බැඳුම්කර කොමිසමක් පත් කළාට ජනාධිපති මෛත්‍රීට ගහන ඇමතිවරු මෙන්න..! (VIDEO)

බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබද ආණ්ඩුවේ සුලු පිරිසක් විසින් තමන්ට චෝදනා සහ විවේචන එල්ල කළ ද, තමන් එය සිදුකරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටුකරමින් වංචා දූෂණ පිටුදැකීම සදහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවති පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය අමතමිනි.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබදව ඒ සදහා වැරදිකරුවන් වන සියලූදෙනා වගකිව යුතු බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා පැවති දූෂිත පාලනය වෙනස් කර යහපාලනයක් සදහා වූ ඉතා පවිත්‍ර චේතනාවෙන් යුතුව යහපාලන රජය ගොඩනගාගත්තේ පසුගිය යුගයේ සිදුකළ වැරදි නැවත සිදුකිරීමට නොවන බව ද අවධාරණය කළේය.

සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස යහපාලන සංකල්පය උදෙසා මෙන්ම සමාජ සාධාරණත්වය ඉටුකිරීම උදෙසා සියලූදෙනා කැපවිය යුතු අතර, එහිදී නීතියේ ආධිපත්‍යය ද සැමට සමාන විය යුතු බවත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම ද නිසි ලෙස සිදුවිය යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.

තමා ජනාධිපති ධූරයට පත්වූයේ ඕනෑම මොහොතක එම ධූරයෙන් ඉවත්ව යාමට සූදානමින් බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තමන් විසින් නිවැරදිව සිදුකරනු ලබන කටයුතු සදහා සහයෝගය ලබාදීම ආණ්ඩුවේ සියලූදෙනාගේ වගකීමක් බවද ප්‍රකාශ කළේය.

ලබන ජනවාරි 08 වනදාට වසර 03 ක් සපිරෙන යහපාලන රජය විසින් ඉටුකරන ලද යහපත් දේ ජනතාව අතරට ගෙන යා යුතු මෙන්ම ආණ්ඩුවේ ඇතැම් සුලු පිරිසක් විසින් සිදුකරන ලද වැරදි නිවැරදි කර ගනිමින් යහපත් ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට තවමත් අවස්ථාව පවතින බව ද ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය.

පූජ්‍ය මාදුලුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ වෙත සිදුකළ හැකි ඉහළම උපහාරය වන්නේ උන්වහන්සේගේ දැක්ම, දර්ශනය හා අපේක්ෂාව වූ සාධාරණ සමාජයක් ගොඩනැගීමට සියලූදෙනා කැපවීම බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු වටරවුමේ ඉදිකෙරෙන පූජ්‍ය මාදුලුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ පිළිරුව සදහා අද මුල්ගල් තැබුණේ ද ජනාධිපතිතුමා අතිනි. අනතුරුව අපේගම පරිශ්‍රයේදී ප්‍රධාන ගුණසමරු උත්සවය පැවැත්විණි.

බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවති මෙම ගුණ සමරු උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

“වැරදි දූෂිත පාලනයක් පෙරළලා අපි ආණ්ඩුවක් පිහිටෙව්වේ ඇයි? වැරදි කරපු මිනිසුන්ට ඇගිල්ල දිගු කරනවා වගේම, දඬුවම් දෙනවා වගේම අපේ වැඬේ අපි හරියට කරනවා. මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් මම ජනාධිපති කොමිසමක් පත් කිරිම ගැන ඉතාමත් සුළු පිරිසක් මාධ්‍යවලින් වැරදි විග්‍රහ කරනවා. ආණ්ඩුවේ ඉතා සුළු පිරිසක් ෆේස්බුක්, වෙබ් සයිට් හරහා කැම්පේන් කරමින් මට චෝදනා කරනවා. සති අග පුවත්පත් වල පිටු ගණන් වෙන්කර ගෙන, ඇතැම් මාධ්‍ය ආයතනවලට සල්ලි වියදම් කරලා මට පහර දෙනවා. විපක්ෂයෙන් ගහන ඒවාට වගේම ආණ්ඩුවෙන් ගහන ඒවටත් මට මුහුණ දෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුවේ අය මට පහර දෙනවා නම් එයින් අදහස් වන්නේ සෝභිත හාමුදුරුවන් බලාපොරොත්තු වු සාධාරණ සමාජයක් වෙනුවෙන් කටයුතු කරන නිසයි. උන් වහන්සේ ජීවතුන් අතර සිටියා නම් මට උපහාරයක් කරනවා.”

‘‘ජනතාව අපිව පත්කළේ මොකටද..? අපි ආවේ හොරකම් කරන්නද? ආණ්ඩුව පත් වෙලා මාස තුනකින් තමයි මේ විනාශය කළේ. බැඳුම්කර සිදුවිම ඇති වුණ වෙලාවේ ආණ්ඩුවේත් විපක්ෂයේත් කිසිම බේදයක් නැතිව හැමදෙනාම මෙහි වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු බව කියා සිටියා. මේ ගැන සොයන්න කොමිසමක් පත් කරන ලෙස ඉල්ලීම් ආවා. මම ඒ ඉල්ලීම ඉටුකළා. කවුරු කළත් වරදක් නම් වරදක් මයි. ඒ වැරදි වලට අදාල පුද්ගලයන් ඒවාට වගකිව යුතුයි.‘‘ යැයි ද ජනපති කීය.

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පෑලියගොඩ විද්‍යාලංකාරාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන, පූජ්‍ය තීනියාවල පාලිත යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කථානායක කරු ජයසූරිය මහතා ඇතුලු මැති ඇමතිවරු රැසක් ද, රාජ්‍ය නිලධාරින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, මාදුලුවාවේ සෝභිත හිමි ගුණ සමරු කමිටුවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: