාවට විරුද්ධ ජේවීපී මන්ත්‍රීන් සියලු දෙනා එකතුවී මහින්ද රාජපක්ෂට එරෙහිව අධිකරණයේ නඩු පවරන තුරු අපේ රටම විමසිල්ලෙන්..!

බන්ධනාගාරගත කර තිබෙන හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංග හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ගියේය. එහිදී මාධ්‍යවේදින් යොමුකළ ප්‍රශ්නවලට හිටපු ජනපතිවරයා පිළිතුරු දුන් අතර එක් අවස්ථාවකදී ඔහු තරමක කේන්තියෙන් කතා කරන අයුරුද දක්නට ලැබිණ.

“වරදක් නෑ. මම පිළිගන්නවා නියෝගය දුන්නේ මම කියලා. ඔයා මාව අවුස්සන්න එපා බොරුවට. ඔයාට ඕන ලොකු මාධ්‍ය සංදර්ශනයක්” යැයි ඔහු පැවැසීය.

more recommended stories